වනජීවී ගාස්තු සංශෝධනය කාලීන පියවරක්

169

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ජුනි මස 08 වැනි දින පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව ඇසුරෙනි

අද අපි පසුකරමින් සිටින්නේ රටේ ආර්ථික ප්‍රගමනයට ඒක පුද්ගල දායකත්වය සහ ආයතනික දායකත්වය සැපයීමේ අගය පිළිබඳව බහුල වශයෙන් කතාබහට ලක්කරන එකී දායකත්වය ලබාදීම දිරිගැන්වීමට සෑම දෙනාම පාහේ අවම වශයෙන් ප්‍රකාශිතව හෝ දායකවන කාලවකවානුවක්.

එවන් කාලවකවානුවක වනජීවී සංරක්ෂණ ක්ෂේත්‍රය රටේ ආර්ථික උන්නතිය පිණිස කුමන දායකත්වයක් දරන්නේද යන්නත් එකී දායකත්වය ප්‍රශස්ත මට්ටමකින් ලබාදීම තහවුරු කළහැක්කේ කෙසේද යන්නත් ඒ සඳහා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයත් ඒ යටතේ ක්‍රියාත්මක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් දායක වන්නේ කෙසේද යන්නත් පිළිබඳව ඔබ තමුන්නාන්සේලාවත් මහජනතාවත් දැනුවත් කිරීම මගේ වගකීමක් ලෙස මා දකිනවා.

එම වගකීම අද දින ඉටුකිරීම සඳහා ප්‍රවේශයක් ලබාගැනීම පිණිස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිය ක්‍රියාත්මක කිරීම, රක්ෂිත ප්‍රදේශ කළමනාකරණය සහ සංචාරක සේවා සැපයීම යන ප්‍රධාන කාර්යභාරයන් ඉටුකරන බව පළමුවෙන්ම පෙන්වා දීමට මා අදහස් කරනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සංචාරක සේවා සඳහා අයකරන ගාස්තු සංශෝධනය කිරීම පිණිස ප්‍රකාශයට පත්කරන ලදුව මෙම සභාව වෙත ඉදිරිපත් කර ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නියෝග සඳහා අනුමැතිය අපේක්ෂා කරන්නේ මා විසින් මීට පෙරාතුව සඳහන් කරන ලද වගකීම හා කාර්යභාරය, සාර්ථකවත් ආර්ථිකය වෙත ප්‍රගතිශීලී ලෙසත් ඉටුකිරීම අපේක්ෂාවෙන් බව මා නැවතත් සඳහන් කළ යුතු යැයි මා සිතනවා. මෙම ගාස්තු සංශෝධනය අත්‍යවශ්‍ය මෙන්ම කාලීන පියවරක් ලෙස දකිමින් මෙම කාර්යයේ ස්වභාවය හා අපේක්ෂාවන් තවදුරටත් ඔබගේ අවධානයට යොමුකිරීම යෝග්‍ය බව මා සිතනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංචාරක සේවා කීපයක් ජනතාව වෙත සපයනු ලබනවා. ජාතික උද්‍යාන තුළ දිවාකල සංචාරය සඳහා අවස්ථාවන්, කඳවුරු බිම්, සංචාරක නිවාස හා මුහුදු ක්ෂීරපායින් නැරඹීම සඳහා අවස්ථාව ලබාදීම ඒ අතුරින් ප්‍රමුඛ හා ප්‍රචලිත වනවා. මෙම සේවාවන් සැපයීම වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුකූලව ස්වභාවික සම්පත් කළමනාකරණ මූලධර්මයන්ට එකඟව ක්‍රියාත්මක කිරීමට එම ආයතනය අඛණ්ඩව උත්සාහ දරනවා. තවද එකී සංචාරක සේවාවන් ඉහළ ගුණාත්මක තත්ත්වයක් යටතේ පවත්වාගෙන යෑමටත් වැඩිදියුණු කිරීමටත් කටයුතු කරනවා. එමගින් පෙරකී සේවාවන් සපයනු ලබන ස්ථාන එසේ පවත්වාගැනීමට දරා ඇති ආවස්ථික පිරිවැය සඳහා සාධාරණ වටිනාකමක් ලබාදීමට අප උත්සුත වනවා. එමෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සංචාරක සේවා මගින් ආර්ථිකය වෙත අපේක්ෂිත දායකත්වය ඉහළ දැමීම සඳහා එකී සේවාවන්හි ප්‍රමාණාත්මක වර්ධනයක් මෙන්ම ගුණාත්මක වර්ධනයක්ද අවශ්‍ය වනවා. ඒ යටතේ නව උද්‍යාන ප්‍රවේශයන්, කඳවුරු බිම් හා විවිධ ක්‍රියාකාරකම් සංචාරකයන් සඳහා විවෘත කිරීමට මේ වන විටත් කටයුතු කරමින් පවතිනවා. තවද මාර්ගගත ක්‍රමවේද යටතේ සංචාරක සේවා සඳහා බලපත්‍ර නිකුත් කිරීම වැනි තාක්ෂණික වැඩිදියුණු කිරීම්ද එකී සේවාවල ගුණාත්මක බව ඉහළ දැමීම සඳහා හඳුන්වා දෙනු ලබමින් සිටිනවා.

එමෙන්ම එකී සේවා විවිධාංගීකරණයකට ලක්කිරීම මගින්ද ආර්ථිකයට ලබාදෙන දායකත්වය වැඩිකිරීමට පැහැදිලි හැකියාවක් පවතිනවා. ඒ යටතේ වෙරළබඩ පාගමන්, ගුහා තරණය, කඳු තරණය වැනි ක්‍රියාකාරකම් හඳුන්වාදීමට ක්‍රියාකරමින් සිටිනවා. එම සියලු ඉලක්කයන් සපුරාගැනීමට එකී සංචාරක සේවා ඇසුරින් මනා සැලසුමකින් යුතු ආයෝජන අත්‍යවශ්‍ය වනවා. ඒ සඳහා ඇති මූල්‍ය හැකියාව වර්ධනය කරගැනීමත් අද දින මෙම ගරු සභාවේ විවාදයට බඳුන් කරන රෙගුලාසි යටතේ ගාස්තු සංශෝධනයට ලක්කරමින් වැඩි ආදායමක් ඉපැයීම මගින් අපේක්ෂා කරනවා.

එකී අරමුණ ඉටුකර ගැනීම සඳහා අද දින විවාදයට බඳුන් කරන වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නියෝග සාදා තිබෙනවා. සංචාරක සේවා සැපයීම වෙනුවෙන් ගාස්තු අයකිරීම සඳහා වන මෙම නියෝග යටතේ සංචාරක සේවා විවිධාංගීකරණයට අවකාශය සලසා තිබෙනවා, කාලවකවානු අනුව වෙනස් වන සංචාරක ආකර්ෂණය කළමනාකරණය කිරීම සඳහා අවාරය, සංචාරක සමය හා සාමාන්‍ය කාලය යනුවෙන් වර්ෂයක් තුළ කාලවකවානු වෙන්කරනු ලැබ තිබෙනවා.

තවද අප වෙසෙන දකුණු ආසියානු කලාපයේ රටවල වැසියන්ට දක්වන විශේෂ අනුග්‍රහයක් ලෙස සාක් රටවල වැසියන්ට අදාළව වෙනම මිල ගණනක්ද නියමකර තිබෙනවා. මෙම කරුණු මාවිසින් ගෙනහැර දක්වන්නේ වනජීවී සංරක්ෂණ ක්ෂේත්‍රය තුළ සංරක්ෂණය සඳහා දායකත්වයක් සපයනු ලබන්නෙකුට මෙන්ම වනජීවී රක්ෂිත නිසා කිසියම් ආකාරයකට ආර්ථික දියුණුවට බාධා පැමිණීමෙන් පීඩාවට පත්වූ අයකුට තම ආර්ථික වර්ධනය සඳහා වනජීවී ක්ෂේත්‍රය තුළින්ම අවස්ථා විවර කරදීම සඳහායි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංචාරක සේවා සපයනු ලබන කලාපයක් ආසන්නයේ ඒ ආශ්‍රිතව ගොඩනැඟී ස්ථාපිතව ඇති ආර්ථික ක්‍රියාකාරකම් ජාලයට ඔබගේ අවධානය යොමු කරන්නේ නම් එම කලාප ආශ්‍රිතව වනජීවී සම්පත් නිසා ජන ජීවිතයට උදාකර දී ඇති වාසිසහගත තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ඔබට ලැබෙනු ඇති. ඔබ තමුන්නාන්සේලාද දන්නා පරිදි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංචාරක සේවා සපයනු ලබන කලාපයන් ආශ්‍රිතව එකී සේවාවන්ට ගැලපිය හැකි විවිධ සැපයුම් හා සේවා සඳහා විවිධ පරිමාණයේ ව්‍යවසහයකයන් රාශියක් බිහිවී තිබෙනවා. සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම් සැපයීම, ජීප් රථ සේවා සැපයීම වැනි ව්‍යවසහයකත්වයන් ඒ අතුරින් ප්‍රමුඛයි. ඊට අමතරව සංචාරකයන් වෙත තම නිෂ්පාදන අලෙවි කිරීම වැනි අවස්ථාවන් බහුල වශයෙන් ජනතාවට විවෘත වී තිබෙනවා.

පවිත්‍රා වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment