වට්ස්ඇප්ස් හරහා කෙල්ලන් අන්දවා මුදල් ගැරූ තරුණියක් අත්අඩංගුවට

201

අන්තර් ජාලය හරහා වට්ස්ඇප් කණ්ඩායමක් නිර්මාණය කර පාසල් සිසුවියක් මුලාකරමින් වංචනිකව මුදල් ඉපැයීමේ ජාවාරමක යෙදුන මෑතකදී පාසල  හැරගිය 17 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පිටබැද්දර පොලිසිය පවසයි.

මාතර ප්‍රධාන පෙළේ විදුහලක ඉගෙනුම ලබා පාසල හැරගිය පිටබැද්දර ප්‍රදේශයේ තරුණියක් (17) වට්ස්ඇප් කණ්ඩායමක් නිර්මාණය කර තම හිතවත් තරුණ තරුණියන් එම කණ්ඩායමට බඳවා ගෙන ඒ තුළින් ප්‍රේම සම්බන්ධතාවන් ගොඩනංවා ඔවුනොවුන්ට පණිවුඩ හුවමාරු කරගැනීමට ද සලස්වා තිබේ. ඒ තුළින් ඇය විවිධාකාරයෙන් වංචනිකව මුදල් ඉපැයීමේ ජාවාරමක ද යෙදී ඇත.

ඇය දන්නා හඳුනන පිටබැද්දර ප්‍රදේශයේම පදිංචි මාතර ප්‍රධාන පෙළේ විදුහලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියක් මෙම වට්ස් ඇප් කණ්ඩායමට සම්බන්ධ කරගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු ලෙස පෙනී සිටි මෙම වංචාකාර තරුණිය සිසුවිය සමග පණිවුඩ හුවමාරු කරමින් ව්‍යාජ ප්‍රේම සම්බන්ධතාවක්  ගොඩනගා ගෙන ඇත. මුහුණු පොතෙන් ලබාගත් වෙනත් අයෙකුගේ ඡායාරූපයක් මෙම සිසුවියට යවා එය වෛද්‍ය පීඨයේ සිසුවාගේ ඡායාරූපයක් ලෙසට හඳුන්වා දී ඇත. එවැනි තරුණයෙකු මෙම සිසුවිය හා ප්‍රේම සම්බන්ධයක් පවත්වන්නේ නැති අතර වංචාකාර තරුණිය සිසුවියගේ ප්‍රේමවන්ත වෛද්‍ය පීඨ සිසුවා ලෙස පෙනී සිටිමින් වට්ස් ඇප් මගින් පණිවුඩ හුවමාරු කරගනිමින් සිට ඇත.

වෛද්‍ය පීඨ සිසුවෙකු නිසා සිසුවිය මෙම ප්‍රේම සම්බන්ධය සිය දෙමාපියන් වෙතද සැලකර තිබූ අතර ඔවුන්ගේ ආශිර්වාදය ද හිමිවී තිබී ඇත්තේ අනාගතයේදී දොස්තරවරයෙකු වීමට නියමිත බැවිනි.

පසුගියදා මෙම වංචාකාර තරුණිය මෙම සිසුවියට වට්ස් ඇප් මගින් පණිවුඩයක් යවමින් ඇයගේ ප්‍රේමවන්තයාට අසනීප තත්වයක් මත හදිසි සැත්කමක් කිරීමට අවශ්‍යව ඇති බැවින් මුදල් අවශ්‍යතාවක් ඇතැයි පවසා තිබේ. සිසුවියද දෙමාපියන් වෙත මෙම කරුණු සැලකරමින් තරුණයාට යැවීම සඳහා රන් මාල 02 ක් සහ රන් මුදුවක් සමග මුදලින් රුපියල් 27,000/= ක්ද තරුණිය වෙත ලබාදී ඇත.

එක් රන් මාලයක් ඇය හඳුනන අකුරැස්සේ තරුණයෙකු ලවා ස්ථානයකට උකස් කර ඇති අතර අනෙක් මාලය සහ මුද්ද පිටබැද්දර ප්‍රදේශයේ ස්ථානයකට උකස් කර තිබුණි.

මෙපමණ මුදලක් ලබාදී තිබුණත් තම ප්‍රේමවන්ත වෛද්‍ය පීඨ සිසුවා තමන් සමග වචනයක් හෝ කතා නොකරන්නේ මන්දැයි සැක සිතූ සිසුවිය සිය දෙමාපියන්ද කැටුව පිටබැද්දර පොලිසිය වෙත පැමිණ පිටබැද්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග ජයතුංග මහතා හමුවේ සියල්ල විස්තර කළාය.

ඇය විසින් හෙළිදරව් කරන ලද සියලු තොරතුරු පිළිබඳව වහාම පරීක්ෂණ ආරම්භ කරන ලද පොලිස් ස්ථානාධිපතිවරයා වංචනික ලෙස මුදල් ඉපයූ වට්ස් ඇප් කණ්ඩායම මෙහෙයවූ තරුණිය සැකපිට අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට පත්වූ සැකකාරිය සියලු තොරතුරු හෙළිකර සිටි අතර වංචනික ලෙස වට්ස් ඇප් කණ්ඩායමක් නිර්මාණය කරමින් මුදල් වංචා කිරීම පිළිබඳව සියලු කරුණු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්වූ අතර ඇය විසින් පරිහණය කරන ලද ජංගම දුරකථන දෙකද අත්අඩංගුවට ගැනින. උකසට තබා තිබූ රන්මාල 02 සහ රන් මුදුවද අත්අඩංගුවට ගත්හ.

මෙම සැකකාරිය අකුරැස්ස, කඹුරුපිටිය, මාතර, තෙලිජ්ජවිල යන ප්‍රදේශවල තරුණ තරුණියන් කිහිප දෙනෙකුගෙන්ම මෙලෙස වංචනිකව මුදල් රැගෙන ඇති බව අනාවරණය කරගෙන ඇති අතර ඒ පිළිබඳව පොලිසිය මගින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

සැකකාරිය 16 වෙනි දින මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව ජූලි 25 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරින. රන් මාලය උකස් කිරීමට සහාය දුන් අකුරැස්සේ තරුණයාද රක්ෂිත බන්ධනාගාරගත කෙරින.

පිටබැද්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග ජයතුංග මහතා ඇතුළු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂණ කටයුතු මෙහෙයවති.

සමන් උපුල් පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment