වත්තලින් සීනි ගබඩාවක් වටලයි

140

පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි නොකර නීති විරෝධී ලෙස ගබඩාකර තිබූ තවත් ආනයනික සීනි මෙටි‍්‍රක් ටොන් 4096ක තොගයක් ඊයේ (30දා) වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ ගබඩාවකින් සොයා ගැනීමට පාරිභෝගික සේවා අධිකාරියට හැකිවී තිබේ.

ආනයනය කරන ලද මෙම සීනි තොගය මාස කිහිපයක සිට මෙම ගබඩාවේ තිබී ඇති අතර එම සීනි තොගය ගබඩා කර තිබූ ගබඩාවට මුද්‍රා තබා ඇත.

පාරිභෝගික සේවා අධිකාරී පනතට ඇතුළත් කරන ලද නව සංශෝධනයට අනුව මෙලෙස නීති විරෝධීව පවත්වාගෙන යනු ලබන සීනි තොග රැස්කර තිබෙන ගබඩා මුද්‍රා තැබීමට පාරිභෝගික අධිකාරිය පසගිය දින කිහිපයේ සිට පියවර ගෙන තිබුණි.

පසුගිය දින කිහිපය තුළ කරන ලද වැටලීම්වලින් මෙලෙස නීති විරෝධීව ගබඩා කර තබූ සීනි මෙටි‍්‍රක් ටොන් 10,000 කට ආසන්න ප‍්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන එම ගබඩා සීල් කර ඇත.

වෙළෙඳ පොළ තුළ කෘතී‍්‍රම සීනි හිඟයක් මවා පා අසීමිත ලාභ ලැබීමේ අරමුණින් ජනතාවට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ අරමුණින් මෙලෙස සීනි තොග ගබඩාකර තැබීමට මෙම සීනි ආනයනකරුවන් කටයුතු කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

දිවයින පුරාම ආවරණය වන පරිදි මෙම වැටලීම් අඛණ්ඩව සිදුකරන ලෙස වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහත්වරුන් පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් දී තිබේ.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment