වකුගඩු ජාවාරම් චෝදනා ගැන ඕනෑම පරීක්‍ෂණයකට සූදානම් – බොරැල්ලේ රෝහලෙන් නිවේදනයක්

213

වකුගඩු ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති බොරැල්ල පෞද්ගලික රෝහල ඕනෑම නීත්‍යනුකූල පරීක්‍ෂණයකට පූර්ණ සහාය ලබාදෙන බව එම රෝහල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එමෙන්ම වෘෂණ බද්ධය සඳහා මුදල් දෙන පොරොන්දුව වැනි මාධ්‍ය වාර්තා අසත්‍ය බව ද එම රෝහලේ සභාපති මහාචාර්ය එම්. එච්. රිෂ්වි ෂෙරිෆ් මහතා කියා සිටී. ඔහුගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

ඇතැම් මාධ්‍ය වාර්තා කළ ආකාරයට බොරැල්ල Western Hospital කිසිම අවස්ථාවක ‘අවයව ජාවාරමකට’ සම්බන්ධ නොමැති බව අවධාරණය කරමු. මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වන විටත් කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විමර්ශනය මගින් මේ සම්බන්ධ සත්‍ය කඩිනමින් හෙළිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. Western Hospital Nephrology ක්‍ෂේත්‍රයේ පුරෝගාමීන් වන අතර, 1984 වසරේදී මෙරට ප්‍රථම වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සහ ප්‍රථම රෝගීන් සඳහා රුධිර කාන්දු පෙරණය (dialysis) සිදුකරන ලදී. එහෙත් පසුගිය දිනවල එල්ල වූ පදනම් විරහිත චෝදනා හේතුවෙන් රෝහලේ 150කට අධික කාර්ය මණ්ඩලය අනතුරට ලක්ව සිටිති.

එමෙන්ම පසුගිය දශක තුන තුළ Western Hospital රෝගීන්ට ජාත්‍යන්තර තත්ත්වයේ සේවා සැපයීමෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් ලබා ඇත. වසර ගණනාවක් වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 1,200කට අධික ප්‍රමාණයක් සාර්ථකව කර ඇත.

2022 නොවැම්බර් 18 වැනි දා හෝ ඊට ආසන්න දිනකදී වකුගඩු පරිත්‍යාගය වෙනුවට ලැබිය යුතු යැයි කියන අධික මුදල් ඉල්ලා පිරිසක් රෝහල් පරිශ්‍රයට කඩාවැදුණහ. ඔවුන් කියා සිටියේ තමන්ට ගෙවා ඇත්තේ පොරොන්දු වූ මුදලින් කොටසක් පමණක් බවයි. එවැනි ගනුදෙනු නීති විරෝධී බව අපගේ කාර්ය මණ්ඩලය වහාම ඔවුන්ට දන්වා ඇත්තේ අවයව විකිණීමට නොහැකි බව පවසමිනි. එහෙත් ඔවුන්ගේ සමස්ත ඉල්ලීම සහ බලය පෙන්වීම නීති විරෝධී වූ අතර, ආයතනයට ගිනි තැබීමේ තර්ජනය ඇතුළු තර්ජනය කිරීම්, බියගැන්වීම් සහ කප්පම් ගැනීම්වලට සමාන විය.

ඕනෑම අවයව පරිත්‍යාගකරුවකුගේ කැමැත්ත ලබාගන්නා දැඩි ක්‍රියා පටිපාටියක් ඇත. Western Hospital හි මහාචාර්ය රවීන්‍ද්‍ර ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සහ උපදේශක වෛද්‍යවරයකුගේ සහ නීතිඥවරයකුගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් සමඟ විස්තීරණ සම්මුඛ සාකච්ඡාවක් ඊට ඇතුළත් වේ.

ඉන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදෙන ස්ථර තුනක ක්‍රියාවලියක් ඇත. ඕනෑම අවස්ථාවක අයවය පරිත්‍යාගශීලියකුට බද්ධ කිරීමට පෙර හෝ ශල්‍යකර්මයට යන අතරතුර ඕනෑම වෙලාවක ඔවුන්ගේ කැමැත්ත අවලංගු කළ හැකිය. එම ක්‍රියාවලිය හා ක්‍රියා පටිපාටි අනුගමනය කරමින් තවත් පෞද්ගලික රෝහල් පහක් දිවයිනේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් කරනු ලබයි.

එමෙන්ම වෘෂණ බද්ධය සඳහා මුදල් දෙන පොරොන්දුව වැනි මාධ්‍ය වාර්තා ද්වේෂසහගත මෙන්ම අසත්‍ය ය. ඇතැම් පිරිස් Western Hospital අපකීර්තියට පත්කිරීමේ අරමුණින් අසත්‍ය තොරතුරු පතුරුවමින් සිටිති. Western Hospital සැමවිටම කටයුතු කර ඇත්තේ නීත්‍යනුකූල ක්‍රමවේදයට බව දන්වමු. එම නිසා ඕනෑම නීත්‍යනුකූල පරීක්‍ෂණයකට පූර්ණ සහාය ලබා දීමට Western Hospital සූදානමින් සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment