වකුගඩු ජාවාරම – බලෙන් අත්සන් ගත් පොලිස් ලොක්කා කවුද!

317

රෝහලේ ලොක්කන්ට රට යෑම තහනම්
මේ වසරේ කරපු වකුගඩු සැත්කම් 52 ගැනත් විමර්ශන

ප්‍රධාන තැරැව්කරුත් රිමාන්ඩ් බොරැල්ල කොටා පාරේ පිහිටි පෞද්ගලික රෝහලක් මූලික කරගෙන සිදු කළේ යැයි කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ තැරැව්කරුවකු ලබන 13 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (06දා) නියෝග කළාය.

පැමිණිලිකරුවන්ගේ වකුගඩු ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදුකර ඇතැයි කියන එම පෞද්ගලික රෝහලේ ප්‍රධාන අධ්‍යක්‍ෂවරයා ඇතුළු අධ්‍යක්‍ෂවරුන් 06 දෙනකුට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක් ද නිකුත් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයාට හා බුද්ධි අංශ නිලධාරීන්ට යැවීමට ද නියෝග කළාය. එම තැරැව්කරු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ආවරණය කොට ලබන 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය එහිදී බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළාය. එම නඩුව ඊයේ (06දා) කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්‍ෂ නෙවිල් සිල්වා මහතා ඇතුළු නිධාරීන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජීවත් වන දිළිඳු පුද්ගලයන් හමුවී ඇති තැරැව්කරු ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් එක් වකුගඩුවක් සඳහා රුපියල් ලක්‍ෂ 50 සිට ලක්‍ෂ 120 දක්වා මුදල් ගෙවන බවට පෙන්වා සුබ සිහින මවා එලෙස වකුගඩු ලබාගෙන ඇතැයි අධිකරණයට පෙන්වා දුන්නේය. පසුගිය අගෝස්තු 03 වැනිදා සිට නොවැම්බර් 03 වැනිදා දක්වා වූ කාලය අතරතුර වයස අවුරුදු 30-42 අතර වයසේ පසුවන කාන්තාවක් ඇතුළු හයදෙනකුගෙන් එලෙස වකුගඩු ලබාගෙන ඇතත් ඔවුනට පොරොන්දු ප්‍රකාරව මුදල් ගෙවා නොමැති බවත් ඉන් කෝපයට පත් එම පිරිස පසුගිය 17 වැනිදා එම රෝහලට ගොස් මුදල් ඉල්ලා කරදර කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේදී එම පිරිස බොරැල්ල ප්‍රදේශයේම පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය අසලට කැඳවාගෙන පැමිණ ඇති මේ වනවිටත් පොලිස් සේවයේ යෙදී සිටින එක්තරා ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු එක් අයකුට රුපියල් ලක්‍ෂ 2 බැගින් ලබාදී මින්පසු එම රෝහලට ගොස් මුදල් ඉල්ලා කරදර කළහොත් අතපය කඩන බවට තර්ජනය කර යළිත් මුදල් ඉල්ලා නොසිටින බවට සඳහන් කළ දිවුරුම් ප්‍රකාශවලට බලහත්කාරයෙන් අත්සන් ලබාගෙන ඇතැයි ද අධිකරණයට පෙන්වා දුන්නේය. පොලිස් නිල ඇඳුමෙන් සැරසී එලෙස එම රෝහල ආරක්‍ෂා කිරීම සඳහා පෙනී සිටි එම පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා හා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා අධිකරණයට පෙන්වා දුන්නේ එලෙස එකඟවූ පරිදි මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ හයදෙනා අතරින් එක් පුද්ගලයකු ඔහුගේ වකුගඩුව පරිත්‍යාග කර ඇත්තේ එම රෝහලේ ප්‍රධාන අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන එක්තරා සුප්‍රකට මහාචාර්යවරයකුට බද්ධ කිරීම සඳහා බවත් එම පැමිණිලිකරුට රුපියල් ලක්‍ෂ 95ක් ලබාදෙන බව පවසා ඇතත් එම මුදල ලබාදී නැතැයි ද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. එම අධ්‍යක්‍ෂ මණ්ඩලය පරීක්‍ෂණවලින් මගහැර රටින් පලායෑමේ අවදානමක් පවතින බැවින් විදේශ ගමන් තහනම ඉල්ලා සිටින්නේ යැයි ද දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. පෙර කී පුද්ගලයන්ට සිදුකළ වකුගඩු ඉවත් කිරීමේ සැත්කම්වලට අමතරව එම පෞද්ගලික රෝහලේදී මෙම වසර තුළදී පමණක් වකුගඩු ඉවත් කිරීමේ හා බද්ධ කිරීමේ සැත්කම් 52ක් සිදුකර ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි ද එහිදී අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහතා ඒ සම්බන්ධයෙන් ද වැඩිදුරටත් විමර්ශන සිදුකරන්නේ යැයි ද අධිකරණයට පෙන්වා දුන්නේය.

මෙලෙස අහිංසක ජනතාව රවටා ලබාගන්නා වකුගඩු දේශීය හා විදේශීය වශයෙන් ජාවාරම් කිරීමේ ජාත්‍යන්තර ජාලයක් ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා 2022.11.21 වැනිදා දෙරණ රූපවාහිනියේ උකුස්සා නමැති වැඩසටහන කළ අනාවරණයක් අනුව ඒ සම්බන්ධයෙන් තොරතුරු සමාජගත වූ බවද පෙන්වා දුන්නේය. නීතිඥ වෘත්තියට වඩා වෛද්‍ය වෘත්තිය උතුම් බව සමාජය තුළ මතයක් ඇති බවත් ජීවිත සුරැකීමට කැපවිය යුතු වෛද්‍ය වෘත්තිකයන් එවැනි කූට ජාවාරමකට සම්බන්ධවීම සෝචනීය බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment