වටරැක හිමිට වතුර බෝතලයෙන් ගැසූ මහියංගණයේ සභාපති අත්අඩංගුවට

466

මහියංගණ ප්‍රාදේශීය සභාවේ සභාපති (ශ්‍රිලනිප) කේ. පී. ගුණවර්ධන මහතා පසුගිය සභා වාරයේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රි (ස්වාධීන) වටරැක විජිත හිමියන්ට වතුර බෝතලයකින් පහර දුන් බවට සිදුකළ පැමිණිල්ලකට අනුව එම සභාපතිවරයා අත්අඩංගුවට ගෙන මහියංගණ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට ඊයේ (10 දා) පියවර ගනු ලැබීය.

එසේම 2023 වර්ෂය සඳහා මහියංගණ ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීම ඊයේ (10දා) සිදුකරනු ලැබූ අතර එම ඡන්ද විමසීමෙන් සභාපතිවරයා 13 ට 07 ක් ලෙස ජයග්‍රහණය ලැබීය. 2023 වර්ෂය සඳහා වූ අයවැය ඡන්ද විමසීමට පක්‍ෂව ඡන්දය 13 ක්ද එයට විරුද්ධව ඡන්ද

07 ක්ද එහි දී ප්‍රකාශයට පත් වූ අතර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණ සිටියේ නැත. අයවැය ඡන්ද විමසුම උදෑසන පැවති අතර අයවැය ජයග්‍රහණය කර සභාපතිවරයා ඔහුගේ කාර්යාලයට ගොස් සිටියදී පොලිසිය විසින් සභාපතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය. අයවැය ඡන්ද විමසුම සඳහා ද උදෑසන පොලිස් ආරක්‍ෂාව යොදා තිබුණි.

පසුගිය 28 වැනිදා ප්‍රා. සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව මහියංගණ පොලිසිය විසින් සභාපති කේ. පී. ගුණවර්ධන මහතා ගෙන්ද කටඋත්තර ලබා ගැනීමෙන් අනතුරුව සිදුකරනු ලැබූ විමර්ශනවලින් පසුව ඒ සම්බන්ධයෙන් මහියංගණ මහෙස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කර අනතුරුව ඊට අදාළව සභාපතිවරයා අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගනු ලැබූ සභාපති පොලිසිය විසින් සභාවට අයත් කැබ් රථයක දමාගෙන රැගෙන යෑම පූජ්‍ය වටරැක හිමි විරෝධය පෑවේය. සභාපතිවරයා අත්අඩංගුවට ගත්තේ නම් පොලිස් නිල රථයේ රැගෙන යා යුතුව ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා සභාවට අයත් නිල රථයේම රැගෙන යෑම සම්පූර්ණයෙන්ම නීති විරෝධි ක්‍රියාවක් ලෙසට කෑ ගසමින් පොලිස් නිලධාරීන් ඉදිරියේ එහිදි විරෝධය පෑවේය. මහියංගණය පොලිස් ස්ථානාධිපති ඩබ්. සී. ආර්. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණ පැවැත්වේ.

මහියංගණය රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment