‘වට්ස්ඇප්’ සුද්දා 70 හැවිරිදි කතට පෙම් බස් දී ‘සේසතටම’ විදලා

803

‘වට්ස්ඇප්’ මගින් හිතවත් වී සුද්දකු යැයි කියා ගන්නා අයකුගේ මුසා බස්වලට රැවටී සිය අතේ තිබූ සේසතම අහිමි කර ගත් කාන්තාවක ගැන කතාවක් කන්තලේ මූලස්ථාන පොලිසියෙන් වාර්තා වේ.

ඉකුත් 3 වැනිදා මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ කන්තලේ වෙන්ඩ්‍රාසන්පුර ජනපදයේ පදිංචි වයස අවුරුදු 70 ක් පමණ වුවද අවුරුදු 50 පමණ පෙනුමැති කොණ්ඩයද කොටට කැපූ නවීන පන්නයේ ඇඳුම් විලාසිතාවන්ගෙන් සැරසී තවමත් අවිවාහකව දිවි ගෙවන කාන්තාවකි.

ජර්මන් ජාතිකයෙකු යැයි කියා ගත් 55 හැවිරිදි ප්‍රෑන්ක් ජොන්ස්ටන් නමැත්තා මීට මාස දෙකකට පමණ ඉහතදී වට්ස්ඇප් මගින් තමන් හා සම්බන්ධයක් ඇති කර ගෙන තමා විවාහ කර ගෙන එම රටට ගෙන්වා ගන්නා බවට පොරොන්දු දුන් බව ඇය පොලිසියට පවසා ඇත. බිරිඳ මිය ගොස් දරුවන් දෙදෙනකු සිටින තමා ඉතා ධනවත් පුද්ගලයකු බව ඔහු කී බව ද ඇය පොලිසියට කියා ඇත. මේ සම්බන්ධය දුරදිග යද්දී මෑත දිනක ඔහු කෝටි 8 ක මුදල් හා රන් භාණ්ඩ එවීමට පොරොන්දුවී මෙරට ස්ථිර ලිපිනයක් නොදන්නා ඩෙල්ටා එක්ස්ප්‍රස් කූරියර් ලිමිටඩ් කොම්පැණියේ ජෝන් ස්මිත් නමැති අයකු හරහා ගිණුම් අංක 4 කට අවස්ථා 11 කදී තමාගෙන් ලක්ෂ 29 ක මුදලක් ගිණුම්ගත කරවා ගත් බව ඇය කියා ඇත.

මෙසේ මුදල් ගනුදෙනු යන අතරතුර ක්‍රමයෙන් ඔහුගේ කතාව අඩුවී ගොස් දුරකථනය විසන්ධි කර ඇති බැවින් සැක සිතී තමා මෙසේ පැමිණිලි කිරීමට පැමිණි බව ඇය පවසා තිබේ.

කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක වීරක්කොඩි මහතාගේ නියෝග මත සහකාර පොලිස් අධිකාරි 1 රෝහණ වනිගසේකර මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලකරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment