වනජීවී ඡායාරූපකරණය රටට ඩොලර් ගෙනෙන්න භාවිත කළ හැකියි

203

ප්‍රවීණ වනජීවී ඡායාරූප ශිල්පී, කැලණිය ඡායාරූප හා කලා සංගමයේ සභාපති ලක්ෂ්මන් පන්තියදේව

වනජීවී ඡායාරූපකරණයේ යෙදී සිටින ඡායරූප ශිල්පියා සැබෑ ලෙසම ගහට කොළට, පරිසරයට වන සතුන්ට ආදරය කරන කෙනෙක් විය යුතුයි. ගහට කොළට වන සතුන්ට ආදරය නොකරන කෙනකු මොනතරම් හොඳ ඡායාරූප ගත්තත් ඔහු සැබෑ වනජීවී ඡායාරූප ශිල්පියෙක් වෙන්නේ නෑ. වෙන්නත් බෑ. ඒ නිසා අපේ රටට මේ උරුම වෙලා තියන අතිවිශිෂ්ට වූ පරිසරය හා ජෛව උරුමය රැකගන්නට වනජීවී ඡායාරූප ශිල්පීන් පෙරමුණ ගත යුතුයි. මොකද පරිසරය, වනජීවීන් රැකගත්තොත් තමයි අපට වනජීවී ඡායාරූපකරණයක් කරන්න පුළුවන් වෙන්නේ.

ඒ වගේම වනජීවී ඡායාරූපකරණයේ යෙදෙන ඇතැමුන් ස්වභාවික තත්ත්වයෙන් තොරව, වන ජීවීන් නිරූපිකයන් ලෙස යොදාගන්නවා අපි දැකල තියනවා. වන සතුන් හා ඡායාරූප සඳහා වෙනත් වස්තු වන ජීවියෙක් එයාගේ ස්වභාවික පරිසරයෙන් ඉවත් කරගෙන ඇවිත් සමහරු තමන්ට ගැළපෙන තැන්වල තියල එක එක හැඩතලවලට පින්තූර ගන්නවා. විශේෂයෙන්ම ආලෝකය ගැන කල්පනා කරල. ඒ වගේම කෘතීම ගොදුරු ප්‍රදර්ශනය කරල වන සතුන් රවට්ටලා පින්තුර ගන්න කලාවකුත් දැන් බිහිවෙලා තියනවා. මේක අපේ රටේ විතරක් නෙමේ ලෝකයේ බොහෝ තැන්වල සිදුකරන ක්‍රියාවක්. ඒ ගන්න පින්තූරවල සැබෑ ඡායාරූප කලාවක් තියනවද කියල ප්‍රශ්නයක් තියනවා. මෙතන වෙන්නෙ කැමරාකරුගේ දක්ෂතාවයන් පසෙකට දමා තාක්ෂණික මෙවලම්වලට ප්‍රමුඛතාව දීමක්. තාක්ෂණික මෙවලම් හොඳ නෑ කියන එක නෙමේ මම කියන්නෙ. අපි පුළුවන් තරම් ස්වභාවිකව තත්ත්ව යටතේ ඡායාරූප ග්‍රහණය කරගත යුතුයි.

වනජීවී ඡායාරූපකරණය රටට ඩොලර් ගෙනෙන්න භාවිත කළ හැකියි

මේ කතාව කියන්නේ අපේ රටේ ප්‍රකට වනජීවී මෙන්ම මංගල ඡායාරූපශිල්පියකු ද වන, පරිසරවේදියකු, සමාජ ක්‍රියාකාරිකයකු ලෙස ප්‍රකට, කැලණිය ඡායාරූප හා කලා සංගමයේ සමාරම්භක හා වත්මන් සභාපති ලක්ෂ්මන් පන්තියදේව මහතාය.

කිරිබත්ගොඩ නගරයේ “PHOTO Add” නමින් මංගල ඡායාරූපශාලාවක්ද පවත්වාගෙන යන ලක්ෂ්මන් හැකි සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවේ සෞන්දර්යය සොයා රටවටා යන පරිසර හිතකාමියෙකි.

“ජෛව විවිධත්ව දේශකයෙක් හැටියට මම පාසල් රැසක අදත් දේශණ පවත්වනවා. වැඩිහිටි සමිතිවල පරිසරය ගැන දේශන පවත්වනවා. සමිති සමාගම් හදල පරිසරය රැකගන්න විවිධ කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම ඊරියවැටිය වෙල්යාය තෙත්බිම් පරිසර පද්ධතියක් හැටියට පවත්වාගෙන යන්න ලොකු කැපකිරීමකින් ප්‍රජා සමිති එක්ක මේ මොහොතේත් කටයුතු කරමින් ඉන්නෙ. ඒ වගේම වස විස නැති ආහාර ප්‍රවර්ධනය වෙනුවෙන් මම මේ දිනවල කටයුතු කරගෙන යනවා” ලක්ෂ්මන් පන්තියදේව කියයි. ලක්ෂ්මන් කැලණිය ඡායාරූප සහ කලා සංගමය නිර්මාණය කිරීමටද පුරෝගාමී වූ කෙනෙකි. ඔහු එහි ආරම්භක සභාපතිවරයා ද වේ. වත්මන් සභාපතිවරයා ලෙස පත්ව සිටින්නේද ලක්ෂ්මන්ය.

වනජීවී ඡායාරූපකරණය රටට ඩොලර් ගෙනෙන්න භාවිත කළ හැකියි

“මේ සංගමය හදන්න අපි තීරණය කළෙත් පරිසරය රැකගැනීමේ අපේක්ෂාවක් අපට තිබුණ නිසා. කීර්ති අමරසේකර ඇතුළු ප්‍රකට ඡායාරූප ශිල්පීන් රැසක් මේ සඳහා අරම්භකව සහභාගි වුණා.

“මගේ ගම කැලණිය, ඊරියවැටිය. මම පාසල් ගියේ කැලණිය සුමංගල ජාතික පාසලට. පාසල් යන අතරම තමයි මම රීල් කැමරාවක් හොයාගෙන ඡායාරූපකරණයත් පටන්ගත්තෙ. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ උසස් අධ්‍යාපනය සඳහා මම කැලණිය විශ්වවිද්‍යාලයට යොමු වුණා. ඡායාරූපකරණය පිළිබඳ ඩිප්ලෝමාවත් මම කැලණියෙන් සම්පූර්ණ කළා. ජාතික තරුණ සේවා සභාවෙන් වගේම ප්‍රවීණ ඡායාරූප ශිල්පී ලාල් හෑගොඩයන් යටතේ මම ඡායාරූපකරණය හැදෑරුවා. ඒ වගේම දහම් පාසල් ගුරුවරයෙක් ලෙස වසර 13 ක් පමණ ඊරියවැටිය ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ මම කටයුතු කළා. ඔය අතර මම කිරිබත්ගොඩ ස්ටුඩියෝ එකක් පවත්වාගෙන ගිය රන්ජිත් සිල්වාගේ ස්ටුඩියෝ එකට නිතර යනවා. ඔහු තමයි ඇත්තටම මාව වනජීවී ඡායාරූපකරණය පැත්තට යොමු කළේ. ඔහු එකල නිතර යාල ඇතුළු වනජීවී අභයභූමිවලට යන කෙනෙක්. ඔහුත් එක්ක තමයි මම පළමුව වන සතුන් දකින්න ගියේ. එහෙම තමයි මගේ වනජීවී ඡායාරූපකරණය ආරම්භ වෙන්නෙ.” ලක්ෂ්මන් තම අතීතය අවදි කරයි.

වනජීවී ඡායාරූපකරණය රටට ඩොලර් ගෙනෙන්න භාවිත කළ හැකියි

“අපේ සංගමය පටන් ගත්තට පස්සේ කණ්ඩායම් වශයෙන් අපි පාරිසරික චාරිකා යන්න පටන් ගත්තා. මේ වෙන කොට ඒ වගේ චාරිකා සීයක්, දෙසීයක් විතර සංවිධානය කරන්න ඇති. යාල, විල්පත්තුව, උඩවලව, වස්ගමුව, හෝටන්තැන්න, මාදුරුඔය විතරක් නෙමේ, නකල්ස්, සිංහරාජ, මඩොල්සිම, මන්දාරම් නුවර වගේ විවිධ පරිසර කලාපවල අපි සංචාරය කළේ ඇත්තටම මේ පරිසර පද්ධති, කලාප රැකගෙන ඡායාරූපකරණය ගැන හදාරන්න, ආධුනිකයන්ට කියාදෙන්න. අත්දැකීම් ලබන්න, ඒ අනුව මටත් හොඳ වන ජීවී ඡායාරූප එකතුවකට යන්න හැකි වුණා. ඒ අතර මම කලක් පරිසරය පිළිබඳව, වනජීවීන් පිළිබඳව ඡායාරූප හා පාරිසරික සඟරාවලට ලිපි සම්පාදනය කිරීමත් සිදු කළා.” ඔහු පවසයි.

“මේ මොහොතේ අපි දන්නවා රට ආර්ථික වශයෙන් වැටිල ඉන්න මොහොතක්. මේ වෙලාවෙ රටට ඩොලර් ගෙනෙන්න, රට ආර්ථික වශයෙන් නැගිට්ටවන්න වනජීවී ඡායාරූප ශිල්පීන්ට ලොකු හැකියාවක් තියනවා. ඒක වගකීමක් හැටියට අපි ගන්න ඕන. ඒ කියන්නෙ මේ මොහොතේ මේ රටේ තියන පාරිසරික, ජෛව විවිධත්ව වටිනාකම් ඉස්මතු කරන ඡායාරූප හැකිතරම් අන්තර්ජාලය ඔස්සේ මුදාහැරලා ලංකාවට සංචාරකයන් ගෙන්නගන්න ඒවා භාවිත කරන්න පුළුවන්. නැත්නම් ලංකාවේ මේ වටිනාකම් පෙන්නලා ඒ ඔස්සේ ලංකාවට ඩොලර් ගෙනෙන්න වැඩසටහන් කරන්න පුළුවන්. මොකද සතෙක් ශාකයක් ගැන සොයන්න ගූගල් වැනි සයිට් එකකට ගියත් ඒ එන්නෙ වනජීවී ඡායාරූප ශිල්පියෙක් ගත්ත පින්තූරයක්.” ඔහු කියයි.

වනජීවී ඡායාරූපකරණය රටට ඩොලර් ගෙනෙන්න භාවිත කළ හැකියි

ලක්ෂ්මන් පන්තියදේව යනු සැබෑ පරිසර හිතකාමියෙකි. ඔහු පරිසරය වෙනුවෙන් නිහඬ සේවයක් කරන්නෙකි. ඔහුගේ කටයුතු ඔහු ලෝකයට හඬගා කියන්නකු නොවේ. අඩුම තරමින් ඔහුගේ ඡායාරූපයක් තරගයක් සඳහාවත් යොමුකරන්නකු නොවේ. නමුත් ඔහු කැලණි පුරවරයට පරිසර ලෝකයට තනිව හා කණ්ඩායම් හැඟීමෙන් කරන සේවයට උපහාරයක් ලෙස අද ඔහු මෙසේ අපගේ “හරිත – Wildlife-eye” විශේෂාංගය හා එක්වේ. මේ සියල්ලක් අතරේ ඔහුගේ සියලු කටයුතු සඳහා කැලණිය හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලයේ සංගීත ගුරුවරියක ලෙස සේවය කරන ඔහුගේ ආදරණීය බිරිඳ මංජුලා දමයන්ති ලියනගේ, ලිවිනි දම්‍යා සමෝධි සහ ඔෂඳී රනුපජා දෙව්මිණි දියණියන් ලබාදෙන්නේ මහත් සහයෝගයක් සහ අගයකිරීමක් බව ලක්ෂ්මන් පන්තියදේව කියයි. “මිනිසුන් වන අපට ජීවත් වීම සඳහා අයිතිවාසිකම් අපි හදාගෙන තිබෙනවා. ඒ අයිතියම ගහට කොළට වන සතුන්ට තිබිය යුතුයි. ඒ සඳහා අපි හැමෝම කැපකිරීම් කළ යුතුයි.” අපගේ පිළිසඳර නිමාකරමින් ඔහු පැවසීය.

වනජීවී ඡායාරූපකරණය රටට ඩොලර් ගෙනෙන්න භාවිත කළ හැකියි

පිළිසඳර – ජගත් කණහැරආරච්චි

වනජීවී ඡායාරූපකරණය රටට ඩොලර් ගෙනෙන්න භාවිත කළ හැකියි
advertistmentadvertistment
advertistmentadvertistment