වනවාස සඟපරපුර ඔපවත්කළ යතිරුවන බද්දේගම බුද්ධසාර නාහිමියෝ

226

‘දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්ථ ජායති’ යන බුදුවදන සනාථ කරමින් දුර්ලභ උපතක් ගාලු දිස්ත්‍රික්කයේ ගිං ගඟ මිටියාවතේ සශ්‍රීක බිම් පෙතක් වූ බද්දේගම ග්‍රාමයේදී 1933 ජනවාරි මස 04 වැනි දින සිදුවිනි. ඇඩ්වින් පාවුල් දිසානායක මහතා සහ ඩොටී සේරසිංහ මහත්මියට දාව උපන් පුත්‍ර රත්නය පුරාකෘත පුණ්‍ය මහිමය නිසා කුඩා කල සිටම සම්බුදු දහමට ලැදි බව පෙන්වීම දුර්ලභව සනාථ කරවන්නක්ම විය. ඒ අනුව එම දරුවා 1947 ජනවාරි මස 08 දා බද්දේගම අගලිය ශෛලතලාරාමයේදී එම විහාරාධිපති මල්වතු මහා විහාර පාර්ශවයේ ගාල්ල ගඟබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක බද්දේගම ශ්‍රී පඤ්ඤාසාර මාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙස බද්දේගම බුද්ධසාර සාමණේර නමින් පැවිදි විය. ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙණින් මූලික අධ්‍යාපනය ලැබ

ගංගොඩවිල විද්‍යෝදය (ශ්‍රී ජයවර්ධනපුර) විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ඉහළින් සමත් උන්වහන්සේ 1953 ජුලි මස 15 දා මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලද සේක. ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ බුද්ධසාර පණ්ඩිත හිමිපාණන්ට වනවාස නිකායේ නිර්මාතෘ වතුරුවිල ශ්‍රී ඤාණානන්ද හිමිපාණන් වහන්සේගෙන් ග්‍රාම වාසයෙන් වනවාසයට වඩින ලෙස ආරාධනාවක් ලැබිණි. තම ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් මෙම අභිනිෂ්ක්‍රමණය උදෙසා අවසර පැතූවිට

සසුන් මග නිවැරදිව වටහා ගත් උන්වහන්සේ ද පණ්ඩිත හිමියන්ගේ ගමනට ආශීර්වාද කළහ. සිය දිවියේ 36 වැනි ජන්ම දිනය සිහිකළ 1969 ජනවාරි මස 04 වන දින බද්දේගම බුද්ධසාර යථිවරයෝ වනවාස බලා වැඩම කළ අතර එතැන් පටන් උන්වහන්සේ වතුරුවිල ආරණ්‍ය සේනාසනයෙහි වැඩ වසමින් එහි භික්‍ෂූන් වහන්සේලා සඳහා වූ පිරිවෙනෙහි පරිවේණාධිපති වශයෙන් හෙරණ පැවිද්දන්ගේ ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය වෙනුවෙන් කරන ලද අමිල මෙහෙවර ප්‍රශංසනීයය. වනවාස සංඝ සභාවේ ප්‍රථම ලේඛකාධිකාරී ධුරය දරමින් උන්වහන්සේ වනවාස සම්ප්‍රදාය යළිත් ඇති කිරීමට වතුරුවිල මහානාහිමියන්ට ලබාදුන් සහයෝගය අනිර්වචනීයය. මෙරට අභාවට ගොස් තිබූ වනවාස භික්‍ෂු සම්ප්‍රදාය නැවත ගොඩනැංවීමට මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශක්තියක්ව හිඳිමින් පණ්ඩිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ මල්වතු මහා විහාර පාර්ශ්වය හා සබැඳිව සංග සාමග්‍රිය නොනසා විචක්‍ෂණ ලීලාවෙන්, වනවාස පරපුර බිහිකිරීමෙහිලා පුරෝගාමී වූහ. කෙතරම් ශාසන චිරස්ථිය වෙනුවෙන් කාර්යබහුල වුවද මහණකමේ හරය අමතක නොකළ උන්වහන්සේ බුදුන් දවස තුන් සිවුර දරමින් පාත්‍රය අතින් ගෙන පිඬු පිණිස හැසිරෙන නිරහංකාර භික්‍ෂු භූමිකාව පුනරාවර්ජනය වන අයුරින් තම ප්‍රතිපදාව ආත්ම විමුක්තිය උදෙසාම ක්‍රියා කරවූහ.

වතුරුවිල වනවාස මූලස්ථානය වෙත තමන්ගේ වටිනා කාලය හත් අවුරුද්දක් මුළුල්ලේ නිස්සරණාධ්‍යාශයෙන් කැප කළහ. ලොකු ස්වාමීන් වහන්සේගේ අපවත්වීමත් සමග නැවතත් විහාරස්ථානයට වැඩම කළ පණ්ඩිත බුද්ධසාර හිමිපාණෝ ස්වකීය අගලියේ ශෛලතලාරාමය සකලාංග සම්පූර්ණ ආදර්ශවත් ආරණ්‍ය සේනාසනයක් බවට පත්කොට ඇඹිලකන්ද සේනාසනය, අටුවාගල ආරණ්‍ය යෝගාශ්‍රමය, යට්ටපාත සිරිසුන සේනාසනය තම සිසු දරුවන් වෙතින් දියුණුවට පමුණුවා පිටිගල, සුද්දැල්ලාව ආරණ්‍ය සේනාසනය උන්වහන්සේගේ නිත්‍යවාසී සෙනසුන කරගත්හ.

සුද්දැල්ලාව සේනාසනය නමැති මහා පුණ්‍ය භූමිය වෙත පණ්ඩිත බුද්ධසාර හිමියෝ 1983 ජුලි 25 වැනි දින වැඩම කොට එම වන අරණ සංවර්ධනය කිරීමට අත්පොත් තබන ලදහ. ඇල්පිටියේ කුසුමා කරුණාරත්න මෑණියන්ගේ පූර්ණ දායකත්වය ඇතුව ගම්වාසී සැදැහැවතුන්ගෙන් අනුග්‍රහයෙන් උන්වහන්සේ ලෑලි වලින් වටකරන ලද කුඩා පොල්අතු කුටියකින් සෙනසුන පහසුව සලසා ගත්හ. එදා එහි පහසුකම් නොතිබුණි. රාත්‍රියට කුප්පිලාම්පුව පරිහරණය කරමින් නොයෙක් පොතපත ලියූහ. දේශන සකස් කළහ. 2013 ජුලි 25 වැනිදාට සුද්දැල්ලාව ආරණ්‍ය සේනාසනයට වසර 30 ක් පිරුණි. තිස් වසරකට පෙර ලෑලිවලින් වටවූ පොල්අතු මඩුව ඒ වන විට සකලාංග සම්පූර්ණ දිවයිනේ නන්දෙසින් පැමිණෙන සැදැහැවතුන්ගේ අප්‍රමාණ පුද පූජා ලබන මහා පින්බිමක් බවට පත්කර වූයේ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසාය.

තොටගමු සඟ පරපුරෙන් බිහිව වනවාස සඟ පරපුර නඟාසිටුවීම සඳහා මහනීය මෙහෙවරක් කළ මහා විහාරවංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ වනවාස සංඝ සභාවේ ප්‍රථම මහාලේඛකාධිකාරී, වනවාසී සඟ පරපුරට ජ්‍යෙෂ්ඨ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූද, වතුරුවිල වනවාස සංඝ සභා මූලස්ථාන ශ්‍රී ඤාණාන්ද වනවාස පිරිවෙණේ ප්‍රථම පරිවේණාධිපති, පිටිගල සුද්දැල්ලාව ආරණ්‍ය යෝග්‍රා ශ්‍රමයේ (මහා මහේන්ද්‍ර වනවාසී භික්‍ෂු පුහුණු මධ්‍යස්ථානය) නිර්මාතෘවර, මහෝපාධ්‍යාය අතිගෞරවාර්හ බද්දේගම ශ්‍රී බුද්ධසාර පණ්ඩිත මහ හිමිපාණන් වහන්සේ වර්ෂ 2021 නොවැම්බර් මස 22 දින උදෑසන 5.35 ට සියලු සංස්කාරධර්මයන්ගේ අනිත්‍යතාව සනාථ කරමින් සිහිනුවණින් අපවත්වී වදාළහ.

උන්වහන්සේගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම එළැඹෙන 21-22 දෙදිනයන්හි පිටිගල සුද්දැල්ලාව ආරණ්‍ය සේනාසනයේ දී සිදුකිරීමට කටයුතු සූදානම් කොට ඇත. 21 දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුවදා සංඝගත දක්‍ෂිණාවක් ද සිදු කිරීමට නියමිතය. සසුනඹර බැබළ වූ යතිවරයාණන් වහන්සේ නමක් වූ අතිපූජ්‍ය පණ්ඩිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැතූ බෝධියකින් නිවන් සම්පත් අවබෝධ කරගනීවා’ වී පතම්හ.

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ සහකාර කථිකාචාර්ය, ගෞරව ශාස්ත්‍රවේදී
රාජකීය පණ්ඩිත පිංකන්දේ දමිතසාර හිමි

advertistmentadvertistment
advertistmentadvertistment