වඩමාරච්චි මෙහෙයුම මුලින්ම සිතට ආ ජෙනරාල් සිරිල් රණතුංග සමුදෙයි

874

මනෝජ් අබයදීර

හිටපු ආරක්ෂක ලේකම්වරයකු වූ ජෙනරාල් සිරිල් රණතුංග මහතාගේ සමුගැනීම මෙම සතියේදී හමුදා කේෂ්ත‍්‍රය කනගාටුවට පත්කර තිබුණි. නිදහස් ලංකාවේ නිත්‍ය භට හමුදාව සඳහා පළමුවරට කෙඩෙට් නිලධාරීන් සඳහා ඇබෑර්තු කැඳවන ලද්දේ, 1949 වසරේ ඔක්තෝබර් දහවෙනිදාය. ඒ වන විටත් ත‍්‍රිවිධ හමුදාවේ ප‍්‍රධාන අණදෙන නිලධාරීන් ලෙස සේවය කරන ලද්දේ, බි‍්‍රතාන්‍ය ජාතිකයෝය. 1949 කැඳවන ලද කෙඩෙට් නිලධාරී පාඨමාලාව සඳහා අයදුම් කරමින් ලංකා යුද හමුදාවට එක්වූ සිරිල් රණතුංග මහතා, සිය පුහුණුව ලබන ලද්දේ, බි‍්‍රතාන්‍යයේ රාජකීය යුද හමුදා විද්‍යා පීඨයෙනි. රාජකීය යුද හමුදා විද්‍යා පීඨයේ අධිකාරිය ලත් නිලධාරීන් සඳහා පවත්වන අවසන් පෙළපාලිය හඳුන්වනු ලබන්නේ, රාජකීය පෙළපාලිය ලෙසය. පෙළපාලියෙන් ගමන් කරන සියලූ කෙඩෙට් නිලධාරීන් සහ ඔවුන්ගේ පසුපසින් අසු පිටින් පැමිණෙන විධායක අධිකාරීන්, විද්‍යාලයයේ පියගැට පෙළ නැගීමෙන් පසුව එහි ඇති දොරටුව විවර වෙයි. සියලූදෙනා විධායක අධිකාරි දොරටුවෙන් ඇතුල් වූ පසු එම දොරටුව වසා දමනු ලැබේ. මේ සමග අදාළ පුහුණුව ලැබූ සියලූදෙනා වෙත අධිකාරිය පැවරීම සිදුවේ. මෙම අධිකාරිය පැවරීමේ කර්තව්‍යය සඳහා රජතුමා පෞද්ගලිකවම සහභාගී වන අතර කලාතුරකින් අවස්ථාවකදී ඔහුගේ නියෝජිතයකු ලෙස රජ පවුලේ සාමාජිකයකු සහභාගී වන අවස්ථා ද නැත්තේ නොවේ.



වඩමාරච්චි මෙහෙයුම මුලින්ම සිතට ආ ජෙනරාල් සිරිල් රණතුංග සමුදෙයි

මහ රැජනගෙන් අධිකාරි ලබා…

සිරිල් රණතුංග ඇතුළු පිරිස අධිකාරිය ලබා දිනය වන විට හය වෙනි ජෝර්ජ් මහ රජතුමාගේ අභාවය සිදුව තිබුණ බැවින්, වසර දෙසියයකට වඩා ඉතිහාසයක් ඇති රාජකීය යුද හමුදා විද්‍යා පීඨයේ පෙළපාලියක් එදින ප‍්‍රථම වරට අවලංගු කිරීමට සිදුව තිබුණි. මේ හේතුවෙන් උත්සව රහිතව චාරිත‍්‍රයක් ලෙස පමණක් එම කර්තව්‍යය එදා ඉටු විය. පසුව මහා බි‍්‍රතාන්‍යයේ රාජ්‍යත්වයට පැමිණි දෙවන එළිසබෙත් මහ රැජනගේ මූලිකත්වයෙන් පවත්වන ලද පළමු අධිකාරි භට කණ්ඩායම සඳහා සිරිල් රණතුංගට ඇතුළු වීමට හැකි විය. පුහුණුවෙන් පසු ලංකා යුද හමුදාවේ පාබල හමුදාව සඳහා දෙවන ලූතිනන්වරයකු ලෙස රණතුංග පත් වීම් ලැබුවේය. 1953 වසරේ හාර්තාලය, දේශපාලනමය පමණක් නොව හමුදාමය අතින් ද ලංකා ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් සටහන් කළේය, නිදහසින් පසු ජීව උණ්ඩ යොදා වෙඩි තැබීමේ නියෝගය සහිතව හමුදාව කැඳවන ලද ප‍්‍රථම අවස්ථාව එය විය. මේ සඳහා සේවය කිරීමෙන් පසුව 1955 ඔක්තෝබර් 10 වෙනිදා පිහිටුවන ලැබූ පළමු වන විමර්ශන රෙජිමේන්තුව සඳහා ඉල්ලූම් කරමින් එහි ආරම්භක නිලධාරියකු ලෙස ලූතිනන් සිරිල් රණතුංග එම රෙජිමේන්තුවට එක් විය. අවසානයේදී සන්නාහ සන්නද්ධ බළකාය බවට පත්වූයේ මෙම විමර්ශන රෙජිමේන්තුවය.

1971 වර්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන ලද කැරැල්ල මර්දනය කිරීම සඳහා කෑගල්ල දිස්ත‍්‍රික් සම්බන්ධිකාරක ලෙස පත් කරනු ලැබූ සිරිල් රණතුංග, සිය සන්නද්ධ රථහි සවි කර ඇති ඇති තුවක්කු පරීක්ෂා කර බලන ලද්දේ, මාවනැල්ල අසල පිහිටි බතලේගල කන්ද වෙත වෙඩි තැබීමෙනි. මෙම අත්හදා බැලීම කැරලිකරුවන් අතර භීතිය ජනිත කරලීම හේතුවෙන් ඔවුහු කෑගල්ල බල ප‍්‍රදේශය අතහැර යෑමට, එය ප‍්‍රධාන හේතුවක් වූ බව පැවසේ.

හමුදාවේ දෙවැනියා

මෙසේ ගලා ගිය සිරිල් රණතුංගගේ හමුදා ජීවිතය 1977 ජනවාරි පළමු වෙනිදා හමුදා ලේකම්, 1978 ජනවාරි පළමුවෙනිදා බටහිර ආඥාපති, 1978 පෙබරවාරි හතර වෙනිදා බි‍්‍රගේඩියර් නිලයට උසස් වීම, ආදියෙන් සමන්විත විය. 1981 සැප්තැම්බර් මාණ්ඩලික ප‍්‍රධානි සහ යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති යන තනතුරු ලැබූ ඔහු උතුරේ ප‍්‍රදේශයේ හමුදා බුද්ධි කටයුතු විධිමත් ආකාරයෙන් ස්ථාපිත කිරීමේ ප‍්‍රමුඛයා විය. ‘ඔපෙරේෂන් රවුන්ඞ් අප්’ මෙහෙයුම මගින් දෙමළ ත‍්‍රස්තවාදීන් තිස් දෙනෙකුගේ ඡායාරූප දිවයින පුරා ප‍්‍රදර්ශනය කර ඉන් විසි පහකට අධික ත‍්‍රස්තයන් සංඛ්‍යාවක් අල්ලා ගැනීමට හමුදාවෝ සමත් වූහ. 1983 වසරේදී හමුදා සේවයෙන් සමුගත් බි‍්‍රගේඩියර් සිරිල් රණතුංග ඒ සමගම ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂක ධුරයට රජය විසින් පත් කරන ලදී.

උතුරේ සන්නද්ධ ත‍්‍රස්තවාදය හිස එසවීම වර්ධනයවත්ම, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ත‍්‍රිවිධ හමුදාව සහ පොලීසිය ක‍්‍රියාන්විත හිදී ඒකාබද්ධ කිරීම සඳහා නව ඒකකයක් ලෙස ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ස්ථාපිත කරන ලද්දේ 1985 පෙබරවාරි 11 වෙනිදාය. එහි ප‍්‍රධානියා වූ බුල් වීරතුංග මහතා මාස කිහිපයක් අදාළ තනතුර දැරීමෙන් පසුව කැනඩාවේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස පත්වීම හේතුවෙන් ලූතිනන් ජෙනරාල් ධුරයට උසස් කරමින් සිරිල් රණතුංග මහතා, ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ප‍්‍රධානියා බවට පත් කිරීමට ජනාධිපති ජයවර්ධන පියවර ගත්තේය. එල්ටීටීඊ නායකයන් ඉලක්ක කර ගනිමින්, ඔවුනට හිස එසවිය නොහැකි පූර්ණ යුද්ධයක අවශ්‍යතාවය සිය සිත තුළ ජනිත කර ගත්, ලූතිනන් ජෙනරාල් සිරිල් රණතුංග, සිය අදහස සහ අවශ්‍යතාවය බි‍්‍රගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව, කර්නල් ලයනල් බලගල්ල, ලූතිනන් කර්නල් සුනිල් තෙන්නකෝන්ට විස්තර කිරීමෙන් පසුව එම සතර දෙනා විසින් සකස් කරන ලද මූලික සැලසුම ප‍්‍රකාරව වඩමරච්චි මෙහෙයුම හෙවත් විමුක්ති මෙහෙයුම දියත් විය. ඛඔඔෑ සංවිධානය විනාශ කිරීම සඳහා 1987 වසරේ මැයි 26 දින මෙහෙයුමේ අණදෙන්නා ලෙස ලූතිනන් ජෙනරාල් සිරිල් රණතුංගගේ ප‍්‍රධානත්වයෙන් බලසේනා ත‍්‍රිත්වයකින් වඩමාරච්චි මෙහෙයුම ආරම්භ විය. කර්නල් විජය විමලරත්න පළමු බලසේනාවේ අණදෙන නිලධාරියා ලෙසද, බි‍්‍රගේඩියර් ජෙරී ද සිල්වා දෙවන බලසේනාවේ අණදෙන නිලධාරියා ලෙස හා බි‍්‍රගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව තුන්වන බළසේනාවේ අණදෙන නිලධාරියා ලෙසද මෙහිදී රණබිමට නායකත්වය ලබා දුන්හ. යුද, නාවික සහ ගුවන් සෙබළුන් 8000ක් පමණ දායක වූ වඩමාරච්චි මෙහෙයුම ත‍්‍රස්තවාදය සුනුවිසුණු කරමින්, දියත් වන්නට විය. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එදා වඩමරච්චි මෙහෙයුමේ දී සංග‍්‍රාම භූමියේදී සක‍්‍රිය යුද හමුදා නිලධාරීන් ලෙස කටයුතු කළහ.

පැය දෙකක් තුළ වඩමරච්චි නවත්වන්න

යුද හමුදාපති ජයග‍්‍රහණය පෙනී පෙනී තිබියදී සහ ත‍්‍රස්ත නායකයන් අසරණව සිටියදී, ඉන්දීය බලපෑම මත ජනාධිපති ජයවර්ධන අසරණභාවයට පත්ව සිටියේය. ඔහු, ලූතිනන් ජෙනරාල් රණතුංග කැඳවා අති සාර්ථක ලෙස දියත් වෙමින් තිබූ විමුක්ති මෙහෙයුම පැය දෙකක් තුළ නතර කිරීම සඳහා අණදෙන ලෙස ප‍්‍රකාශ කළේය. ඒ අනුව ත‍්‍රස්තවාදය අවසන් කිරීම සඳහා දියත් වෙමින් තිබූ ජයග‍්‍රහණයේ මුව විට දක්වා පැමිණි විමුක්ති මෙහෙයුම නතර කරනු ලැබිය.

ජනාධිපති පේ‍්‍රමදාස සමයේදී ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන ලද ජෙනරාල් සිරිල් රණතුංග මහතා එල්ටීටීඊ යට අවි ආයුධ ලබාදීමට සඳහා පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ගත් තීන්දුවට එරෙහිවීම හේතුවෙන් ඔහු ඔස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කර යැවීමට ජනාධිපතිවරයා තීරණය කළේය. ඔහුගේ සොහොයුරා වූ චන්ද්‍රා රණතුංග, පේ‍්‍රමදාස ජනාධිපතිවරයා යටතේ, නිවාස සහ ගොඩනැගිලි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. 1993 මැයි මස පළවැනිදා ජෙනරාල් සිරිල් රණතුංග සිය තනතුර භාර ගැනීම සඳහා ඔස්ටේ‍්‍රලියාවට පය තබන විට ජනාධිපතිවරයා ඝාතනය කරන ලද බව සැලවී තිබේ. පසුව බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහා කොමසාරිස් තනතුර දරන ලද ඒ මහතා, ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස ද කලක් කටයුතු කළේය. සිය ජීවිතයේ සෑඳෑ සමයේ මාවනැල්ල සිය ගම් පියසේ වගා කටයුතු හි නියැලෙමින් ඔහු ගත කළේය. මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයයේ ආදී ශිෂ්‍යයකු වූ ජෙනරාල් සිරිල් රණතුංග මහතා මිය යන විට වයස අවුරුදු 91ක් සපුරා තිබුණි. පවතින කොවිඞ් තත්ත්වය හේතුවෙන් පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වය පමණක් සහිතව පසුගිය බ‍්‍රහස්පතින්දා දහවල් ඔහුගේ දේහය පිළිබඳව අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කළේය.

වයස්ගතම සෙබළා ද මිය යයි

මෙරට හමුදා ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු එසේ සමුගන්නා අතරේදී මෙරට දිවි ගෙවූ වයස්ගතම හමුදා සෙබළා දිවියෙන් සමුගැනීම ද මේ සතියේ සටහන් විය.

නිදහස් යුගයට පෙර පැවැති 2 වන රාජකීය බි‍්‍රතාන්‍ය හමුදාවේ, කාලතුවක්කු රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ අංක 410 දරණ තුවක්කු සෙබළ එස්. ඩබ්ලිව්. ගුණපාල (විශ‍්‍රාමික) මහතා පසුගිය 15දා අම්බලන්ගොඩ, අහුන්ගල්ල ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අභාවප‍්‍රාප්ත විය. 1943.01.20 වන දින සිට 1945.02.06 වන දින දක්වා රාජකීය බි‍්‍රතාන්‍ය හමුදාවට සේවය කළ තුවක්කු සෙබළ එස්. ඩබ්ලිව්. ගුණපාල, බි‍්‍රතාන්‍ය හමුදාවට සේවය කළ මෙරට ජීවත් වූ වයස්ගතම සොල්දාදුවා විය. වර්ෂ 1939-1945 කාලය තුළ 2 වන ලෝක සංග‍්‍රාමයට දායක වූ ගුණපාල, බි‍්‍රතාන්‍ය හමුදාවට කරන ලද සේවය අගය කරමින් සම්මානයක් ද පිරිනමා තිබේ. වසර 103ක් ආයු ලැබ නික්ම ගිය එස්.ඩබ්ලිව්. ගුණපාල මහතාගේ දේහය අහුන්ගල්ල ධම්මතිස්ස මාවතෙහි පිහිටි සිය නිවසේ තැන්පත් කර පසුව අහුන්ගල්ලේදී ආදාහන කටයුතු සිදුකරන ලදී.

වසංගත මෙහෙයුම

වසංගත තත්ත්වය හමුවේ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ තීරණාත්මක කාර්ය භාර්ය තවමත් නොසිඳී දියත්ව තිබීම ජාතියක් ලෙස පැසසුමට ලක් කළ යුත්තකි. විශේෂයෙන්ම කොවිඞ් වසංගතයේ මුල් කාලයේදී නිරෝධායන කටයුතු සඳහා අවශ්‍ය මධ්‍යස්ථාන, සම්පත් ආදිය ලබාදෙන ලද්දේ, යුද හමුදාවය. ආසාදිතයන් සහ ආශ‍්‍රිතයන් සම්බන්ධව නිරෝධායන කටයුතු ආදිය සඳහා මුල් කාලයේදී ක‍්‍රියාකාරී සේවයක් සිදු කරන ලද්දේ, යුද හමුදාව ය. එතැන් සිට අද දක්වාම, කොවිඞ් වසංගතය හමුවේ වෛද්‍යවරයාගේ කටයුත්ත හැර ඉතිරි සියලූ කටයුතු සඳහා යුද හමුදාව ඉටු කරන ලද සේවය අතිමහත්ය. මුල් කාලයේ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ඉදිකරන ලද ගොඩනැගිලි අතරමැදි ප‍්‍රතිකාර මධස්ථාන සහ තත්ත්වයෙන් ඉහළ ගාස්තු අය කිරීමේ ක‍්‍රමවේදය සඳහා මූලික වූයේ යුද හමුදාව ය. කොවිඞ් ආසාදිත වූ පුද්ගලයන් සඳහා ගාස්තු අය කිරීමේ ක‍්‍රමවේදයක් අවශ්‍ය වූයේ සමහර ඉහළ පන්තියේ පිරිස් පොදු ප‍්‍රතිකාර සඳහා නොකැමැත්ත ප‍්‍රකාශ කිරීම හේතුවෙනි. විශේෂයෙන්ම පෞද්ගලික රෝහල් සඳහා මෙවැනි ක‍්‍රමවේදයක් ආරම්භ කරන ලෙස රජය දන්වා සිටිය ද ඒ සඳහා ආරම්භයක් නොමැති වූ හෙයින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සැලසුම් ප‍්‍රකාරව, කොග්ගල ප‍්‍රදේශයේ හෝටලයක් සකසා, යුද හමුදාව ගාස්තු අය කිරීමේ ක‍්‍රමය යටතේ ද අවශ්‍ය පිරිස් සඳහා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ආරම්භ කළේය. පසුව මෙම ආකෘතිය අනුව පෞද්ගලික අංශය ලබාදුන් පහසුකම් සඳහා රුපියල් හතලිස් දාහක් දක්වා අය කිරීම් සිදු කරද්දී, මෙම කර්තව්‍යයේ නිර්මාතෘ වූ යුද හමුදාව සිය සේවය ද උසස් ලෙස පවත්වාගෙන යමින් ඒ සඳහා දිනක ගාස්තුව ලෙස අය කරන ලද්දේ, රුපියල් 12500ක මුදලකි. එන්නත්කරණයේදී සෞඛ්‍ය සේවයට දිනකට දෙදහස් පන්සියකට පමණක් එන්නත් ලබාදිය හැකි බව සෞඛ්‍ය සේවය පවසද්දී, යුද හමුදාව එය දිනකට හැත්තෑ පන්දහසක් දක්වා වර්ධනය කළේය. කොවිඞ් මෙහෙයුම් සඳහා ඉහළ අහසේ සිට නිරීක්ෂණය කළ හැකි ආකාරයෙන් ඩ්‍රෝන රෙජිමේන්තුවක් ප‍්‍රථම වරට නිර්මාණය කරන ලද්දේ යුද හමුදාව විසිනි. මේ සමග රටේ යටිතල පහසුකම් සඳහා යුද හමුදාව සමහර ස්ථානයන්හි ගම්මාන පිටින්ම සංවර්ධනය කිරීමට දායක වෙමින් පවතියි. එසේම වැව් දහසක් යන ව්‍යාපෘතිය සපුරාම ක‍්‍රියාත්මක කරනු ලබන්නේ යුද හමුදාවය. එසේම බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුව සඳහා අවශ්‍ය ලක්ෂයක පිරිස බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ රට පුරා පැවැත්වීම ආදිය ද යුද හමුදාවට භාර විය. කෘෂිකර්මාන්තය යන අංශයේදී පුරන් කුඹුරු අස්වැද්දීම, වී ගබඩා සෑදීම, අඹ වගා කිරීම සඳහා අවශ්‍ය අඹ බීජ වගා කිරීම යන කටයුතු සඳහා හමුදාව දායක විය. අනවසරයෙන් කහ ගෙන්වීම, හොරෙන් කැලෑ කැපීම, මත්ද්‍රව්‍ය ජාවාරම මැඬ පැවැත්වීම ආදිය සඳහා ද යුද හමුදාව මේ සියලූ දායකත්ව අතරේ ක‍්‍රියාත්මක වෙමින් තිබේ.

සමගිය ශක්තියයි – එකම පවුලක් වෙයි

යුද හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා වැඩ භාරගන්නා අවස්ථාවේදී ප‍්‍රකාශ කර සිටියේ, ශ‍්‍රී ලංකා යුද හමුදාව මේ රටේ සතුටින්ම සිටින සංවිධානය බවට පත් කරනු ලබන බවය. යුද හමුදා ඉතිහාසයේ වැඩිම උසස්වීම් ප‍්‍රමාණයක් ලබාදෙන ලද්දේ, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස සේවය කරන කාලයේදීය. යුද හමුදාවට එතෙක් තිබූ එකම රෝහල වෙනුවට රෝහල් ගණනාවක් ඇති කරමින් තිබේ. විශේෂයෙන්ම ආබාධිත සෙබළෙකුගේ කෘත‍්‍රීම පාදයක යම් පලූද්දක් ඇති වුවහොත් ඒ සඳහා රාගම රණවිරු සෙවණට පැමිණිය යුතු තත්ත්වයක් තිබුණි. අනුරාධපුරයේ අභිමංසල සහ ගාල්ල, නුවර, ප‍්‍රදේශවල නව රෝහල් මේ වනවිට ඉදිකර අවසන්ය. මෙවැනි තත්ත්වයක් යටතේදී යුද හමුදාවට එරෙහිව සමහර විශ‍්‍රාම ගිය නිලධාරීන්ගේ අවශ්‍යතාවය අනුව සමාජ මාධ්‍යයන් හි මඩ ප‍්‍රචාර එල්ල කරන ආකාරය දැකිය හැකිය. යුද හමුදා වැටුපෙන් රුපියල් 29.80 ක් කපා හරින ලද බව පවසමින් එසේ එක් ප‍්‍රචාරයක් දියත් කර තිබුණි. යුද හමුදාවේ පවුල්වල අසනීප සඳහා කාලයක පටන් රෙජිමේන්තු මට්ටමෙන් ආධාර එකතු කිරීම සිදුවිය. සමහර හමුදා භටයන්ගේ දරුවන්ගේ ශල්‍යකර්ම වැනි දේ සඳහා රුපියල් ලක්ෂ පනහක් අවශ්‍ය අවස්ථාවලදී, රුපියල් ලක්ෂ පහක් පමණ එම මට්ටමින් එකතු වූ අවස්ථා බොහෝය. මේ සියලූ කාරණා අනුව යුද හමුදාපතිවරයා පියවර ගන්නා ලද්දේ, එවැනි අවශ්‍යතා සඳහා සමස්ත හමුදාව එකම පවුලක් ලෙස කර උර දිය යුතු බවය. මේ අනුව මසකට ලැබෙන එවැනි ඉල්ලීම් පිළිබඳව සොයා බලා සමස්ත හමුදාවම ඒ සඳහා සිය වැටුපෙන් සහය ලබාදීමය. මේ අනුව ‘සමගිය ශක්තිය’ යන්න සනාථ කරමින් පසු ගිය මාසයේදී මෙම කටයුත්ත ආරම්භ විය. එසේම විශ‍්‍රාම ගිය පසු වෙනදාට සෞඛ්‍ය ආධාර ලබාදෙනුයේ අදාළ නිලධාරියාට පමණක් වුවද, එම නිලධාරියාගේ භාර්යාවට ද නවාතැන් පහසුකම් සහිත සෞඛ්‍ය සේවා ලබා දීමට මේ වන විට කටයුතු සලසා ඇත.

මෙසේ ජාතියට ආරක්ෂාව සලසනවා මෙන්ම ගංවතුර ආපදා ආදියේදී මානුෂීය මෙහෙයුම් ක‍්‍රියාත්මක කරමින්, විශේෂයෙන්ම වසංගත තත්ත්වය සඳහා නායක රාජකාරියක් ඉටු කරන හමුදාව සඳහා අරක්කු පැන්නීමේ චෝදනාවක් පසුගිය සතියේදී එල්ල විය.

අනුරාධපුර සතොසින් හමුදාව අරක්කු ගත් හැටි

අනුරාධපුර යුද හමුදා නිවස්නය සඳහා අවශ්‍ය අරක්කු පමණක් නොව අනිකුත් දෑද මෙම කාලයේදී හමුදාව මිලදී ගත්තේය. අදාළ සේවා සැපයීමේදී අවශ්‍ය සියල්ල එසේ ගබඩා කර සැපයීම එම කාර්යය භාරව සිටින නිලධාරියාගේ වගකීමය. ඒ අනුව අරක්කු යම් ප‍්‍රමාණයක් ද අදාළ ගබඩා තුළ අඛණ්ඩව රඳවා තබා ගත යුතුය. ඒ අනුව අනුරාධපුරයේ සුරාබදු කාර්යාලයට සහ සතොස ආයතනයට ලබාදුන් දුරකතන ඇමතුමක් අනුව, යුද හමුදාවේ අනුරධපුර නිලධාරී නිවස්නය සඳහා අවශ්‍ය අරක්කු ලබා ගැනීම සඳහා අදාළ නිලධාරියා ඉල්ලීමක් සිදු කර තිබුණි. මේ සඳහා අදාළ ආයතන ලබා දී තිබූ ප‍්‍රතිචාරය වූයේ පසුදින සන්ධ්‍යාවේ ඒ සඳහා පැමිණෙන ලෙසය. කොහොමටත් මේ දිනවල සතොස ආයතන රටපුරා විවෘත කර තිබේ. ඇතුළත වාසි හමුදාව සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනීමට එම දැනුම් දීම අනුව නිලධාරීන් මේ සඳහා ගොස්, රුපියල් එක් ලක්ෂ තිස් අටදාහක අරක්කු ලබාගෙන තිබේ. එහිදී සතොස සේවකයන් කිහිප දෙනෙකු ද මේ අනුව තමන් වෙත බෝතල් අටක් ලබා දෙන හමුදාවෙන් ඉල්ලීමක් කර, ඒ සඳහා අවකාශ සලසා දිය නොහැකි බවත්, මේ තමන් සඳහා හෝ යම් නිලධාරියෙකු සඳහා පුද්ගලික ලෙස අරක්කු ගෙන යෑමක් නොව යුද හමුදාව සඳහා රාජකාරී මට්ටමෙන් සිදු කරන කර්තව්‍යයක් හෙයින්, එවැනි දෙයක් තමනට කළ නොහැකි බව නිලධාරියාගේ මතය වී තිබුණි. අදාළ නිලධාරියා සිය රාජකාරි ඇඳුමෙන්, හමුදා වාහනයෙන් මේ සඳහා ගොස් සිටි අතර එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් යුද හමුදාව වහාම පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි. බලෙන්, සොරෙන් හෝ තමනට හෝ අනුනට පුද්ගලික ලෙස එම නිලධාරියා අරක්කු ලබාගෙන නොතිබියදී වුවද, ඔහු ඉටු කර තිබුණේ සිය වගකීම වුව ද අදාළ නිලධාරියට එරෙහිව යුද හමුදාව පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි. හමුදාව පාර්ශ්වයෙන් දැනට දෝෂයක් ලෙස දැක ඇත්තේ, රටේ තිබෙනා තත්ත්වය අනුව මෙවැනි පියවරකට යෑම පමණය. ඒ අනුව අදාළ තනතුරෙන් ඔහු ඉවත් කර විනය පරීක්ෂණයක් සිදු කරමින් මූලස්ථානයට යාකිරීමක් ලෙස ඔහු රඳවා තිබේ. මෙහිදී පොලිස්පතිවරයා ද හමුදාවෙන් කරන ලද ඉල්ලීමකදී පෙන්වා දී ඇත්තේ, එහි වරදක් සිදුවී නොමැති බවය. මෙවැනි තත්ත්වයන් යටතේ රටේ ආරක්ෂක අංශ සඳහා විශේෂයෙන්ම යුද හමුදාව ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා හි අතරින් පතර විවේචන එල්ල කරන්නට පටන් ගෙන තිබුණි.

ඉදිරි නඩත්තු පෙදෙස – නැගෙනහිර ආඥාපති සහ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක තනතුරු හොබවන බි‍්‍රගේඩියර් මහේෂ් අබේරත්න පසුගියදා මේජර් ජෙනරල් නිලයට උසස් විය. උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න වෙත සිය සුබපැතුම් එක් කළ යුද හමුදාධිපතිවරයා, ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකාය නගා සිටුවීමට සහ නව ක්ෂේත‍්‍රයන් ඔස්සේ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකායේ කාර්යභාර්ය තවදුරටත් වැඩිදියුණු කිරීමට කටයුතු කරන මෙන් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකායේ කර්නල් සේනාවිධායක තනතුර හොබවන මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න වෙත පැවසීය.

යුද්ධ හමුදාවේ වොලිබෝල් ක‍්‍රීඩාව ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් යුද හමුදාධිපතිවරයා මෙම සුහද හමුවේදී, ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති සහ යුද්ධ හමුදා වොලිබෝල් කමිටුවේ සභාපති තනතුරු හොබවන මේජර් ජෙනරාල් මහේෂ් අබේරත්න වෙත උපදෙස් ලබාදුන්නේය.

සනත් උත්පල යයි – උපුල්ට නව තනතුරක්

වසර 34 කට අධික සිය නාවික සේවය නිමා කරමින් රියර් අද්මිරාල් සනත් උත්පල ජුනි 14 වැනි දා නාවික හමුදා සේවයෙන් විශ‍්‍රාම යෑම සිදුවිය. නාවික හමුදාපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප‍්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් සනත් උත්පල වෙත උපන් දින සුභපැතුම් එක් කර, නාවික හමුදා සම්ප‍්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාර පුද කිරීමෙන් අනතුරුව සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් ජ්‍යෙෂ්ඨ නිලධාරියා නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන ලදී.

1986 වර්ෂයේදී 15 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් සනත් උත්පල, තම සේවා කාලය තුළ විවිධ නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇති අතර, නාවික හමුදා අධ්‍යක්ෂ ක‍්‍රීඩා, වයඹ, බටහිර, උතුරු මැද නාවික විධානයන්හි නියෝජ්‍ය ආඥාපති, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ත‍්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ නිලධාරී සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති ආදී ප‍්‍රමුඛ නිලතල දරමින් කටයුතු කළ නිලධාරියෙකි. රියර් අද්මිරාල් සනත් උත්පල විශ‍්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ ශ‍්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ජුනි 14 වැනිදා පත් කිරීමට නාවික හමුදාපතිවරයා කටයුතු යොදා තිබුණි.

නාවික හමුදා සම්ප‍්‍රදායන්ට අනුව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ස්වේච්ජා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් පසු ශ‍්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් සනත් උත්පල විසින් එම මූලස්ථානයේ දී ආඥාපති ධුරයේ රාජකාරීන් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වෙත භාර දීම සිදු කෙරිණි. එම අවස්ථාවෙන් පසුව ශ‍්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති, නාවික හමුදාධිපති හමුවීම සිදු විය. රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ශ‍්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති තනතුරට අමතරව බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන්ද තවදුරටත් කටයුතු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment