වංචා දූෂණවලින් බිඳ වැටෙන රාජ්‍ය ආයතනවල පව් මහජනතාවට කරගහන්න වෙලා

109
  • ඕමල්පේ සෝභිත හිමි

අත්තනෝමතික ලෙස විදුලි බිල ඉහළ නැංවීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි සිද්ධියක් යැයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

වැඩිවූ විදුලි බිල දරාගත නොහැකි නිසා එය ගෙවීමෙන් වැළකී සිටින බවද උන්වහන්සේ කීහ.

මහනුවරදී පෙරේදා (15 දා) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සෝභිත හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

විදුලිය සඳහා අයකරන මුදල සංශෝධනය කිරීමේදී ආගමික ස්ථානවල විදුලි බිල 555% කින් ඉහළ ගොස් තිබෙන බවත්, රුපියල් 58000 ක් වූ බිල මෙවර 300750 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් උන්වහන්සේ පැවසූහ.

බෞද්ධාගම ආරක්ෂා කර පෝෂණය කරන බවට ව්‍යවස්ථාවේම සඳහන් කර තිබියදී මේ ආකාරයෙන් බෞද්ධාගමට සැලකීම කිසිවෙකුත් අනුමත නොකරන බවද සෝභිත හිමියෝ අවධාරණය කළහ.

මෙම මිල වැඩි කිරීම කළේ මහජන උපයෝගිතා කොමිසමේ, පාරිභෝගික සේවා අධිකාරියේ, කැබිනට් අනුකාරක සභාවක හෝ වෙනත් උපදේශක සභාවක අදහස් වීමසීමකින් පසුවද යන ප්‍රශ්නය අසන බවද උන්වහන්සේ කීහ.

විදුලි බිල වැඩිවීමෙන් ඇතිවූ අර්බුදය මඟහැරවීමට සූර්ය පැනල සවි කිරීම විසඳුම යැයි ඇමැතිවරයා පවසන නමුත් එය ක්‍රියාත්මක කිරීමට තිබුණේ මෙම මිල වැඩි කිරීම සිදු කරන්නට පෙර බවත් මැති ඇමැතිවරු හා නිලධාරීන් සිදුකරන වංචා දූෂණ නිසා බිඳ වැටෙන රාජ්‍ය ආයතනවල පව් අද කරගහන්නට සිදුව තිබෙන්නේ මහා සංඝරත්නයට හා අහිංසක ජනතාවට බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මෙම විදුලි බිල වැඩිවීම එක්තරා අන්දමකින් භික්ෂුන් වහන්සේට නියම කළ දඩයක් බවත්, එම දඩය ගෙවීමට හැකියාවක් නොමැති බවත් කී උන්වහන්සේ පවතින තත්ත්වය තුළ බෞද්ධ විහාරස්ථානවල ආගමික වැඩසටහන් අඩාල වීමේ අවධානමක් තිබෙන බවද අවධාරණය කළේය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment