වකුගඩුවේ ගල ඉවත් කළ හමුදා වෛද්‍යවරු ගිනස් පොතට

333

දිග සෙන්ටිමීටර් 13.372යි බර ග්‍රෑම් 801යි

වකුගඩු ආශ්‍රිතව හටගත් ලොව විශාලතම සහ දිගුම ගල සැත්කමකින් ඉවත් කරමින් කොළඹ යුද හමුදා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය නව ගිනස් වාර්තාවක් තබා තිබේ.

කොළඹ යුද හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති රෝග අංශයේ ප්‍රධානී මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් කේ. සුතාර්ෂන්ගේ, ප්‍රධාන කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්. පී. එස්. සී. පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මය සිදු කර ඇත.

වකුගඩුවේ ගල ඉවත් කළ හමුදා වෛද්‍යවරු ගිනස් පොතට

මේ සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙසින් කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී. පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී. එස්. අබේසිංහ කටයුතු කළහ.

යුද හමුදා වෛද්‍යවරුන් විසින් ඉකුත් ජුනි පළමු වැනිදා මෙම වකුගඩු ගල ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදු කරනු ලැබූ අතර එය සෙන්ටිමීටර් 13.372 දිගින් සහ ග්‍රෑම් 801 බරින් යුක්ත එකකි.

මෙම ශල්‍යකර්මයෙන් පසු ඉවත් කරන ලද වකුගඩු ගල යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් පී.ඒ.සී. ප්‍රනාන්දු සහ යුද හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති රෝග අංශයේ ප්‍රධානී ලුතිනන් කර්නල් (විශේෂඥ වෛද්‍ය) කේ. සුතර්ෂන් විසින් යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ වෙත පෙන්වනු ලැබීය.

ගිනස් ලෝක වාර්තාවන්ට අනුව වකුගඩුවක් ආශ්‍රිතව තිබූ ලොව දිගුම ගල ඉකුත් 2004 වර්ෂයේදී ඉන්දියාවේදී කරන ලද ශල්‍ය කර්මයකදී ඉවත් කර ඇති අතර එය දිගින් සෙන්ටිමීටර් 13 කි. බරින් වැඩිම වකුගඩු ගල 2008 වර්ෂයේදී පාකිස්තාන වෛද්‍යවරුන් පිරිසක් සිදු කළ ශල්‍යකර්මයකදී ඉවත් කර ඇති අතර එහි බර ග්‍රෑම් 620 ක් ලෙස වාර්තා වී ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment