වකුගඩු – පිළිකා රෝගීන්ගේ ආධාර ගිණුම්වලින් සල්ලි පිල්ලි ගිය හැටි…

319

වංචා කර ඇති මුදල රුපියල් කෝටියකට අධිකයි
පරිගණක මෘදුකාංගයක් උපයෝගී කරගනිමින් ජාවාරමේ නිරතවෙයි
රට පුරා අසරණ රෝගීන් රවටා මුදල් වංචා කරයි
මරණාසන්න රෝගීන් නොමරා මැරූ පරිගණක මෘදුකාංග ශිල්පියා නීතියේ රැහැනට කොටු වූ හැටි…..

මිනිස් ආත්මයට පවා නිගා දුන් මිනිසුන් පිළිබඳ කැත හිරිකිත පුවත් කොතෙකුත් අසා ඇත. ශිෂ්ට සම්පන්න සමාජය විසින් පිළිකුලෙන් බැහැර කරන එවැනි අපුල මිනිසුන් පිළිබඳ දුගඳ පුවත් සොයාගත හැකිවන්නේ ඉතිහාසයේ කුණු කූඩය පිරික්සමේදී පමණය. නියත වශයෙන්ම නිරයේ පැසිය යුතු එවැනි චරිත එදා මෙන්ම අදත් මතු මතුත් අප ජීවත් වන සමාජය තුළ දැකගත හැක. සමනලුන් මෙන්ම නිල මැස්සන් ද පියාඹා යන්නේ එකම අවකාශයකය. එබැවින් එහි අරුමයක් ද නැත. මිනිස් සමාජය ගත් කලද එහි වෙනසක් නැත. යමෙක් යහපතේ යෙදෙන විට තවකෙක් ඊට ප්‍රතිවිරුද්ධව අයහපතෙහි හැසිරෙන ආකාරය දැකගත හැක. හොඳ නරක වෙන් වෙන්ව ගත්කල ද එහි වෙනසක් නැත. අයෙක් සමාජ යහපතෙහි යෙදෙන කළ තවකෙක් ක්‍රියා කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධවය. සමාජ දේහය යනු මේ සියල්ලන්ගේම එකතුවක්ය. වඩාත් යහපත් සමාජයක් නිර්මාණය කිරීම පිණිස නම් රටක් තුළ ශිෂ්ට සම්පන්න මිනිසුන් විසින් අගයන දේ පමණක් ක්‍රියාවට නැඟිය යුතු අතර අශිෂ්ටත්වය මුළුමනින් බැහැර කළ යුතුය.

පහත පළ වන්නේ ශිෂ්ටත්වය නොව, ඒ අසලකටවත් ළඟාවිය නොහැකි ශිෂ්ටාචාරගත නොවූ මිනිසකු පිළිබඳ කතාවක්ය. එසේත් නැත්නම් දෙපා තිරිසනකු විසින් කලක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත රෝගීන් රවටමින් සිදුකරන ලද කැත හිරිකිත ජාවාරමක් පිළිබඳ හද පාරවන සුළු පුවතක්ය. තිරිසනෙකු පවා මෙතරම් අධම වේ දැයි සැක උපදවන සුළු මෙම නින්දිත ජාවාරම හේතුවෙන් මරණාසන්න රෝගීන් විශාල ප්‍රමාණයකගේ ජීවිත මේ වන විට ද බරපතළ අනතුරකට ලක්ව ඇත. පහත පෙළ ගැසෙන කතාවේ සඳහන් “සැකකරු” විසින් කලක් තිස්සේ සිදුකරන ලද බරපතළ මූල්‍ය වංචාවේ “තරම” පිළිබඳ ගණන් ඉලක්කම් සහිත තොරතුරු හෙළිදරව් වෙමින් පවතින්නේ සැකකරු නීතියේ රැහැනට කොටු වීමෙන් පසුව සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය. ඔහු විසින් සිදු කර තිබෙන ජාවාරම පිළිබඳ මේ වන විට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අංශ කිහිපයක් ඔස්සේ දීර්ඝ විමර්ශනයක් සිදු කරමින් පවතින අතර ඉදිරියේදී මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව පිළිබඳව තව තවත් කරුණු අනාවරණය වීමට නියමිතය. වාර්තාවන ආකාරයට එම සිදුවීම් මාලාව පෙළ ගැසෙන්නේ මේ ආකාරයෙන්ය.

මඩකලපුව එරාවුර් හි පදිංචි අබ්දුල්ලා වශීමුල්ලා 25 හැවිරිදිය. ඔහු යමක් කමක් සහිත පවුල් පසුබිමක් සහිත පුද්ගලයෙක් මෙන්ම පරිගණක තාක්ෂණය පිළිබඳ උපන් හපන්කම් ඇති අයෙක් ලෙසද ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙක්ය. තම පරිගණක දැනුම වඩා වර්ධනය කර ගැනීම පිණිස වරක් සිංගප්පූරුව බලා පිටත්ව යන අබ්දුල්ලා එහිදී පරිගණක මෘදුකාංග පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරනු ලබන්නේය. ඉන් ලබාගත් දැනුම ද සහිතව නැවත මෙරටට පැමිණෙන ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරනු ලබන්නේ පරිගණක මෘදුකාංග ශිල්පියකු වශයෙන්ය.

පරිගණකය යනු හොඳට නරකට දෙකටම එකසේ භාවිතා කළ හැකි උපකරණයක් බව හොඳින් වටහා ගන්නා අබ්දුල්ලා එතැන් සිට පරිගණක තාක්ෂණය පිළිබඳව වූ තම දැනුම යොදාගනු ලබන්නේ හැකි ඉක්මනින් මුදල් ඉපයීම පිණිස වන “අත්හදා බැලීම්” කීපයක් පිණිසය. එම අත්හදා බැලීම් කීපයෙන් අනතුරුව වඩාත් පහසුවෙන් තම ඉලක්කය වෙත ළඟා වීම පිණිස අලුත්ම උපායක් තෝරා ගන්නා ඔහු එය සූක්ෂම ආකාරයෙන් ක්‍රියාවට නංවන්නේ මනුෂ්‍යත්වය පිළිබඳව වන අල්පමාත්‍ර හැඟීමකින් තොර දෙපා තිරිසනෙකු පරිද්දෙනි.

ඒ අනුව තම මඩිය තරකර ගැනීමේ අටියෙන් කිසිවකු අනුමත නොකරන ජාවාරමක් අරඹන මෙම පුද්ගලයා රට පුරා විසිරී සිටින අහිංසක රෝගීන්ගේ ජීවිත බිල්ලට තබමින් වසර කීපයක් තිස්සේ එම ජාවාරමේ නිරතව සිට ඇති අතර ජාවාරම්කරු එය ක්‍රියාත්මක කොට ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා සහ පුවත්පත් ඇසුරින් ලබාගත් තොරතුරු අනුව යමින්ය. ඒ අනුව වකුගඩු, පිළිකා, හෘදයාබාධ වැනි බරපතළ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන ඇතැම් පුද්ගලයන් විසින් ආධාර උපකාර ඉල්ලා ඉහත සඳහන් මාධ්‍යයන්හි පළ කරනු ලබන දැන්වීම් ආදියෙහි සඳහන් දුරකථන අංකයන් සහ ගිණුම් අංකයන් භාවිතා කරමින් ජාවාරම්කරු විසින් මෙම කැත හිරිකිත ජාවාරම සිදු කරගෙන ගොස් තිබෙන අතර ඔහු විසින් එම මෙහෙයුම දියත් කරනු ලබන්නේ දුරකථන මාර්ග හරහා ඇතිකර ගන්නා පූර්ව දැන හැඳුනුම්කම් අනුව යමින්ය.

බරපතළ වකුගඩු රෝගී තත්ත්වයක් එසේත් නැත්නම් වෙනත් රෝගී තත්ත්වයක් තුළ හදිසි සැත්කමක් සිදුකිරීම යනු අධික මුදලක් වැයවන කටයුත්තක් බව අවිවාදිතය. ඒ සඳහා වැය වන මුදල් ප්‍රමාණය කොතරම් වුවද වෛද්‍ය නිර්දේශය බවට පත්වන්නේ රෝගියකුගේ ජීවිතය බේරා ගැනීම පිණිස හදිසි ශල්‍යකර්මයක් සිදුකළ යුතුය යන වග නම් රෝගියාගේ සමීපතමයන් එතැන් සිට ක්‍රියාත්මක වන්නේ ඒ සඳහා අවශ්‍ය මුදල කඩිනමින් සොයා ගැනීමේ ඉක්මන් ක්‍රියාමාර්ග පිණිසය. මෙරට තුළ ජීවත්වන බහුතරයක් පිරිසකට හදිසි අවශ්‍යතාවයක් පිණිස වැය කිරීමට ප්‍රමාණවත් තැන්පත් ධනයක් නොමැති බව රහසක් නොවන බැවින් එහිදී බොහෝ දෙනකු විසින් සිදු කරනු ලබන්නේ තම ගේදොර ඉඩකඩම් හෝ උගස් කොට ප්‍රාණ සම සමීපතමයා හැකිතාක් ඉක්මනින් සුවපත් කරගැනීම පිණිස වන අසීරු වෙහෙසකර වෑයමේ නිරත වීමය. එම මුදල ද ප්‍රමාණවත් නොවන කල වෙනත් විකල්පයක් සඳහා යොමුවන ඇතැමුන් එහිදී ඉහත සඳහන් සමාජ මාධ්‍ය ජාලා සහ පුවත්පත් භාවිතා කරමින් තම දුක්ගැනවිල්ල රට හමුවේ තබන අතර එයට සංවේදී වන රටේ ජනතාව තම තමන්ගේ වත් පොහොසත්කම අනුව ඒ සඳහා ඉදිරිපත් වන්නේ මිනිස් ජීවිතයක් බේරා ගැනීමේ උත්තම පිංකමක කොටස්කරුවන් බවට පත්වෙමින්ය.

මෙහි නම් සඳහන් සැකකරු, එසේත් නැත්නම් පරිගණක මෘදුකාංග ශිල්පියා කෝටිපතියකු බවට පත්වන්නේ ඉහත සඳහන්ව ඇති පරිදි අසරණ රෝගීන් සඳහා පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන මුදල් ආධාර පරිගණක තාක්ෂණය උපයෝගී කරගනිමින් කොල්ලකෑම තුළිනි. දැනට සිදුකර තිබෙන විමර්ශනවලින් හෙළිදරව්වන ආකාරයට සැකකරු විසින් මේ ආකාරයට රුපියල් මිලියන දහයකට අධික මුදලක් වංචා කොට තිබෙන අතර සැකකරු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවත් පැමිණිලි රාශියක් ලැබී ඇත. කලක් තිස්සේ සැත්කම් පිණිස එකතු කරගත් මුදල් මෙම මෘදුකාංග ශිල්පියා විසින් හොර රහසින් තම ගිණුමට බැර කර ගනු ලබන්නේ පරිගණක මෘදුකාංගයක් උපයෝගී කරගනිමින්ය. මුදල් ආධාර ඉල්ලා දැන්වීම් පළ කරන රෝගීන්ගේ ගිණුම්වලට මුදල් ලක්ෂ ගණනක් පරිත්‍යාග කරන මුවාවෙන් ඒ ඒ ගිණුම් සඳහා රුපියල් 100, 500 තැන්පත් කර ඇති සැකකරු එහිදී ගිණුම් හිමියන් හමුවේ සඳහන් කර සිටින්නේ තවත් ලක්ෂ ගණනක් වූ මුදලක් ගිණුම් හිමියන් නමින් තැන්පත් කළ හැකි බවත් ඒ අවශ්‍යතාවය මත තමන් වෙත අදාළ ගිණුමේ සඳහන් ඕ.ටී.පී. අංකය ලබා දෙන ලෙසත්ය. ඉන් අනතුරුව එම අංකය උපයෝගි කරගනිමින් අන් සන්තක ගිණුම්වල ඇති මුදල් තම ගිණුමට බැර කර ගන්නා මෙම මෘදුකාංග ශිල්පියා ඇතැම් ගිණුම් හිමියන් රවටා රුපියල් ලක්ෂ 10, 15 වැනි අගයෙන් යුත් විශාල මුදල් ප්‍රමාණයක් ද තමන්ගේ ගිණුමට බැර කරගෙන ඇති බව දැනට සිදුකර ඇති විමර්ශනවලින් හෙළිදරව් වී ඇත. අන්තර්ජාල මුදල් හුවමාරු මෘදුකාංගයක් ඔස්සේ මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති සැකකරු එම පුහුණුව ලබා ඇත්තේ සිංගප්පූරුවට ගොස් සිදු කරන ලද පරිගණක පාඨමාලාවෙන් අනතුරුව බව එම විමර්ශනවලින් වැඩිදුරටත් හෙළිදරව් වී ඇත. මේ සම්බන්ධයෙන් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ රෝගීන්ගේ මුදල් මෙලෙස වංචා කිරීම හේතුවෙන් විශාල පිරිසක් අපහසුතාවයට පත්ව ඇති බවත් මෙම මහා පරිමාණ වංචාව හේතුවෙන් මුදල් අහිමි වූ රෝගීන් දෙදෙනකු මේ වන විට ද මියගොස් ඇති බවත්ය. තවද මෙම සැකකාර පරිගණක මෘදුකාංග ශිල්පියා අත්අඩංගුවට ගැනීමේ පුවත රට හමුවේ හෙළිදරව් වීමත් සමග සැකකරුට විරුද්ධව දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන රැසකට ඉහත සඳහන් ආකාරයේ මුදල් වංචාවන් පිළිබඳ පැමිණිලි ලැබෙමින් පවතින අතර ඒ හරහා හෙළිදරව් වෙමින් පවතින්නේ ද එම වංචාවන් පිටුපස ද මෙම මෘදුකාංග ශිල්පියා පසුවන බවය.

ඉකුත් 12දා අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු නීතියේ රැහැනට කොටුවන්නේ දේවාල පාර බටකැත්තර මඩපාත පදිංචි පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ලබා දෙන ලද දුරකථන අංකයන්, අධිකරණ නියෝග ප්‍රකාරව ලබා ගන්නා ලද බැංකු ගිණුම් විශ්ලේෂණ වාර්තා අනුව හා අන්තර්ජාල ආවේක්ෂණයෙන් අනාවරණය කරගන්නා තොරතුරුවලට අනුවය. මෙම මහා පරිමාණ මුදල් වංචාව පිළිබඳව තවත් පැමිණිලි කීපයක් වාර්තා වන අතර එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අනාවරණය වී ඇත්තේ එම පැමිණිලිවල ද ප්‍රධාන සැකකරු බවට පත්ව ඇත්තේ ඉහත සඳහන් මෘදුකාංග ශිල්පියා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ සමාජ මාධ්‍ය විමර්ශන අංශය මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරමින් සිටින අතර අත්අඩංගුවට පත් සැකකරු ඉකුත් 13 දා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment