වජිර පරණ ගිවිසුම් පෙන්වා රජයෙන් ස්ථාවරය අසයි

185

මේ රටේ වායු බලාගාර ඉදිකිරීම සඳහා පසුගිය එක්සත් ජාතික පක්‍ෂ රජය සමයේ ඉන්දියාව, ජපානය සහ චීනය යන රටවල් සමඟ ඇතිකරගත් ගිවිසුම් සම්බන්ධයෙන් වත්මන් රජයේ ස්ථාවරය කුමක්දැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන මහතා රජයෙන් ප‍්‍රශ්න කර සිටී.

එම ගිවිසුම් වහාම ක‍්‍රියාත්මක කර වායු බලාගාර ඉදිකිරීමට පියවර ගත යුතු යැයි අභයාරාම විහාරස්ථානයේ ඊයේ (23 දා) පැවැති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

1977 දී අපට රජය භාරදෙන විට විදුලිය මෙගා වොට් 430 ක් තිබුණා. නමුත් අපි නැවත භාර දුන්නේ විදුලිය මෙගාවොට් 2800 ක් දක්වා වර්ධනය කරලයි. ඒ කියන්නේ වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරඔය, ඉඟිනිමිටිය වැනි ජල විදුලි බලාගාර මෙන්ම ඞීසල් බලාගාර ඉදිකරල තමයි භාර දුන්නේ.

මේ රටේ වැදගත්ම දේ පාරිභෝගිකයා. එතකොට පාරිභෝගික ජනතාවට මේ විදුලිය අඩුවට ලබාදීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ පාලන කාලය තුළ යම් යම් පියවරවල් ගනු ලැබුවා. ලෝකයේ කිසිම රටක නැති ආකාරයේ ඉතාම ඉහළ විදුලි මිලක් තියෙන රටක් තමයි ශ‍්‍රී ලංකාව. දැන් මේ විදුලිබල පද්ධතිය රටේ විදුලි පාරිභෝගික ජනතාවට යහපත් පරිදි හැසිරවිය යුතුව තිබෙනවා. ඇමරිකාව, ඉන්දියාව, ජපානය, චීනය හෝ කාත් එක්ක හරි කමක් නෑ බලාගාරය සම්බන්ධයෙන් ගිවිසුම්ගත වී මේ ලැබෙන මුදල් ශ‍්‍රී ලංකාවේ කුමක් සඳහා ආයෝජනය කරන්නේ ද කියා කිව යුතුයි. මහජන සුබසිද්ධිය සඳහා ද විදුලි පාරිභෝගිකයාගේ යහපත සඳහා ද කියලා රටට හෙළි කළ යුතුයි.

ඒ වගේම ඇමරිකානු සමාගම සමඟ අලූයම ගිවිසුම අත්සන් කළා කියන එක මම පිළිගන්නේ නැහැ. මේ කැබිනට් පත‍්‍රිකාව කැබිනට් මණ්ඩලයේ සියලූදෙනා දකින්න ඇති කියලා මම විශ්වාස කරනවා. මැජික් එකක් වෙන්න බැහැනේ. මේ කැබිනට් පත‍්‍රිකාව සැප්තැම්බර් 09 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරල තිබුණා. එතකොට මේ සියලූ කැබිනට් ඇමැතිවරු මේක දකින්න ඇති. එතකොට මේක දැක්කෙ නැහැ කියල එහෙම කියන්න බෑ. ඒක මම පිළිගන්නෙත් නැහැ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment