වනඅලි මරණ 40ක් මිනිස් මරණ 09ක් – පොළොන්නරුවෙන් ගතවූ මාස 07 ට

249

2021 ජනවාරි සිට ජූලි මස අවසානය දක්වා ගතවූ මාස 07 ක කාලය තුළ පොලොන්නරුව වනජීවී කලාපයේ වන අලි මරණ 40 ක් සිදුවී ඇතැයි වනජීවී නිලධාරීහු කියති.

එය පසුගිය අවසරේ (2020) මුල් මාස 07 තුළ සිදුවී ඇති වන අලි මරණ සංඛ්‍යාවට බෙහෙවින් වැඩි බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.

මේ අතර මෙම වසරේ ගතවූ මාස 07 තුළ වන අලි පහරදීම් හේතුවෙන් මිනිස් මරණ 09 ක් සිදුව ඇති බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිල දත්ත අනාවරණය කරයි. පොලොන්නරුව වනජීවී කලාපය තුළ 2020 ජනවාරි සිට ජූලි අවසානය දක්වා මාස 07 ක කාලසීමාව තුළ වන අලින් මියගොස් ඇත්තේ 22 කි. එම වසරේ මුල් මාස 07 තුළ වනඅලි පහරදීම් හේතුවෙන් මිනිස් මරණ සිදුව ඇත්තේ 05 ක් පමණි. ඒ අනුව මේ වසරේ ගෙවුණු මාස 07 ට මෙම වනජීවී කලාපයේ වන අලි මරණ සහ මිනිස් මරණ

පසුගිය වසරට සාපේක්‍ෂව වැඩිවීමක් පෙන්නුම් කරන බව පොලොන්නරුව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. ජී. කීර්ති චන්‍ද්‍රරත්න මහතා ප‍්‍රකාශ කළේය. සෑම වසරකම සිදුවන වන අලි මරණවලින් විශාල ප‍්‍රමාණයක් ස්වාභාවික මරණ නොව අහඹු අනතුරු සහ අලි මිනිස් ගැටුම් හේතුවෙන් සිදුවන අකල් මරණ බවද හෙතෙම පෙන්වා දෙයි. කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අනුගමනය කල සෞඛ්‍ය පිළිවෙත් දැඩිව ක‍්‍රියාත්මක වීම නිසා 2020 වසරේ වනජීවී කලාප ඇතුළු වනාන්තරවල නීති විරෝධී මිනිස් ක‍්‍රියාකාරකම් විශාල වශයෙන් අඩුවීමට හේතු ලෙස බලපෑ බව චන්ද්‍රරත්න මහතා කීය. එම නිසා ඒ වසරේ අකල් අලි මරණ ගණන අඩුවීමට හේතුවූ බවද කීවේය.

වෙඩි තැබීම්, විදුලිය සැර වැදීම්, හක්කපටස් ආහාරයට ගැනීම, අලි දුම්රියේ ගැටීම් නිසා සිදුවන අනතුරු ආදිය එම අකල් අලි මරණවලට විශේෂයෙන්ම හේතුවී ඇතැයිද ඒ මහතා කීය. එමෙන්ම වනජීවී කලාප තුළ සහ ඉන් බැහැරව බහුලව සිදු කෙරෙන නොයෙකුත් නීති විරෝධී මිනිස් ක‍්‍රියාකාරකම් අලි මිනිස් ගැටුම් ඉහළ යෑමට විශාල වශයෙන් බලපා තිබෙන බවද කීවේය.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment