වතු හිමියෝ දෙලොවක් අතර…

194

රජය විසින් සැලකිය යුතු අගයකින් එනම් රු.1700 ක් දක්වා වතු සේවක වැටුප් වැඩිවීමක් සිදුකර ඇත. මේ වැටුප් වැඩි කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා වන ගැසට් පත්‍රය පසුගිය මැයි 21 වනදා නිකුත් විය. මේ වැටුප් වැඩි කිරීමට වතු හිමියෝ විරෝධය පළ කර ඇත. එම විරෝධය සඳහා වන හේතු ද ඔවුන් රජයට පෙන්වා දී ඇත. එසේම වැවිලිකරුවන්ගේ සංගමය විසින් මේ ගැන මාධ්‍ය හමුවක් පවත්වා රජයේ මේ තීරණයට විරෝධය පළ කළේය. එහෙත් ගැසට් පත්‍රය නිකුත් වූ දින සිටම ක්‍රියාත්මක වන පරිදි වතු සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වා වැඩිවෙන බවත් විශේෂ දීමනාවක් ලෙස ලබාදෙන රුපියල් 350 ක මුදල සමග රුපියල් 1700 කින් වතු සේවක වැටුප ඉහළ නැංවීම ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කරන බවත් වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රජය විසින් මේ වැටුප් වැඩි කිරීමේ තීරණය ගත්තත් එම වැඩි කළ වැටුප් වතු සේවකයන්ට ගෙවීමට සිදු වන්නේ වතු හිමියන්ටය. වතු හිමියන් මේ වැඩි කළ වැටුප් ඒ ප්‍රමාණයෙන්ම ගෙවීමට අපහසු බව කියන්නේ නම් රජයේ මේ තීරණයට කුමක් වනු ඇති ද? මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ ඒ ගැනය.

වතු සේවක වැටුප් වැඩිවීම ස්ථිර බවත් ඊට එකඟ නොවන වතු සමාගම් සමග ඇති රජයේ ගිවිසුම් අහෝසි කර විනිවිද භාවයෙන් යුතුව, එකඟ වන සමාගම්වලට ඒවා ලබාදෙන බවත් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් තවදුරටත් මෙසේ ද කියයි.

වතු හිමියෝ දෙලොවක් අතර…

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය හමුව …

‘රජය සතු වැවිලි ඉඩම් බදු ගත් වැවිලි සමාගම් 24 ක් පමණ තිබෙනවා. ඒ අතරින් යම් අයෙකු මෙම වැඩිකළ මුදල ගෙවීමට නොහැකි බව පවසන්නේ නම් මුදල් අමාත්‍යාංශය විසින් ඒ බව සොයා බැලීමට කමිටුවක් පත් කරනවා. 1995 වසරේ පටන් වතු බදු ගත් කණ්ඩායමකට මෙවැනි වැටුපක් ගෙවා ගැනීමට නොහැකි නම් ඊට හේතුව බාහිර ගැටලු ද නොඑසේ නම් එය ඔවුන්ගේ අභ්‍යන්තර ගැටලු ද යන්න සොයා බැලීම මෙම කමිටුව මගින් මූලිකව සිදුවනවා. ඒ අනුව වතු සේවකයන්ට ජීවත්වීමට හැකි පරිදි වැඩිකළ වැටුප ගෙවා ගැනීමට නොහැකි වීම ඔවුන්ගේ අභ්‍යන්තර ගැටලුවක් නම් එම සමාගම් සමග ඇති බදු ගිවිසුම් අහෝසි කර නව ආයෝජකයින්ට මෙම වතු ලබාදීමට රජය සූදානමින් සිටිනවා. මෙහිදී එම වතු නව ආයෝජකයන්ට ලබාදීම විනිවිදභාවයෙන් යුතුව සිදු කරනවා. විශේෂයෙන් එහිදී අපනයනය මුල් කරගත් සේවක සුභසාධනය, යටිතල පහසුකම්, නව තාක්ෂණය යොදා ගැනීම ආදී කරුණු පිළිබඳව සැලකිලිමත් වී කටයුතු කළ හැකි නව කණ්ඩායමකට ඉතාමත්ම තරගකාරී ක්‍රමවේදයක් යටතේ නව බදු දීම් සිදුකරනවා.’

මේ අනුව පැහැදිලි වන්නේ වතු හිමියන් කුමක් කීවත් රජය එම රු.1700 ක වතු සේවක වැටුප් වැඩි කිරීම ගැන දැඩි තීරණයක සිටින බවයි. එහෙත් මේ වැටුප් වැඩි කිරීමේ තීරණය ගැනීමේ දී රජය කිසි ලෙසකින් තමන් සමග සාකච්ඡා නොකළ බව වතු හිමියන් කියයි. මේ නිසා ඉකුත් මැයි 27 වැනිදා කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් සඳහන් කර සිටියේ රජය ගනු ලැබූ මෙම තීරණය අත්තනෝමතික, අදූරදර්ශී හා ඒකපාර්ශ්වික තීරණයක් බවයි. නව වැටුප් වැඩිවීම හේතුවෙන් වැවිලි අංශයට ඇති කරන අයහපත් බලපෑමට එරෙහිව වතු අංශයේ සියලු පාර්ශ්වකරුවන් විසින් ඒකාබද්ධ නිවේදනයක් ද එහිදී නිකුත් කරන ලදි. එම ඒකාබද්ධ නිවේදනයේ මාතෘකාව ලෙස යොදා තිබුණේ ‘අත්තනෝමතික අයුරින් වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වැවිලිකරුවන්ගේ සංගමයේ දැඩි විරෝධය’ යනුවෙනි. මෙහිදී අදහස් දැක් වූ වැවිලිකරුවන්ගේ සංගමයේ සහ වැවිලි කර්මාන්තයට අදාළ අනෙකුත් සංගම්වල නියෝජිතයින් සියලු දෙනාම රජයේ මේ වැටුප් වැඩි කිරීමේ තීරණය දැඩිව විවේචනය කළේය. ඒ අනුව තේ සහ රබර් අංශයන්හි වතු කම්කරුවන් වෙනුවෙන් වන අවම වැටුප මින් පෙර නොවූ අයුරින් සියයට 70 කින් ඉහළ දැමීමේ රජයේ තීරණය සම්බන්ධයෙන් වැවිලිකරුවන්ගේ සංගමය සිය දැඩි විරෝධය පළ කර සිටියේය. එසේම එහිදී ඔවුන් සඳහන් කර සිටියේ මෙම තීරණය වැවිලි අංශය දුර්වල තත්ත්වයට ඇද දමමින් අවසානයේ දී රට තුළ දැඩි ආර්ථික අස්ථාවර බවක් ඇති කිරීමට ද හේතු වනු ඇති බවයි. ඔවුන් කියන දෙය සත්‍ය නම් මෙය ඉතා බරපතල කතාවකි. අපත් සිතන්නේ රජය විසින් යම් කිසි කර්මාන්තයකට අදාළ තීන්දු තීරණ ගන්නා විට එම කර්මාන්තයේ පාර්ශ්වයන් සමග ද සාකච්ඡා කර ගනු ලබන්නේ නම් එය වඩාත් හොඳ බවයි. එසේ නොකර රජය මේ තීරණය ගෙන ඇති අතර ඉන් පසු වැවිලිකරුවන්ගේ සංගමය, මේ ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී මේ ගැන සාකච්ඡා කර ඇත. එහෙත් ඒ සාකච්ඡාවලින් කිසිම පලක් වී නැත. එම සාකච්ඡාවලින් ද පසුව රජය විසින් එම වැටුප් වැඩි කිරීම සඳහා ගැසට් පත්‍රයක් පවා නිකුත් කර ඇත්තේ රජය ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන තිබෙන නිසා විය යුතුය. මේ ගැන රජයේ ඇමැතිවරු කියන අදහස් අනුව පැහැදිලි වන්නේ ද රජය රු.1700 ක් දක්වා වැටුප් වැඩි කිරීමේ තීරණයේ ස්ථිරව සිටින බවයි. එසේ වැටුප් වැඩි නොකරන වතු සමාගම් පවරා ගන්නා බව ද රජය කියනවා නම් මේ ගැන වතු සමාගම්වලට කළ හැකි වන්නේ කුමක් ද? එකක් නම් එම වැටුප් වැඩි වීම රජය කියන පරිදි ලබා දීමයි. එහෙත් වතු හිමියන් කියන පරිදි එය ලබා දීමට අපහසු නම් වනු ඇත්තේ එම වැටුප් වැඩි කිරීමට ක්‍රියා නොකරන වතු රජය විසින් පවරාගෙන නව ආයෝජකයින්ට ලබා දීමයි. මෙම වතු සමාගම් කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් නිසා රජය විසින් සිදු කරන ඕනෑම ක්ෂණික අත්පත් කර ගැනීමක්ම සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා නීති, සමාගම් පනත සහ අනෙකුත් අදාළ නීති උල්ලංඝනය කිරීමක් ද වනු ඇති බව ද වැවිලිකරුවන්ගේ සංගමය පවසයි. එහෙත් එවැනි තත්ත්වයකට යොමු නොවී මේ ප්‍රශ්නය එකඟත්වයෙන් විසඳා ගැනීමට දෙපාර්ශ්වයම නම්‍යශීලී වීම වඩාත් මැනවි.

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය මාධ්‍ය හමුවේ දී කියා සිටි අදහස් අනුව අපට පැහැදිලි වූයේ ඔවුන් වතු කම්කරු වැටුප් වැඩි කිරීමකට විරුද්ධ නොවන නමුත් රජය මේ තීරණය කර තිබෙන සියයට 70 ක අධික වැටුප් වැඩි කිරීම ගෙවීමට අපහසු බවයි. මෙහිදී අදහස් දැක්වූ ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ නියෝජිතයෝ මෙසේ ද කියා සිටියහ.

“රජය විසින් කර්මාන්තයේ නියුතුව සිටින සියලු පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව කිසිදු සැලකිල්ලක් හෝ තැකීමක් නොකරමින් මෙම තීරණයට එළඹ තිබෙනවා. කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන එම තීරණය මඟින් මෙරට තේ සහ රබර් කර්මාන්තයේ සෑම අංශයක්ම තවදුරටත් දුර්වල කිරීමට හේතු වන බව අපගේ විශ්වාසයයි. එවැනි අසාධාරණ වැටුප් වැඩි කිරීමක් සිදු කරන ලෙස කුඩා තේ සහ රබර් වතු හිමියන්ට හා කලාපීය වැවිලි සමාගම්වලට බල කිරීමේ උත්සාහය කර්මාන්තයේ මූලික මෙහෙයුම් අවශ්‍යතා කප්පාදු කිරීම තුළින් හෝ සාර්ථක කර ගැනීමට නොහැකියි. මුළුමහත් වතුකරයේම අනාගතය මේ වන විට අවදානමට ලක්ව තිබෙන අතරම ශ්‍රී ලංකාව පුරා කර්මාන්තයේ නියැලී සිටින කම්කරුවන්ගේ සහ ප්‍රජාවන්ගේ ජීවනෝපාය ද තර්ජනයට ලක්ව තිබෙනවා.”

රජයේ මෙම තීරණය නිසා තේ සහ රබර් සඳහා වන නිෂ්පාදන වියදම විශාල ලෙස ඉහළ යනු ඇත. ඒ අනුව දැනට ඇස්තමේන්තු කර ඇති තේ කිලෝ ග්‍රෑමයක් සඳහා වන වියදම අවම වශයෙන් සියයට 45 කින් පමණ ඉහළ යනු ඇත. එහෙත් ලෝකයේ තේ නිෂ්පාදනය කරන්නේ අප පමණක් නොවේ. එසේ නම් මේ හේතුවෙන් තේ සහ රබර් කර්මාන්තයට ගෝලීය වෙළෙඳපොළෙහි තරඟකාරීත්වයට මුහුණ දීමට නොහැකි වේ. එසේ වීමෙන් තේ ඇණවුම් අඩු වී තේවල ගුණත්වය පවා පහළ ගොස් (වියදම් අඩු කිරීම නිසා) එම කර්මාන්තයම මූල්‍යමය පීඩාවකට පත්වනු ඇත. මෙම වැටුප් වැඩිවීම කලාපීය වැවිලි සමාගම්වලට අතිරේක බරක් වෙමින් වාර්ෂික ඊපීඑෆ්, ඊටීඑෆ් හා පාරිතෝෂිත ඇතුළත් ගෙවීම් රුපියල් බිලියන 35ක් දක්වා දැඩි ලෙස ඉහළ යන බවත් එය දරා ගත නොහැකි පීඩනයක් බවත් ලංකා වැවිලිකරුවන්ගේ

සංගමය පවසයි. එම සමාගම්වලට එම පීඩනය දරාගත නොහැකි නම් වනු ඇත්තේ එම වතු සමාගම් වසා දැමීමටය. එය වතු කම්කරුවන් දහස් ගණනකගේ ජීවනෝපාය අහිමි වීමට හේතුවක් වනු ඇත. මේ අනුව වතු හිමියන් පෙන්වා දෙනුයේ ආර්ථිකමය වශයෙන් මේ අධික වැටුප් වැඩි කිරීම සිදු කිරීම කර්මාන්තයේම විනාශයකට හේතුවනු ඇති බවයි. එහෙත් එසේ නම් රජය මේ තීරණයේ දැඩිව සිටින්නේ ඇයි? මේ වැවිලිකරුවන් කියන කරුණු සම්බන්ධයෙන් රජය කියන්නේ කුමක් ද? සියඹලාපිටිය ඇමැතිවරයා නම් කියා සිටින්නේ වැඩි කළ මුදල ගෙවීමට නොහැකි බව පවසන්නේ නම් මුදල් අමාත්‍යාංශය විසින් ඒ බව සොයා බැලීමට කමිටුවක් පත් කරන බවයි. එහෙත් එම වැටුප් වැඩි කිරීමට තීරණය කිරීමට පෙර කමිටුවක් පත්කර වැටුප් වැඩි කිරීමේ ප්‍රමාණය සහ ක්‍රමවේදයන් ගැන රජය විසින් නිර්දේශයන් ලබා ගැනීමෙන් පසුව මේ ගැන තීරණයක් ගත්තේ නම් වඩාත් හොඳ බව අපගේ අදහසයි.

ජාතික මැතිවරණයක් ළඟ එන නිසා මෙය වතු කම්කරු ඡන්ද බලාගෙන ගත් දේශපාලන තීරණයක් ද? මේ ගැන වතු හිමියන් කියන්නේ වතුකරයේ දිගුකාලීන ආර්ථික දියුණුව ඉහළ නැංවීම හෝ කම්කරු අවශ්‍යතා ආරක්ෂා කිරීමේ අරමුණින් නොව මැතිවරණ ජයග්‍රහණයන් ඉලක්ක කරගත් කෙටිකාලීන දේශපාලන උපක්‍රමයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි. වැරදි ආර්ථික කළමනාකරණය නිසා රට බංකොලොත් වී දැන් යන්තම් ගොඩ එමින් තිබේ. එහෙත් එසේ තිබියදී වතු හිමියන් කියන පරිදි දේශපාලන වාසි බලාගෙන රජය මෙවැනි තීරණ ගන්නේ නම් එය එම කම්කරු ජනයාට හෝ වැවිලි කර්මාන්තයට යහපතක් වන්නේ නැත. වතු සමාගම් එදා පාඩු ලැබූ නිසා ඒවා මෙරට ජනයාට බරක් වූ බව ද අපට මතකය. ඒ අනුව 1992 වසර වන විට රජය සතු වතු සමාගම් අඛණ්ඩව පාඩු ලැබූ අතර ඒවා පවත්වාගෙන යෑමට රජයට වාර්ෂිකව රු.බිලියන 5ක් දක්වා සැලකිය යුතු මුදලක් ලබා දීමට ද සිදු විය. එහෙත් දැන් එම බර රජයට හෝ පොදුවේ බදු ගෙවන ජනයාට නැති නිසා, මේ ගැන රජය තීරණ ගත යුත්තේ වතු කර්මාන්තයේ පැවැත්ම ද ආරක්ෂා වන පරිදිය.

ගෝලීය තරගකරුවන්ට මුහුණ දෙමින් ‘ලංකා තේ’ නාමයට සහ රබර්වල සුවිශේෂී ගුණාත්මකභාවයට ඇති කීර්තිනාමය ද අප රැකගත යුතුව ඇත. ලංකාවේ තේ වැඩි වශයෙන් අපනයනය කරන නිසා මෙය විදේශ විනිමය උපයන කර්මාන්තයකි. ඒ නිසා අප උත්සාහ ගත යුතු වන්නේ ලෝක තරගකාරිත්වයට මුහුණ දෙමින් වැඩි අපනයන ආදායමක් රටට උපයා ගැනීමටය. මේ ආකාරයෙන් ගනු ලබන ප්‍රායෝගික නොවන අත්තනෝමතික තීන්දු තීරණ හේතුවෙන් දේශීය හා විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය පළුදු වී යන බව ද වතු හිමියෝ කියති.

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය විසින් දිගු කාලයක් තිස්සේ ඵලදායිතාව හා වෙන්දේසියෙන් උපයන ආදායම සම්බන්ධ වැටුප් ආකෘතියක් හෝ කම්කරුවන්ගේ දීමනා ඵලදායිතාවට හා ආදායමට සම්බන්ධ කරන ආදායම් බෙදා ගැනීමේ ආකෘතියකට සහාය දක්වා ඇත. මෙම ක්‍රමය මගින් ඵලදායිතාව දිරිමත් කරමින් කම්කරුවන් සඳහා සාධාරණ සහ තිරසාර වැටුප් ක්‍රමවේදයක් සහතික කරන බව ද එම සංගමයේ නියෝජිතයෝ මාධ්‍ය හමුවේ දී කියා සිටියහ. වර්තමානයේ ක්‍රියාත්මක දෛනික පැමිණීම මත පදනම් වූ අවම වැටුප් ආකෘතිය යල්පැන ඇති අතර එය නූතන වැවිලි කර්මාන්තයේ අවශ්‍යතා පිළිබිඹු නොකරන බව ද ඔව්හු කියති. එහෙත් මේ යෝජනා ගැන රජය යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. මේ නිසා ඔවුන් මේ මොහොතේ රජයෙන් ඉල්ලන්නේ තම කර්මාන්තයේ යෝජනා ද සලකා බලන ලෙසයි.

මේ අතර වතු සේවකයින්ගේ වසර 10 ක් පුරා නොගෙවූ කෝටි පන්සියයකට ආසන්න හිඟ අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල් පොලියත් සමගම ගෙවීමට අදාළව ජනාධිපතිතුමන්ගේ මගපෙන්වීම හා උපදෙස් පරිදි ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට ගිය සතියේ අනුමැතිය ලැබී ඇත. ඒ අනුව අදාළ හිඟ වැටුප් පොලියත් සමග ම එම සේවකයින් වෙත ලබාදීමට නියමිතය. රජයට අයත් වැවිලි සමාගම් වන ජනතා වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතන තුනෙහි පමණක් රුපියල් බිලියන පහකට ආසන්න ප්‍රමාණයක හිඟ අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල් වසර දහයකටත් වැඩි කාලයක සිට නොගෙවා තිබී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

advertistmentadvertistment
advertistmentadvertistment