වනජීවී ඡායාරූපකරණය චැලේන්ජ් එකක් සමහර ප්‍රවීණයෝ “එතික්ස්” කඩනවා… ප්‍රවීණ වනජීවී ඡායාරූප ශිල්පී වජිර ගුණසේකර

146

Wildlife-eye වනජීවී විශේෂාංගය තුළින් පසුගිය සතියේ අප ඔබට හඳුන්වා දුන් රසවතා ප්‍රවීණ හා ප්‍රකට වන ජීවී ඡායාරූප ශිල්පීයා වජිර ගුණසේකරය. ඔහු ඡායාරූපකරණයට ප්‍රවිෂ්ට වූ ආකාරයත්, පරිසරය හා වනජීවීන් සමග ඔහු ගෙවන අපූරු දිවිය ගැනත්, ඔහුගේ ඡායාරූපකරණ දිවිය ගැනත් අපි පසුගිය සතියේ කතා කළෙමු. මෙවර අපි තවදුරටත් වජිරගේ ඡායාරූපකරණ කටයුතු හා එහි සාර්ථකත්වයත් ප්‍රවීණයකු ලෙස ඔහු ආධුනික වන ජීවී ඡායාරූප ශිල්පීන්ට ලබා දෙන උපදෙස් හා මාර්ගෝපදේශය කෙබඳුද යන්නත් සලකා බලමු.

වජිරගේ ආදරණීය බිරිඳ බිනාකා ගුණසේකර ඔහුගේ කටයුතු සාර්ථක කරගන්නට ඔහු පිටුපස සිටින සාර්ථකත්වයේ යෝධ සෙවනැල්ල බව වජිර කියයි. ඔවුන්ගේ නිවසේදී ඒ බව අප මනාව පසක් කර ගත්තේය. බොහෝ විට වනෝද්‍යානවලදී වජිරට තම “පිට්ටු බම්බු” කැමරා රැගෙන වන සතුන් සමග හරඹ කරන්නට ජීප් රථය පදවා සහයෝගය දෙන්නේ බිනාකා ය. එසේම, වජිර යන පිටරට චාරිකා, කොළඹින් පිට චාරිකා සියල්ල සැලසුම් කරදෙන්නේ ද බිනාකා ය. කොටින්ම වජිරට කුරුළු ලෝකය ගැන හසල දැනුමක් ලබාගන්නට මග පාදාදුන් පළමු ගුරුවරිය ද බිනාකා ය. එනිසා අදටත් ඇය තම පූර්ණ කාලයෙන් වැඩි කොටසක් වජිරගේ ඡායාරූපකරණ කටයුතු සඳහා වෙන්කර ඇත්තේය. ඒ ඇයට ඇති කැමරා පිළිබඳ ආභාෂය නිසාමය. මන්ද ඇය උපන්නේ තාත්තාගේ ස්ටුඩියෝ ඇසුරේය. කුඩා කල හැදුනේද කැමරා ඇසුරේය. එසේම, පුතා විශ්ව ගුණසේකර, දියණියන් වන ශවීන්ද්‍රා සහ සමාධි ගුණසේකර දරුවන් තිදෙනාද තාත්තාගේ කුසලතා අගයමින් නිරතුරුව ඔහුට දිරි දෙන බව වජිර මෙන්ම, බිනාකා ද අප සමග පැවසූහ.

වනජීවී ඡායාරූපකරණය චැලේන්ජ් එකක් සමහර ප්‍රවීණයෝ “එතික්ස්” කඩනවා... ප්‍රවීණ වනජීවී ඡායාරූප ශිල්පී වජිර ගුණසේකර
වජිර සහ බිනාකා

ඒ කෙසේ වෙතත් SLR හා DSLR කැමරා හැසිරවීම ඉගෙන ගන්නට තමන්ට ගුරෙක් නොසිටි බව වජිර කියයි. ඒ සියල්ලක් අත පත ගා ඉගෙන ගෙන ඇත්තේ ඔහු විසින් ස්ව උත්සාහයෙනි. නමුත් තමන්ගේ කැමරා දැනුම ඉතා හොඳින් වැඩිදියුණු කරගනිමින් එම දැනුම ඔප මට්ටම් කරගත්තේ ප්‍රවීණ, ප්‍රකට ඡායරූප ශිල්පී වත්තල Cats-eye Studio අධිපති රොහාන් ෆොන්සේකාගේ ඡායාරූපකරණය පන්තිවලදී බව වජිර කියයි. මෙසේ ඔහු රොහාන් හඳුනාගන්නේ තම බිරිඳගේ හොඳම මිතුරිය වන රනිල්කා ගේ ස්වාමියා වන තවත් ප්‍රවීණ හා ප්‍රකට වන ජීවී ඡායාරූප ශිල්පී, එළුවන්කුලම Cloud Nine Lanka Resort අධිපති නීල් ප්‍රනාන්දුගේ මගපෙන්වීමෙනි.

“මගේ තාත්තා අන්තිම කාලෙ Slides (Positive Film) පවා කරන්න පුළුවන් තරමට රීල් යොදා කරන ඡායාරූපකරණය ප්‍රගුණ කරල හිටියෙ. ඔහු ඉස්සරලාම 1992 දී තමයි ඩිජිටල් කැමරාවක් ලංකාවට අරන් ආවේ. ඒ Sony CyberShot කැමරාවක්. ඒත් එක්ක කම්පියුටර් එකකුත් ගෙදරට ගෙනාවා ඒ පින්තුර බලන්න හා ගබඩා කරන්න. ඊට පස්සෙ තමයි රීල් නැති කැමරාවලින් අපි ෆොටෝ ගහන්න පටන් ගත්තේ. ඒ තාක් රීල් කැමරා පාවිච්චි කළ නිසා පුදුම වියදමක් හා අවදානමක් අපි දැරුවේ. දැන් ඉතින් ඩිජිටල් මැජික් එක දන්නා නිසා ඊළඟට ඩිජිටල් පැත්තට තමයි මම වියදම් කරන්නට පටන් ගත්තේ. මේ කැමරා බලගණය දැන් ඉතින් දෙතුන් ගුණයකින් වැඩිවෙලා දැන් ඔක්කොම ඩිජිටල් තමයි පාවිච්චි කරන්නේ.

මේ වෙනකොට මට Cannon 5D Mark 3 කැමරාවක් සහ 600 ලෙන්ස් එකක් තිබුණා. පස්සෙ 1 DX Mark 2 ගත්තා. Prime ලෙන්ස් එකක් ගත්තා. Mirrorless කැමරාවක් ගත්තා. කොහොම හරි මේ වන විට ලක්ෂ 60-70 ක වටිනා බඩු තියනවා මා ළඟ. ඒත් කැමරා ලෙඩේ, ෆොටෝ ගහන ලෙඩේ හොඳ වෙලා නෑ තාම. ජීවිතේට හොඳ වෙන්නෙත් නෑ….” වජිර සිනහ වෙමින් මේ කතාව අපට කීවේ තම සන්තකයේ ඇති සියලු කැමරා ආම්පන්න අපට ප්‍රදර්ශනය කරමිනි. ඒ අතර පිට්ටු බම්බු වැනි ලෙන්ස් කිහිපයක්ම විය.

“මම ඡායාරූප තරගවලට සිරිතක් වශයෙන් ඉල්ලුම් කරන්නේ නෑ. මොකද ආධුනිකයින්ට අසාධාරණයක් වන නිසාමයි. සමහරු අහනවා අයියල ඕවට දැම්මහම අපිට කවදාවත් ජයග්‍රහණයක් ලබාගන්න හම්බවෙන්නෙ නෑනේ කියල. සහෝදර ශිල්පීන් සමග අපි තරග කරන්න අවශ්‍ය නෑ. නමුත් එක වරක් මම “සොබා සේයා” කියන පරිසර අමාත්‍යංශයේ තරගයකට ෆොටෝ 3 ක් දැම්මා. එකක් දෙවෙනි තැන ගත්තා. අනිකට මෙරිට් එකක් ලැබුණා. මට තරගවලින් ලැබෙන ජය වැඩක් නෑ. සමාජ ඇගයීම තිබ්බහම හොඳටම ඇති… ෆොටෝග්‍රැෆිවලින් මම ලබන්නේ ආත්ම තෘප්තිය විතරයි.” වජිර කියයි.

“ආධුනික ශිල්පීන්ට මේක කියන්න ඕන. කැමරාවක්, ලෙන්ස් තිබුණු පළියට වන ජීවී ඡායාරූප ශිල්පියෙක් වෙන්නේ නෑ. පළමුව පරිසරය, වන සත්තු, ගහ කොළ ගැන දැනගත යුතුයි, ඉගෙන ගත යුතුයි. කුරුල්ලෙක් නම් එයා රටට ආවේනිකද, නේවාසික කුරුල්ලෙක්ද, එහෙමත් නැතිනම් පර්යටනික කුරුල්ලෙක්ද යන වග ඉගෙන ගත යුතුයි.

අනික වන ජීවී ඡායාරූපකරණයේදී අපි නිතර දකින දෙයක් තමයි සත්තුන්ට ඩිස්ටර්බ් කරන එක. ඒවා වහාම නැවැත්විය යුතුයි. ඒ වගේම සුදුසු උපකරණ නැතිනම් ඡායාරූප ගැනීම නොකළ යුතුයි. උදාහරණයක් හැටියට කුරුලු කූඩුවක්, එහි ඉන්න පැටවුන් ඡායාරූප ගන්න නම් ගැළපෙන ලෙන්ස් තිබිය යුතුයි. එහෙම නැතිනම් ළඟට ගිහින් ෆොටෝ ගහල ඒ මගින් සතුන්ට බාධාවක් වනවා නම් එය අනුමත ක්‍රියාවක් නොවේ. සදාචාර සම්පන්න නෑ. අනික නීති විරෝධී වැඩක්. ඒවා නොකළ යුතුයි. සමහර වන ජීවී ඡායාරූප ශිල්පීන් ඉන්නවා ප්‍රවීණයි කියල කියන, එයාලත් බොහෝ විට මේ කියන “එතික්ස්” කඩනවා. වනෝද්‍යාන නීති කඩනවා. එයාල එහෙම කරන්නේ අනිත් අය අතර කැපී පෙනෙන්න සහ එයාලගේ ප්‍රසිද්ධියට. ඔවුන් එහෙම කරලා තමන් මහා ලොකු වන ජීවී ඡායාරූප ශිල්පීන් කියල හිතාගෙන ඉන්නවා නම් එක වැරැද්දක්. එහෙම අවස්ථා ඕන තරම් මම දැකල තියනවා. මේ කරන දේවල් සහෝදර ශිල්පීන් දකිනවා. ඒවා ඔප්පුකරල පෙන්නන්න මා ළඟ සාක්ෂිත් තියනවා. ඒ නිසා එහෙම කරන්න එපා කියල මම ඔවුන්ගෙන් මේ වෙලාවේ ඉල්ලන්න ඕන.

වන ජීවී ඡායාරූපකරණය කියන්නෙ විශාල චැලේන්ජ් එකක්. ආවාට ගියාට කරන්න බැහැ. ඉවසීම, උනන්දුව වගේම සංවරයත්, සතුන්ට දක්වන ආදරය, කරුණාවත්, අවිහිංසාවත් ඊට අදාළයි. වන ජීවී ඡායාරූපකරණය කරන්න. ඉතා හොඳ වැඩක්. නමුත් ඒ ගැන ඉගෙන ගන්න. ලජ්ජා වෙන්න එපා. දන්නේ නැති දේවල් අපෙන් අහන්න. මුදල් එපා අපි කියල දෙන්නම්. අපිත් මේ ගමන ආවෙ වැරදි, වැරදි. ඒත් වැරදි නිවැරදි කරගෙන. දැන් තාක්ෂණය දියුණුයි. ලේසියි, පහසුයි, නමුත් ඒවා හැදෑරිය යුතුයි” වජිර තම සල්ලාපය නිමා කරමින් පවසයි.

ඔහු විනෝදය හා සන්තෘෂ්ටිය සඳහා මේ කරන වන ජීවී ඡායාරූපකරණයේ දක්ෂතා කෙතෙක්ද යන්න ඔබටත් ඔහුගේ Vajira Gunasekara මුහුණු පොතට ගොස් බලා කියන්නට හෝ අධ්‍යයනය කරන්නට හැකිය. එසේ ගොස් යම් අයගේ ඇස ගැටුණු ඔහුගේ වන ජීවී ඡායාරූප එකතුවක් මගින් මෙවර ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය මගින් ප්‍රකාශිත මේස කැලැන්ඩරයේ මාස 12 ම හැඩකරන්නට ද භාවිත කර ඇත.

සැබැවින්ම වජිර ගුණසේකර යනු වන ජීවී ඡායාරූපකරණයේ අතිශය දක්ෂයෙක් හා නමක් දිනාගෙන සිටින්නෙකි. ඒ එක පැත්තකින් බොහෝ දෙනාට නැති කැමරා උපාංග ද ඔහුට තිබෙන නිසාය. එමෙන්ම ඡායාරූපකරණයේ බොහෝ දේ, නොදන්නා අයට නිර්ලෝභීව කියා දෙන නිහතමානී මහත්මා ගති ඇති මිනිසෙකි වජිර ගුණසේකර යනු.

පිළිසඳර – ජගත් කණහැරආරච්චි
ඡායාරූප – වජිර ගුණසේකර
වජිරගේ ඡායාරූප – රොහාන් ෆොන්සේකා

advertistmentadvertistment
advertistmentadvertistment