වත්තේගම කැබිලිත්ත වන රක්‌ෂිතයත් වෙළෙන්දන්ට ගොදුරු වෙයි

500

අතරමැදි කලාපයට අයත් මොනරාගල දිස්ත‍්‍රික්කයේ සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වත්තේගම – කැබිලිත්ත වන රක්ෂිතයට අයත් ඉඩම් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ මෙහෙයවීම යටතේ අත්පත් කර ගෙන ඒක භෝග වාණිජ වගාවක් ලෙස බඩඉරිඟු වගා බිම් ව්‍යාප්ත කිරීමට සූදානම් වේ. පසුගිය කාලය පුරා ම වරින්වර මෙම වනාන්තර ඉඩම් එළි කර බඩඉරිඟු වගා බිම් පවත්වාගෙන ගිය ද ඊට එරෙහි ව නීතිය ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙවර ව්‍යාපාරිකයන් කණ්ඩායමක් හා නීතිඥවරු කිහිපදෙනෙකු එක් ව සංවිධානාත්මකව මෙම වන රක්ෂිතයට අයත් ඉඩම් අත්පත් කර ගැනීමට සූදානම් වේ. වත්මන් ආණ්ඩුවේ ඉඩම් ප‍්‍රතිපත්ති භාවිත කර දැවැන්ත රක්ෂිත වනාන්තර කොල්ලයකට මෙම කණ්ඩායම් එක් ව සැලැසුම් සකස් කරමින් සිටී.

අලි – ඇතුන් ඇතුළු විශාල ජෛව ප‍්‍රජාවකට වාසස්ථාන සපයන අන්තර් මෝසම් වනාන්තර වැස්මක් සහිත මෙම වන රක්ෂිතය ජල මූලාශ‍්‍ර බොහොමයක ප‍්‍රධාන ජලපෝෂක ප‍්‍රදේශයකි. යාල ජාතික වනෝද්‍යාන සංකීර්ණය හා කුඹුක්කන වන රක්ෂිතය ඇතුළු රක්ෂිත වනාන්තර පද්ධතියක් සම්බන්ධ කරන මෙම වනාන්තරය, වන සංරක්ෂණ ආඥා පනත නීතිගත වූ මුල් අවදියේ සිට ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වූ රජයට අයත් වනාන්තරයකි. මෙම වනාන්තරය වන රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම 2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තිය අනුව 2012 නොවැම්බර් මස 12 වන දින අංක 1789/9 දරන ගැසට් නිවේදනය මගින් සිදු කර ඇත. මේ මගින් හෙක්ටයාර 28,926 ක් වන වනාන්තර ප‍්‍රදේශයක් වත්තේගම – කැබිලිත්ත රක්ෂිත වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

විල ඔයේ හා කුඹුක්කන් ඔයේ ජල පෝෂක වනාන්තර වැනසීම

හෙක්ටයාර 28,926 ක් නැතහොත් අක්කර 71,537 ක භූමි ප‍්‍රදේශයක් පුරා පැතිරුණු වත්තේගම – කැබිලිත්ත වන රක්ෂිතය විල ඔය, කුඹුක්කන් ඔය, කොටියාගල වැව හා වට්ටාරම වැව යන සුවිශේෂී ජල මූලාශ‍්‍රවල ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශයකි. මේ නිසා මෙම වන රක්ෂිතය විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරුණු කෘෂිකාර්මික බිම්වල ජල සුරක්ෂිතතාවය කෙරෙහි සෘජු ව බැඳී පවතී.

මරගල කඳුවැටියෙන් ආරම්භ වන විලඔය, ඇතිමලේ වැව හා කොටියාගල වැව යන ප‍්‍රධාන වැව් දෙක පෝෂණය කරමින් වත්තේගම – කැබිලිත්ත මෙම වන රක්ෂිතය හා කුඩුම්බිගල – පානම අභය භූමිය තුළින් ගලා ගොස් පානම කලපුව හා සම්බන්ධ වේ. වර්ග කිලෝමීටර් 484 ක ජල ද්‍රෝණියක් සහිත විල ඔය මරගල කඳුවැටියේ සිට පානම කලපුව දක්වා සීමාවේ පිහිටි වැව් 47 කට ජලය සැපයීම සිදු කරයි. මෙම වන රක්ෂිතයෙන් ආරම්භ වී පෝෂණය වන කරදණ්ඩ ආර, නවදණ්ඩ ආර හා කෝන්කැටිය ආර යන දියදහරාවන් විල ඔය පෝෂණය කරන ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශය ලෙස ක‍්‍රියාත්මක වේ.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ලූණුගල කඳුවැටියෙන් ආරම්භ වන කුඹුක්කන් ඔය යාල ජාතික වනෝද්‍යානය තුළින් ගලා ගොස් මුහුද හා සම්බන්ධ වේ. වර්ග කිලෝමිටර් 1218 ක ගංගා ද්‍රෝණියකින් සමන්විත කිලෝමීටර් 1218 ක් දිග මෙම ඔයට වසරකට ජලය ඝන මීටර් මිලියන 2115 ක් එක් වේ. එම ජලයෙන් වැව් 93 කට හා අමුණු 145 කට වාරි ජලය ලබා දෙමින් විශාල වගා බිම් ප‍්‍රමාණයක් පෝෂණය කරයි. මෙම වන රක්ෂිතය තුළින් ආරම්භ වී පෝෂණය වන ලේපොළොන් ආර, මීදඩු ආර හා නාම්පන් ආර යන දිය දහරාවන් මගින් කුඹුක්කන් ඔය පෝෂණය වේ.

මීට අමතර ව මෙම වන රක්ෂිතයෙන් ආරම්භ වී පෝෂණය වන රත්මලේ ආර හා උණ ඇළ මගින් වන රක්ෂිතයෙන් පිටත පිහිටි කොටියගල වැව හා වට්ටාරම වැව පෝෂණය වේ. මෙම වන රක්ෂිතය තුළ ද මීතොටකනත්ත වැව, ලේපොළොන්ආර වැව, මයිල්ල වැව, හංසවැලි වැව හා වරාකනත්ත වැව නමින් හඳුන්වන වැව් පිහිටා තිබේ. එම වැව්වලට එක්රැුස් වන වැසි ජලය අලි – ඇතුන් ඇතුළු විශාල සත්ත්ව ප‍්‍රජාවකගේ ජල අවශ්‍යතාව සපුරාලන අතර මෙම සතුන් ගම්වැදීම හා වගා බිම්වලට පිවිසීම සීමා වීමට මෙම වනාන්තර පද්ධතිය හා මෙම අතහැර දැමූ කුළු වැව් ඉතා ම ප‍්‍රයෝජනවත් වේ.

අලි – මිනිස් ගැටුම වර්ධනය වීම හා මොනරාගල වනාන්තර විනාශය

අලි – මිනිස් ගැටුම පිළිබඳ ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හා විවිධ පර්යේෂකයන් විසින් සිදු කර ඇති අධ්‍යයනවලට අනුව තහවුරු වී ඇත්තේ මෙරට අලි – මිනිස් ගැටුම වැඩි ම දිස්ත‍්‍රික්ක අතුරෙන් සිව්වන ස්ථානය මොනරාගල දිස්ත‍්‍රික්කයට හිමි වන බව ය. ඊට අමතර ව සිව්වන ස්ථානයට ම වැඩි ම අලි – ඇතුන්ගෙන් සිදු වන දේපල හා වගා හානි පිළිබඳ ව වාර්තා වන්නේ ද මොනරාගල දිස්ත‍්‍රික්කයෙන් ය. මෙම දිස්ත‍්‍රික්කයේ වැඩි ම අලි – මිනිස් ගැටුමක් වාර්තා වන්නේ සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ය. පසුගිය වසර 10 තුළ දී පමණක් මොනරාගල දිස්ත‍්‍රික්කයේ අලි – ඇතුන්ගෙන් සිදු වූ දේපළ හානි පිළිබඳ ව වාර්තා 1127 ක් පමණ ඇති අතර මිනිසුන් විසින් සිදු කළ අලි – ඇතුන් ඝාතනයන් සහ අලි – ඇතුන් සිදු කළ මිනිස් ඝාතනයන් 330 ක් පමණ මෙම දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මෙම තත්ත්වයට බලපාන ප‍්‍රධාන හේතුව අලි – ඇතුන්ගේ වාසස්ථාන වන වනාන්තර හා තෘණ භූමි විනාශ කිරීම මෙන් ම ඒවා ඛණ්ඩනය වන පරිදි වාණිජ වගා බිම් ස්ථාපිත කිරීම ය.

ඉඩම් පරිහරණ හා ප‍්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව මොනරාගල දිස්ත‍්‍රික්කයේ මුළු භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 5,63,900 ක් පමණ වන අතර ඉන් වනාන්තර හා තෘණ භූමි වලින් හෙක්ටයාර 2,96,125 ක භූමි ප‍්‍රමාණයක් ආවරණය වී තිබේ. එය දිස්ත‍්‍රික්කයේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 52%ක ප‍්‍රතිශතයකි. නමුත් හෙක්ටයාර 1,05,500 ක් වන සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුළු භූමි ප‍්‍රමාණයෙන් හෙක්ටයාර 43,435 ක් පුරා වනාන්තර හා තෘණ භූමි පැතිර ඇති අතර එය මුළු භූමි ප‍්‍රමාණයෙන් 41%ක ප‍්‍රතිශතයකි. මෙම වනාන්තර හා තෘණ භූමි එකිනෙක හා සම්බන්ධ පද්ධතියක් ලෙස නොපැවතීම හා උක් වගාව හා බඩ ඉරිඟු වගාව සඳහා බොහෝ හේන් වගා බිම් යොදා ගැනීම මෙන් ම අලි – ඇතුන්ගේ වාසස්ථාන තුළ මෙම වාණිජ වගා බිම් පවත්වා ගෙන යෑමේ ප‍්‍රතිඵලයක් ලෙස මොනරාගල දිස්ත‍්‍රික්කයේ සියඹලාණ්ඩුව වැඩි ම අලි – මිනිස් ගැටුමක් වාර්තා වන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බවට පත් වීමට හේතු සාධක ගොඩ නැංවී ඇත.

ඈත අතීතයේ සිට ම මහ කන්නයේ දී හේන් ගොවිතැන් කර යල කන්නයේ දී අතහැර දමන බොහෝ හේන් වගා බිම් අලි – ඇතුන් ඇතුළු බොහෝ සත්ත්ව ප‍්‍රජාවකගේ නියං කාලයේ වාසස්ථාන වුව ද අද වන විට එම හේන් වගා බිම් බඩ ඉරිඟු හා උක් වගාව සඳහා යොදා ගැනීමෙන් යල කන්නයේ අතහැර දැමීමක් සිදු නොවේ. විදුලි වැටවල් සකස් කර හේන් වගා බිම්වල සිදු කරන ඒක භෝග වාණිජ කෘෂිකර්මාන්තය හේතුවෙන් අලි – ඇතුන් ගම් වැදීම වර්ධනය වී තිබේ. එම තත්ත්වය තවත් දෙගුණ තෙගුණ වීමක් වත්තේගම – කැබිලිත්ත වන රක්ෂිතයේ බඩ ඉරිඟු වගා බිම් මහා පරිමාණයෙන් පවත්වාගෙන යෑමට අවස්ථාව ලබා දීම තුළින් ඇති විය හැකි ය. මෙම වන රක්ෂිතය හුදෙකලා වූ ප‍්‍රදේශයක් ලෙස නොව අලි – ඇතුන්ගේ වාසස්ථාන පද්ධතියක් තුළ පිහිටා තිබේ. මෙම වන රක්ෂිතය හා සම්බන්ධව යාල ජාතික වනෝද්‍යාන සංකීර්ණය හා කුඹුක්කන වන රක්ෂිතය පිහිටා ඇති අතර එම වනාන්තර හා සම්බන්ධ ව ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානය, බක්මිටියාව – තිඹිරිගොල්ල වන රක්ෂිතය, කුඩුම්බිගල – පානම අභය භූමිය හා කුමන ජාතික වනෝද්‍යානය පිහිටා තිබේ. මෙම රක්ෂිත වනාන්තර පද්ධතිය පැවතීමෙන් දැනට පවතින තත්ත්වයෙන් හෝ පාලනය වී ඇති අලි – මිනිස් ගැටුම මෙම රක්ෂිත වනාන්තර බඩඉරිඟු වගාව සඳහා යොදා ගැනීමෙන් උග‍්‍ර මට්ටමකට පරිවර්තනය වනු ඇත. එම තත්ත්වයට ගොදුරු වීමට ඇතිමලේ, කොටියාගල, වත්තේගම, තෙනගල්ලන්ද ආශ‍්‍රිත ප‍්‍රදේශවල ගොවි ජනතාවට සිදු වනු ඇත. ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා මේ ආකාරයෙන් විශාල ගොවි ජනතාවක් අනතුරට පත් කිරීම නොකළ යුතු ය.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

වත්තේගම කැබිලිත්ත වන රක්‌ෂිතයත් වෙළෙන්දන්ට ගොදුරු වෙයි
advertistmentadvertistment
advertistmentadvertistment