වකුගඩු රෝගයෙන් පීඩා විඳි දෙදරු මව ලිපියක් ලියා මරු වැළඳගනියි

228

“මම ජීවත් වෙන එක ළමයි දෙන්නටත් රත්තරන් ඔයාටත් වධයක්”

වසර පහකට අධික කාලයක් වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව සිටි දෙදරු මවක් තම ජීවිතය ගැන කළකිරීමෙන් පවුලේ ඥාතීන් වෙත ලිපියක් ලියා තබා සිය නිවස තුළ ගෙළ වැළලාගෙන මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ පනාගොඩ කොම්පෙයාහේන පාරේ තරංග පෙදෙසේ පදිංචිව සිටි අනෝජා ප්‍රියදර්ශනී හොප්මන් නමැති 31 හැවිරිදි දෙදරු මවකි.

ඇය මියයන්නට පෙර පවුලේ සාමාජිකයන් වෙත ලියා තැබූ ලිපියක් පොලිසිය සොයාගෙන තිබේ. “රත්තරන් අම්මේ තාත්තේ මං ඔයාලට වධ දෙන්න කැමති නැහැ මම තව තවත් ජීවත්වෙන එක ළමයි දෙන්නටත් මගේ රත්තරන් ඔයාටත් වධයක්. කරදර නැති ලෝකෙක කෙදිනක හෝ අපි එකට ජීවත්වෙමු. මාව හොඳින් බලාගත්තාට ඔයාට පිං”

මරණ පරීක්ෂණය හමුවේ පොලිසිය විසින් එම ලිපිය හෝමාගම කොට්ඨාස හදිසි මරණ පරීක්ෂක මානෙල් ගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කරන ලදී.

හෝමාගම මූලික රෝහලේ ඊයේ (28 දා) පැවති පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය ඩී. එන්. කේ. අත්තනායක මහතා විසින් සිදුකරන ලදී.

ඉදිරිපත්වූ වෛද්‍ය වාර්තා හා සාක්ෂි මත මෙම මරණය ගෙල වැළලා ගැනීමෙන් සිදුවුණු මරණයක් බවට හදිසි මරණ පරීක්ෂක මානෙල් ගමගේ මහත්මිය නිගමනය කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත පො.කො. (20712) මැන්ඩිස් යන නිලධාරියා පරීක්ෂණ මෙහෙයවිය.
ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment