වනජීවි වෙඩි පහරින් දඩයක්කරු රෝහලේ: වනජීවි නිලධාරින් අත්අඩංගුවට

148

වන සතුන් දඩයම් කිරීමට ගිය බව කියන පුද්ගලයෙකුට වෙඩි තැබූ කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාලයට අනුයුක්තව රාජකාරි සිදුකළ වනජීවි නිලධාරින් දෙදෙනෙකු කරුවලගස්වැව පොලිසිය 16 වෙනි දින අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. කරුවලගස්වැව එරඹුදුගස්වැව ප්‍රදේශයේ දී වනජීවි නිලධාරින් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

වෙඩි තැබිම සිදු කරන ලද ගිනි අවිය හා පතොරම් හතරක්ද කරුවලගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කරුවලගස්වැව වනජීවි කාර්යාලය පවසන්නේ තබ්බෝව අභය භුමිය ආසන්නයේ පිරිසක් වන සතුන් දඩයම් කිරීමේ නිරතව සිටින බවට ලැබුණ තොරතුරක් මත අදාල ප්‍රදේශයට ගමන් කළ බවයි. එහිදී දඩයමේ යමින් සිටි පිරිස තමන්ට වෙඩි තැබීමට උත්සාහ කළ බවත් එම අවස්ථාවේ වනජීවි නිලධාරින් යැයි පවසා සිටියත් එය නොතකමින් වෙඩි තැබීමට සූදානම් වීම නිසා තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වෙඩි තැබීමක් සිදුකළ බවයි.

වනජීවි නිලධාරින් විසින් සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල වූ තැනැත්තා අසලට වනජීවි නිලධාරින් ගමන් කළද ඒ ආසන්නයේ කුඹුරු වල පැල් රකිමින් සිටි විශාල පිරිසක් එම ස්ථානයට දිව ඒමත් සමග තමන් එම ස්ථානයෙන් ඉවත් වූ බව වනජීවි නිලධාරින් පොලිසිය හමුවේ පවසා ඇත. මෙම වෙඩි ප්‍රහාරයට ලක්වු තැනැත්තා හා ඔහු සමග සිට පැන ගිය අනෙක් දෙදෙනා දඩයම් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධව මීට පෙරද අත්අඩංගුවට ගෙන සිටි අය බව පැවසේ. මෙම වෙඩි තැබීම සම්බන්ධව පාර්ශව දෙකෙන්ම ප්‍රකාශ සටහන් කර ගෙන විමර්ශන ආරම්භ කර ඇති බව කරුවලගස්වැව පොලිසිය පවසයි. පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති වන ජීවි නිලධාරින් දෙදෙනා 16 දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අමරනන්ද විජේසේකර-මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment