වත්මන් ආර්ථික අර්බුදයේ දිගුකාලීන සහ ආසන්න හේතු

7155

මීට පෙර 16 වතාවක් අප අයිඑම්එෆ් සහාය ලබාගෙන තිබේ. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම ණය ගෙවීමේ හැකියාව අපට තිබුණි. එනම් මේ අවස්ථාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට අප විසින් අයිඑම්එෆ් සහය ඉල්ලා ඇත්තේ අපගේ ණය තිරසාර නොමැති තත්ත්වයක් යටතේය.
 
 ඒ නිසා අයිඑම්එෆ් සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති වූ පමණින් අපට මූල්‍ය අරමුදල එකඟ වී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මුදල ලබාගත හැකි නොවේ.


 රටක් වශයෙන් ඉතිහාසයේ නොයෙක් වර ආර්ථික අර්බුදයන්ට මුහුණ දී ඇති නමුත් අපේ රට විදේශ ණය ගෙවාගත නොහැකිව බංකොලොත් තත්ත්වයට පත් වූයේ ප්‍රථම වරට ය. ඒ හමුවේ ඉතිහාසයේ මින් පෙර නොවූ විරූ පීඩාවන් රැසකට ජනයාට මුහුණ දීමට ද සිදුව ඇත. මේ වසරේ (2022) ඉතිහාසයේ දරුණුතම ආර්ථික පසුබෑමට මුහුණ දෙමින් ආර්ථිකය විශාල සංකෝචනයකට ලක් වීමට ද නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන පරිදි මේ වසරේ (2022) අප වාර්තා කරනු ඇත්තේ සියයට ඍණ 8.7 ක ආර්ථික වර්ධනයකි. මේ සඳහා හේතු විග්‍රහ කිරීමේ දී ද බොහෝ විට දක්නට ඇත්තේ මධ්‍යස්ථ අදහස් දැක්වීම් නොවේ. ඇතැම් අය මෙය ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 අගදී බලයට පත් වීමෙන් පසුව මුළුමනින්ම වූ දෙයක් ලෙස සඳහන් කරන අතර තවත් සමහර අය කියන්නේ ඉතිහාසයේ සියලු වැරදිවල පව් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කරගැහීමට සිදු වූ බවයි. මේ අදහස් දෙකම නිවැරදි නොවන බව අපගේ අදහසයි. එසේ නම් සත්‍ය කුමක් ද? මේ ලියුම්කරු සිතන පරිදි ආර්ථික ඇසින් බැලීමේ දී ඉතිහාසයේ බලවත්ම ආර්ථික අගාධයට අපේ රට ඇද වැටීමට දිගුකාලීන හේතු මෙන්ම ආසන්න හේතු ද බලපාන ලද බවයි. මධ්‍යස්ථව අදහස් දක්වන ලද බොහෝ ආර්ථික විද්වතුන් ද මේ ගැන අදහස් ප්‍රකාශ කර ඇත. එසේ නම් අප සඳහන් කළ මේ කියන දිගුකාලීන හේතු මෙන්ම ආසන්න හේතු මොනවා ද සහ දැන් අප ඉදිරියට කළ යුත්තේ කුමක් ද යන්න ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

වත්මන් ආර්ථික අර්බුදයේ දිගුකාලීන සහ ආසන්න හේතු

● කොවිඩ් වසංගතයේ බලපෑම්
 

 කොවිඩ් වසංගතය විසින් ද අපගේ ආර්ථික තත්ත්වයට සහ විදේශ විනිමය ලැබීම්වලට සැලකිය යුතු බලපෑමක් කළ බව ඇත්තය. එහෙත් කොවිඩ් වසංගතයට පමණක් මේ බලවත් ආර්ථික අර්බුදයේ හේතු සීමා කළ හැකි නොවේ. ලෝකයේ කොවිඩ් වසංගතයට මුහුණ දුන්නේ අප පමණක් ද නොවේ. එහෙත් අපගේ ආර්ථිකයේ ඒ වන විටත් පැවති සාර්ව ආර්ථික දුර්වලතා නිසා අපට සාපේක්ෂව වඩා වැඩි ආර්ථික බලපෑමකට මුහුණ දීමට සිදු විය. එසේ වුවත් කොවිඩ් වසංගත සමයේ හෝ අපට විදේශ ණය ගෙවාගත නොහැකිව රට මෙලෙස බංකොලොත් තත්ත්වයට පත්වනු ඇතැයි අපි කිසිවිටෙකවත් නොසිතුවෙමු. අප පමණක් නොව ‘අපි තමයි හොඳටම කරේ’ යැයි කියූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හෝ ඔහුගේ රජයේ ආර්ථික බලධාරීන්ට මෙන්ම මහ බැංකුවට ද මේ ගැන නිවැරදි තක්සේරුවක් හෝ ඉදිරි දැක්මක් නොතිබූ බව මේ වන විට පැහැදිලි වී තිබේ. එසේ තිබුණා නම් ඔවුන් කටයුතු කරනු ඇත්තේ ද මේ ආකාරයෙන් නොවේ. මේ අනුව 2020 වසරේ දී අපගේ ආර්ථිකය සංකෝචනය වී සියයට ඍණ 3.6 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළේය. ඊට පසු 2021 වසරේ දී ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් සියයට 3.7 ක වර්ධනයක් වාර්තා කළේය. එහෙත් මහ බැංකුව සිය 2020 වාර්ෂික වාර්තාවට අනුව මුලින් අපේක්ෂා කළේ ශ්‍රී ලංකා ආර්ථිකය, 2021 වසරේ දී සියයට 6 ක ආර්ථික වර්ධනයක් සහ මේ වසරේ (2022) දී සියයට 5.2 ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගනු ඇති බවයි. ඉන්පසු 2021 වසරේ මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් පුරෝකථනය කර තිබුණේ 2022 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය කලින් පුරෝකථනය කර තිබූ සියයට 5.2 සිට සියයට 1.0 දක්වා දක්වා අඩුවනු ඇති බවයි. එහෙත් එම පුරෝකථන කිසිවක් යථාර්ථයක් බවට පත් නොවූ අතර දැන් අපේක්ෂා කරන්නේ මේ වසරේ (2022) විශාල සංකෝචනයකට ලක් වෙමින් සැලකිය යුතු ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනය පරිදි මේ වසරේ (2022) සියයට ඍණ 8.7 කින් ආර්ථිකය පසුබෑමකට ලක්වනු ඇත. කෙසේ හෝ දිගු කලක් පැවති ආර්ථිකයේ ව්‍යුහාත්මක ගැටලු හා දුර්වලතා සමග කොරෝනා වසංගතයේ බලපෑම් මෙන්ම වෙනත් ආසන්න හේතු ද නිසා අපගේ විදේශ විනිමය අර්බුදය උග්‍රම තත්ත්වයට පත්ව ඉතිහාසයේ ප්‍රථම වතාවට 2022 අප්‍රේල් 12 දින අපට විදේශ ණය  ගෙවීමට හැකියාවක් නොමැති බව ලෝකයට නිල වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කළේය.

● දිගුකාලීන හේතු

 මෙහිදී දිගුකාලීන හේතු යනු දශක ගණනාවක් තිස්සේ ආර්ථිකයේ ගැඹුරින් මුල් බැසගෙන ඇති ගැටලු සහ දුර්වලතාවන්ය. ඒවා 2019 අගදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වීමෙන් පසුව මුහුණ දීමට සිදු වූ කොරෝනා වසංගතය මෙන්ම රුසියා – යුක්රේන යුදමය බලපෑම් ඇතුළුව එම රජයේ අදූරදර්ශී තීන්දු තීරණ මෙන්ම නිසි කලට අවශ්‍ය තීරණ නොගැනීම නිසා ද ඒවා ආසන්න හේතු ලෙස බලපාමින් මේ උග්‍ර ආර්ථික අර්බුදයට රටට සහ මහජනයාට මුහුණ දීමට සිදු විය. මේ අනුව ප්‍රධාන වශයෙන් ආර්ථික අර්බුදයේ දිගුකාලීන හේතු කිහිපයක් මෙසේ සඳහන් කළ හැකිය.

● ඉතා අඩු බදු ආදායම
 
 ● විශාල අයවැය හිඟයන්
 
 ● ඒකරාශී වූ එසේම පසුව තිරසාර නොවන
 
 මට්ටමට පත් වූ රාජ්‍ය ණය
 
 ● දිගින් දිගටම පැවති ජංගම ගිණුමේ හිඟය


 මෙසේ දිගටම අඩු බදු ආදායම් තත්ත්වය නිසාත් එම ආදායමට වඩා රජයේ වියදම් සැලකිය යුතු ලෙස වැඩි නිසාත් දිගටම සැලකිය යුතු අයවැය හිඟයන්ට අපට මුහුණ දීමට සිදු වූ අතර එය පියවා ගැනීමට සිදු වූයේ දේශීය සහ විදේශීය වශයෙන් ණය ගැනීමෙනි. මේ නිසා රාජ්‍ය ණය ප්‍රමාණය දිගින් දිගටම වර්ධනය විය. මේ කියන දිගුකාලීන හේතු අපට අවශ්‍ය නම් විස්තරාත්මකව සාකච්ඡා කළ හැකිය. මේ ගැන හිටපු මුදල් ඇමැති අලි සබ්රි මහතා 2022 මැයි 04 දින පාර්ලිමේන්තුවේ දී කළ කතාවේ දී ආර්ථික අර්බුදයට බලපෑ හේතු ගැන මෙලෙස අදහස් දක්වා තිබුණි.

 ‘දශක කිහිපයක සිට පැවතෙන ශ්‍රී ලංකා ආර්ථිකයේ මූලික සාර්ව ආර්ථික දුර්වලතා මෙම තත්ත්වයට මුල් වී තිබෙනවා. රාජ්‍ය මූල්‍ය අස්ථාවරත්වය, සමුච්චිත ණය බර, අඩු ඵලදායිතාවය, දිගින් දිගටම පවතින ජංගම  ගිණුමේ හිඟය මෙයට ඇතුළත්. කොවිඩ් 19 වසංගතය සහ යුක්‍රේන ගැටුම වැනි මෑතකාලීන කම්පනයන් ද මෙම පවතින දුර්වලතාවයන්ට හේතු වී ඇත. කෙසේ නමුත් මෑත කාලීනව ක්‍රියාත්මක කරන ලද සමහර නොගැලපෙන සහ අදූරදර්ශී ප්‍රතිපත්ති හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව පිළිගැනීමට තරම් නිහතමානීකමක් අපට තිබිය යුතුයි.’

 මේ අනුව හිටපු මුදල් ඇමැතිවරයා තමන් නියෝජනය කරන ආණ්ඩුවේ ඇතැම් නොගැලපෙන සහ අදූරදර්ශී ප්‍රතිපත්ති මේ ආර්ථික අර්බුදය මේ මට්ටමට උත්සන්න වීමට හේතු වූ බවට නිහතමානීව පිළිගැනීම අගය කළ යුතුය. ඔහු මුදල් ඇමැතිවරයාව සිටි කෙටි කාලයේ ඔහු අප රට මුහුණ දී සිටි ආර්ථික තත්ත්වය ගැන ඇත්තම තත්ත්වය කිසිදු සැඟවීමකින් තොරව මහජනයාට හෙළි කළ බව ද සිහිපත් කළ යුතුය. නව මහ බැංකු අධිපති ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත්වීමෙන් පසු ඔහු ද අප මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ බරපතලකම ගැන ප්‍රසිද්ධියේම කරුණු කීවේය. ඒ සඳහා ඔහු විශ්වාස කළ හේතු ද පැහැදිලි කළේය. මේ තුළින් ජනසමාජය බොහෝ දැනුවත් වූ අතර මේ තත්ත්වයට කවුරු  වගකිවයුතු වුව ද මෙය රට වෙනුවෙන් සියලු දෙනා එක්ව සාමූහිකව ජයගත යුතු අභියෝගයක් බව ද පැහැදිලි වූ කරුණකි. එහෙත් තවමත් එවැනි පුළුල් දේශපාලන සම්මුතියකින් අපේ රජය සහ දේශපාලන පක්ෂ කටයුතු කරන බවක් දක්නට නොතිබීම නම් කනගාටුවට කරුණකි.

 ● ආසන්න හේතු

 මෙවැනි ආර්ථිකයේ දිගුකාලීනව පැවති ව්‍යුහාත්මක  ගැටලු සහ දුර්වලතාවලට ආසන්න හේතු ද බලපෑම නිසා මෙවැනි උග්‍ර විනිමය සහ ආර්ථික අර්බුදයකට අපට මුහුණ දීමට සිදුව ඇත. වත්මන් ආර්ථික අර්බුදයේ ප්‍රධාන ආසන්න හේතු ලෙස මේ ලියුම්කරු හඳුන්වා දෙන්නේ (තවත් බොහෝ දෙනෙක් ද මේ ගැන සඳහන් කර ඇත.) මේවාය.

 ● 2019 වසර අගදී සිදු කළ විශාල බදු කප්පාදුව

 ● ක්ෂණිකව කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තියකට  යෑමට දැරූ උත්සාහය

 ● කොවිඩ් – 19 වසංගත තත්ත්වය

 ● යුක්රේන – රුසියා යුදමය තත්ත්වය

 ● ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීමට ප්‍රමාද වීම

 ● කෘතීම ස්ථාවර විනිමය අනුපාතයක් දිගු කලක් තිස්සේ පවත්වාගෙන යෑම

 විවිධ අයට වත්මන් ආර්ථික අර්බුදයේ හේතු විවිධ ආකාරයට හඳුනාගත හැකිය. එසේම ඔවුන්ට ඒවා විවිධ ආකාරයට විග්‍රහ කිරීමට ද හැකියාව තිබේ. එහෙත් දේශපාලන දෘෂ්ටිකෝණවලින් නොබලා ආර්ථිකමය වශයෙන් මැදහත්ව සලකා බැලීමේ දී බොහෝ දෙනෙක් මේ කියන හේතු පිළිගන්නා බව ආර්ථික විද්වතුන් බොහොමයක් සමග සාකච්ඡා කිරීමේ දී අපට පැහැදිලි වන දෙයකි. මෙලෙස මේ කරුණු ගැන විවිධ තර්ක පැවතිය හැකි වුවත් බහුතරයක් සාමාන්‍ය මහජනයා තුළත් මේ බලවත් ආර්ථික අර්බුදයට මේ සඳහන් කළ කරුණු හේතු වී ඇති බවට පිළිගැනීමක් තිබේ.

● දැන් අප කුමක් කළ යුතු ද?

 මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට දැන් අප කළ යුත්තේ කුමක් ද? වැදගත්ම ප්‍රශ්නය එයයි. දැන් බොහෝ ප්‍රමාද වී හෝ අප මුහුණ දී සිටින විනිමය අර්බුදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට තීරණය කර එහි මූලික කඩඉමක් පසු කර ඇත. දැන් අපට තිබෙන්නේ එම මාර්ගයේ වේගයෙන් ගමන් කර එම ණය මුදල අනුමත කරගැනීම සඳහා මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වයේ සහ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමයි. දැනට ඇති වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීර්ණ මුදල් පහසුකමක් ලබා ගැනීම සඳහා වන කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවක් පමණි. එහෙත් අපට අදාළ ණය මුදල ලබා ගැනීමට නම් අප තවත් කළ යුතු දේවල් තිබේ. එනම් මූලික වශයෙන්ම ණය තිරසරභාවය ඇති කර

 ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ඇතිකරගත යුතුව තිබේ. එසේම අයිඑම්එෆ් එකට අප එකඟ වී ඇති පූර්ව ක්‍රියාමාර්ග සපුරාලිය යුතුව තිබේ. බදු ප්‍රතිසංස්කරණ ද මෙහි ප්‍රධාන අංගයකි. පසුගිය අතුරු අයවැයෙන් මෙන්ම ඊට පෙරද රජය විසින් බදු වැඩි කිරීම් කළේය. විශේෂයෙන් වැට් බදු ප්‍රතිශතය නැවත 2019 අග බදු අඩු කිරීමට පෙර පැවති සියයට 15 මට්ටමට පසුගිය අතුරු අයවැයෙන් වැඩිකර තිබේ. ඉදිරි 2023 අයවැයෙන් ද බදු ප්‍රතිසංස්කරණ ඇතුළු මූල්‍ය අරමුදල සමග එකඟ වූ සෙසු ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා රජය පියවර ගනු ඇත.

● අයිඑම්එෆ් විධායක මණ්ඩල අනුමැතිය
 

 මීට පෙර 16 වතාවක් අප අයිඑම්එෆ් සහාය ලබාගෙන තිබේ. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම අපගේ ණය තිරසාරභාවය තිබුණි. එනම් ණය ගෙවීමේ හැකියාව අපට තිබුණි. එහෙත් මෙවර අපගේ තත්ත්වය ඉතාමත් බරපතලය. එනම් මේ අවස්ථාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට අප විසින් අයිඑම්එෆ් සහය ඉල්ලා ඇත්තේ අපගේ ණය තිරසාර නොමැති තත්ත්වයක් යටතේය. ඒ නිසා අයිඑම්එෆ් සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති වූ පමණින් අපට මූල්‍ය අරමුදල එකඟ වී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මුදල ලබාගත හැකි නොවේ. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙසේ කියයි.

 ‘බලධාරීන් විසින් පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගෙන් මූල්‍යකරණ සහතික කර ගැනීම සහ පෞද්ගලික ණය හිමියන් සමග සහයෝගිතා ගිවිසුමකට එළඹීමට සද්භාවයෙන් යුතුව ප්‍රයත්න දැරීම මත මෙම ගිවිසුම සඳහා ඉදිරි කාල සීමාව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වයේ සහ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීම රඳා පවතී.’

 මෙසේ අයිඑම්එෆ් සහය ගැනීමට අප ආරම්භ කළ ගමන් මාර්ගයේ කඩිනමින් ඉදිරියට යන අතරම ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා අප කළ යුතු සහ කළ හැකි අනෙකුත් සෑම දෙයක්ම කළ යුතුව තිබේ. මේ මොහොතේ දේශපාලන පක්ෂ පාට අනුව නොබලා රට වෙනුවෙන් වෘත්තීය සහ තිරසාර විසඳුම් අවශ්‍ය කර තිබේ. ඒ සඳහා මහජනයාට ඇත්ත කියා නිරන්තරයෙන්ම මහජන සහාය ද ලබා ගනිමින් රජය විසින් විපක්ෂය ඇතුළු අනෙකුත් සියලු පාර්ශ්වයන් සමග පුළුල් දේශපාලන සම්මුතියකින් කටයුතු කළ හැකි නම් එය මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට විශාල ශක්තියකි. එහෙත් එසේ කටයුතු කිරීමට මේ රජය තවමත් සමත්ව නැති බව නම් කනගාටුවෙන් වුවත් කිව යුතුව තිබේ.

●ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment