වනජීවී ඇමැති සී. බී.- කෙන්යාවේ වනජීවී ඇමැති හමුවක් – වනජීවී සංරක්ෂණ අත්දැකීම් හුවමාරුවට අවබෝධතා ගිවිසුමක්

69

කෙන්යාවේ සංචාරයක යෙදී සිටින වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා කෙන්යානු ජනරජයේ වනජීවී සංරක්ෂණ හා සංචාරක අමාත්‍ය නජීබ් බලාලා මහතා හමුවී ඇති අතර වනජීවී සංරක්ෂණ පිළිබඳව කෙන්යාව සතු ප‍්‍රායෝගික පළපුරුද්ද, අත්දැකීම් හා එම අංශ පිළිබඳ දැනුම තුළින් ශී‍්‍ර ලංකාවට මහත් ප‍්‍රයෝජන ලබා ගත හැකි බවත් ද්විපාර්ශ්වික සබඳතා තුළින් වනජීවී සංරක්ෂණ හා කළමනාකරණය වැඩි දියුණු කර ගැනීම තම අපේක්ෂාව බවත් සඳහන් කර ඇත. එයට ප‍්‍රතිචාර ලෙස කෙන්යානු අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ශී‍්‍ර ලංකාවේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අත්දැකීම් කෙන්යාවට ද අතිශයින් ප‍්‍රයෝජනවත් බවයි.

මෙම සාකච්ඡුාවේදී පහත සඳහන් යෝජනා කි‍්‍රයාත්මක කිරීමට අමාත්‍යවරුන් දෙදෙනා එකඟතාවට පැමිණ ඇත.

* වනජීවී සංචාරක කර්මාන්තය පිළිබඳව ශී‍්‍ර ලාංකික වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට කෙන්යාවේදී අංගසම්පූර්ණ පුහුණුවක් ලබාදීම

* වනජීවී සංරක්ෂණ පුහුණු පාසලක් ශී‍්‍ර ලංකාවේ ආරම්භ කිරීම

* අංගසම්පූර්ණ වනජීවී රෝහලක් ආරම්භ කිරීම හා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම

* ශී‍්‍ර ලංකාවේ වනජීවී වාසස්ථාන වර්ධනය කිරීම හා ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීම

* නව සත්ව උද්‍යාන ආරම්භ කිරීමට සහාය ලබාදීම හා සත්ව උද්‍යාන සඳහා සතුන් හුවමාරු කර ගැනීම

* වනෝද්‍යාන කළමනාකරණය සඳහා තාක්ෂණික දැනුම ලබාදීම

* ශී‍්‍ර ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා කෙන්යාවේ ප‍්‍රායෝගික අත්දැකීම් හා දැනුම උපයෝගි කර ගනිමින් අවශ්‍ය ක‍්‍රමවේදයන් සකස් කර දීමට පියවර ගැනීම

* කෙන්යානු වන සංරක්ෂණ නිලධාරීන්ට ශී‍්‍ර ලංකාවේදී පුහුණුවක් ලබාදී දැනුම හුවමාරු කර ගැනීම

* පාරම්පරික වනජීවී ප‍්‍රතිකාර ක‍්‍රම පිළිබඳව දැනුම හුවමාරු කර ගැනීම

* හරිත සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට පියවර ගැනීම

මෙහිදී අදහස් දැක්වූ කෙන්යාවේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් වේලූපිල්ලේ කනනාතන් මහතා ප‍්‍රකාශ කර ඇත්තේ දශක පහකට ආසන්න කාලයක් පුරා දෙරට අතර පවතින රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා මගින් විවිධ පැතිකඩ සඳහා දොරටු විවර වී ඇති හෙයින්, නයිරෝබි හා කොළඹ අතර සෘජු ගුවන් ගමන් සේවාවන්, ශී‍්‍ර ලංකන් ගුවන් සේවාව මගින් ආරම්භ කළ හැකි බවත්, එමගින් වනජීවී සංරක්ෂණය මෙන්ම සංචාරක ව්‍යාපාරය දියුණු කර ගැනීමටත් විවිධ භාණ්ඩ හුවමාරු කර ගැනීමටත් දෙරටෙහි ජනතාව අතර ඵලදායී මානව සබැඳියාවන් වර්ධනය කරගත හැකි බවත්ය.

මේ පිළිබඳව ශී‍්‍ර ලංකාව හා කෙන්යාව අතර රාජ්‍ය තාන්ති‍්‍රක අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට මෙහිදී එකඟ වී ඇත.

සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment