වනජීවී ඡායාරූපකරණය මම දැන් ආධුනිකයන්ට කියා දෙනවා

105

ප්‍රවීණ වනජීවී හා ක්‍රීඩා ඡායාරූප ශිල්පී, රංගන ශිල්පී හා මෝටර් රථ ධාවක රොහාන් ෆොන්සේකා

මෙවරද Wildlife – Eye විශේෂාංගය තුළින් අප හා එක්වන්නේ ක්ෂේත්‍ර කිහිපයකම එකවර දක්ෂතා පෙන්වූ ප්‍රවීණ වනජීවී ඡයාරූප ශිල්පී රොහාන් ෆොන්සේකා ය. ඡායරූපකරණයෙන් එහා ගොස් රංගන ශිල්පියෙක් ලෙස හා වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙක් ලෙස ද මාධ්‍යවේදියකු ලෙස හා ඡායාරූපකරණය පිළිබඳව පර්යේෂණාත්මක ග්‍රන්ථ රචකයකු ලෙසත් දක්ෂතා පෙන්වන ඔහු කලක් මෝටර් රථ ධාවන තරග ක්ෂේත්‍රයේ නමක් දිනූ රේස් පදින්නකු බව වර්තමානයේ බොහෝ දෙනකු නොදන්නා කාරණයකි. ඔහු තරුණ කාලයේ පටන්ම ක්‍රීඩාවට දැක්වූ සුවිශේෂී ඇල්ම නිසා ම මෝටර් රේස් ඇක්ෂන් (ක්‍රීඩා) ඡායාරූප ශිල්පියකු, වීඩියෝ ශිල්පියකු ලෙස පමණක් නොව, මෝටර් රේස් ධාවන ශූරයකු ලෙස හා තරඟ ජයග්‍රාහකයකු ලෙස ද එකල ප්‍රකටව සිටි චරිතයකි.

Track and Jeep ඉසව්වේ ප්‍රවීණ තරගකරුවන් සමග කරට කර රේස් පදින අතර තුර එම තරග සඳහා කැමරා තාක්ෂණය යොදා ගනිමින් තරග තීරක කටයුතු සඳහා ද කැමරා තාක්ෂණය (Sports Action Photography) හඳුන්වා දුන් ලංකාවේ පළමු පුද්ගලයා රොහාන් ය.

වනජීවී ඡායාරූපකරණය මම දැන් ආධුනිකයන්ට කියා දෙනවා

එසේම 2014 පමණ කාලය දක්වා ඔහු නැති මෝටර් රේස් තරගාවලියක් මෙරට පැවැතියේ නැති තරම්ය. Gunners (මින්නේරිය), ත්‍දං Fox Hill (දියතලාව), කුරුණෑගල, කටුකුරුන්ද, ගජබා (සාලියපුර), Carlton (තිස්සමහාරාමය) මේ සෑම තැනම රොහාන් ෆොන්සේකා තම Mitsubishi Pajero ජීප් රථයෙන් දස්කම් දක්වමින් පළමු ජයග්‍රාහකයින් තිදෙනා අතර සිටිමින් නමක් දිනූ අයෙකි.

ඒ අතර ඔහුගේ කැමරා කණ්ඩායම නිලවශයෙන්ම තරගය ආවරණය කරමින් නවමු තාක්ෂණික අත්දැකීම් තරගයෙන් තරගයට ලබාදෙමින් තරග විනිශ්චයට සහාය දී තිබේ.

වනජීවී ඡායාරූපකරණය මම දැන් ආධුනිකයන්ට කියා දෙනවා

‘මම වසර 10ක් රේස් 70ක් විතර පැද්දා. 62කින් පළමු, දෙවන, තෙවන ස්ථානවලට ආවා. 2014න් පස්සෙ මම රේස් පැදීම නැවැත්තුවා. නමුත් මෝටර් රථ තරග, එහි ඇක්ෂන් ඡායාරූපකරණය ගැන වැඩමුළු තාමත් කරනවා. වනජීවී ඡායාරූපකරණය පිළිබඳව ජපානය කේන්ද්‍රකරගත් Nikon School හි ශ්‍රී ලංකා පුහුණු පාසලේ, එනම් PhotoTechnica – නිකොන් පුහුණු පාසලේ කැමරා සහ ලෙන්ස් පිළිබඳ තානාපතිවරයෙක් ලෙස හා උපදේශකවරයා ලෙස 2016 සිට මේ දක්වා කටයුතු කරමින් ශිෂ්‍ය ඡායාරූප ශිල්පීන් බිහිකිරීමේ කටයුත්තට උරදී කටයුතු කරමින් සිටිනවා. Nikon School – Instructor තනතුර මට හදාදුන්න Photo Technica අධිපති හර්ෂ මල්වැන්න මහතාට මේ අවස්ථාවේ මම මගේ හද පිරි ස්තුතිය පිරිනමනවා. තවමත් ඡායරූපකරණය පිළිබඳව මම පන්ති පවත්වනවා. ත්‍රිවිධ හමුදා ආබාධිත සෙබළුන් සඳහාත් මම නොමිලේ ඡායාරූපකරණ වැඩමුළු පවත්වා ඔවුන්ට වෘත්තීයමය අවස්ථාවන් නිර්මාණය කර දෙන්න මඟ පෙන්වීම කර තිබෙනවා.’ රොහාන් කියයි.

වනජීවී ඡායාරූපකරණය මම දැන් ආධුනිකයන්ට කියා දෙනවා
රොහාන් පවුලම ඡායාරූපශිල්පීන්

ඒ අනුව මේ වනවිට කොල්ලුපිටියේ සහ වත්තල ඔහුගේ Cat-Eye ඡායාරූපශාලා පරිශ්‍රයේ පන්ති පැවැත්වෙන අතර මේ වනවිට කණ්ඩායම් 82ක් හා ඉන් සිසුන් 400ක් දෙනා සහතික ලබා පිටව ගොස් ක්ෂේත්‍ර කිහිපයක කටයුතු කරති. මේ සඳහා පවත්වනු ලබන ක්ෂේත්‍ර චාරිකා සෑම මසකම පාහේ පවත්වනු ලැබේ. ඒ අනුව යාල වැඩමුළු 7 ක්, විල්පත්තුව 15 ක්, ඩෙල්ෆ් දූපතේ වැඩමුළු 5 ක් ඇතුළත්ව දිවයින ම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර චාරිකා 50කට අධික ප්‍රමාණයක් පවත්වා ඇත. රොහාන් ෆොන්සේකා ඒ සඳහා සුදුසුකම් දරන්නේ 2010 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඔහු ලබාගන්නා ඡායාරූපකරණ ඩිප්ලෝමාව, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියෙන් ලබාගන්නා NVQ-4 පාඨමාලාව හා වැඩිමනත් 1989 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් උගෙන ගන්නා ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව සමගිනි. කලක් කරන ලද ඡායාරූපකරණ අත්දැකීමෙන් මෙන්ම විද්‍යුත් මාධ්‍යවේදියකු ලෙස ප්‍රදේශයේ කටයුතු කර ලබාගත් පරිචය සමගිනි.

වනජීවී ඡායාරූපකරණය මම දැන් ආධුනිකයන්ට කියා දෙනවා

‘කුඩා කැමරාවක් අරන් ඡායාරූපකරණයෙන් පටන්ගත්ත ගමන අන්තිමේ ක්‍රීඩා තරගවල තෑගි ප්‍රධානය කරන ප්‍රධාන ආරාධිත අමුත්තෙක් දක්වාම මට යන්න පුළුවන් වුණා. අනිත් පැත්තෙන් ටෙලිනාට්‍යවල රඟපෑවා. ඇඟිලි සලකුණ වාර්තාමය නාට්‍යයේ තාත්වික නළුවකු ලෙස වසර 4ක් විතර රඟපෑම් කළා. ඒ කැමරාව නිසා මා ආ ගමන.

ඒ නිසා මම කියන්නෙ ඡායාරූපකරණය හරියට කළොත් ඕනෑම කෙනකුට ලොකු තැනකට යන්න පුළුවන්’ රොහාන් ආධුනික ඡායාරූප ශිල්පීන්ට මේ ලබාදෙන්නේ කදිම උපදේශයකි.

වනජීවී ඡායාරූපකරණය මම දැන් ආධුනිකයන්ට කියා දෙනවා

“කැමරාකරණය සඳහා විශේෂ ඇසක් තියෙන්න ඕන. ඒක පළපුරුද්දෙන් පුහුණු කරගන්න ඕන. පරිසරයේ ඇති කලාත්මක බව කෙනකුට තේරෙන්න, දැනෙන්න ඕන. මොකද කලාත්මක බව පරිසරයේ තියනවා. අපි ග්‍රහණය කරගත් ඒ කලාත්මක බව ඉන් පස්සෙ තරගවලට නැඹුරු කරන්න ඕන. ඒවාට ඇගයීමක් ලබන්න ඕන. 1987 වසරේදී මම ඇමෙරිකාවේ කැලිෆෝනියා බෞද්ධ විහාරය සංවිධානය කළ ඡායාරූප තරඟයකට සහභාගී වුණා. එහි ප්‍රථම ස්ථානය සහ හත්වැනි තැන් මට ලැබිල තිබුණා. ඒ කාලේ රුපියල් 1500ක තෑග්ගක් ඒ සඳහා මට ලැබුණා. ඒකෙන් මම ගත්තෙත් ලෙන්ස් එකක්. ඒ කාලේ අපි වැඩ කළේ රීල් කැමරාවලින්. වැරදුණොත් වරදුනාමයි. රිවයින්ඩ් කර කර අද වගේ බලන්නත් බෑ. එහෙමයි අපි මේ ගමන ආවෙ. දැන් ෆොටෝග්‍රැෆි ලේසියි. නමුත් අපි දැනගන්න ඕන ස්වභාවික පරිසරයට, වනසතුන්ට හානියක්, බාධාවක් නොකර ඒත් කලාත්මක ඡායාරූප ගන්න. ඒකට හොඳ පුහුණුවක්, සංයමයක් තියෙන්න ඕන. අනික වනජීවී ඡායාරූපකරණය හදාරන්න ඕන. උපකරණ කැමරා, ලෙන්ස් ගැන හරියට දැනගන්න ඕන.” රොහාන් පැවසුවේ Nikon School ක්ෂේත්‍ර චාරිකාවකට එක්වන ලෙස අපට ද ආරාධනය කරමිනි.

වනජීවී ඡායාරූපකරණය මම දැන් ආධුනිකයන්ට කියා දෙනවා

සැබැවින්ම වනජීවී ඡායාරූපකරණය පිළිබඳ ඔහු සැබෑ දක්ෂයෙකි, ගුරුවරයෙකි. පර්යේෂණාත්මක ග්‍රන්ථ රචකයෙකි. Your First steps to Wildlife Photography ඔහු ලියා ඇති නමුත් තවමත් අප්‍රකාශිත පොතකි.

එසේම, වනසතුන් සුරක්ෂණයට කටයුතු කරන රොහාන් සැබෑ පරිසරවේදියෙකි.

වනජීවී ඡායාරූපකරණය මම දැන් ආධුනිකයන්ට කියා දෙනවා

පිළිසඳර – ජගත් කණහැරආරච්චි
ඡායාරූප – ජූඩ් දර්ෂිත ෆොන්සේකා

advertistmentadvertistment
advertistmentadvertistment