වන්දිය යට ගහන්න කොමිස් ගැහිල්ලක්! – වාර්තාව ලැබුණේ පහුවෙලා කොත්තු දානවා වගේ වැඩ කරන්න බෑ – ඇමැති විජයදාස

333

මීට වසර දෙකකට පෙරාතුව කොළඹ වරායට නුදුරින් ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට සමුද්‍ර දූෂණයට අදාළ නඩුව තාමත් ගොනුකර නොතිබීම නිසා මෙරටට ලැබිය යුතු අමරිකානු ඩොලර් බිලියන 6.4ක වන්දි මුදල අහිමි වී යෑමේ දැඩි අවදානමක් ඇතිව තිබේ.

මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ මෙම සිද්ධියට අදාළව විශේෂඥ කමිටු සාමාජිකයන් හතළිස් දෙනකුගෙන් යුත් කමිටු වාර්තාවට අනුව නීතිපති දෙපාර්තමේන්තුව අදාළ කටයුතු කරගෙන යන බවයි. නමුත් මෙවැනි සිද්ධියක් මීට පෙර සිදු නොවීමත් ඒ සම්බන්ධව දේශීය මෙන්ම විදේශීය නීතිඥ සහාය ලබාගැනීමට සිදුවීම ඇතුළු කාරණා නිසාත් නඩු පැවරීම මෙතෙක් කලක් ප්‍රමාද වූ බව ද ඔහු කීවේය.

කෙසේ වෙතත් ඉදිරි දින විසිනවයක කාලය ඇතුළත නඩු පැවරීමට හැකිවේදැයි අනාවැකි පළ කිරීමට තමාට නොහැකි බවද අධිකරණ ඇමැතිවරයා සඳහන් කළේය. සාමාජිකයන් හතළිහකින් සමන්විත කමිටු වාර්තාව ඉකුත් 2022 සැප්තැම්බර් 23 දිනට පෙර තමා වෙත ලබාදෙන ලෙසට දැනුම් දී තිබුණත් එම වාර්තාව ලැබුණේ 2023 ජනවාරි මාසයේදී යැයි ද ඒ මහතා කීය.

පිටු දහස් ගණනකින් සමන්විත වාර්තාව කියවා බලා ගතයුතු පියවර කොත්තු දමන ලෙස කඩිමුඩියේ කළ නොහැකි බවද ඒ මහතා කියා සිටී.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිලී යෑමේ සිද්ධියට එරෙහිව නඩු පැවරීම හා වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය අඩපණ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිංහල නමක් සහිත බලධාරියකු අදාළ සමාගමෙන් අමරිකානු ඩොලර් මිලියන 250ක (රුපියල් කෝටි 802ක් පමණ) මුදලක් ගිණුමකට දමාගෙන ඇතැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ කියා තිබේ. මේ සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාටත්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් මේ වනවිටත් දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත අමරිකානු ඩොලර් බිලියන 6.2ක පමණ වන්දි මුදල ලබාගැනීමට අදාළ නඩු පැවරීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමට මෙම පුද්ගලයා අදාළ මුදල අල්ලස් ලෙස ලබාගෙන තිබේනම් එය බරපතළ සිද්ධියක් බවද ඒ මහතා කීය.

ලන්ඩනයේ බැංකුවක තිබෙන මෙම මුදල තැන්පත් කර තිබෙන බවට තමාට ලැබුණ තොරතුරේ සඳහන් බවද ඇමැතිවරයා කියා සිටියේය.

මේ අතර සමුද්‍රීය පරිසර අධිකාරියේ සභාපති අසේල බී රැකව මහතා ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පෙරේදා (18 වැනිදා) ගොස් මේ පිළිබඳ පරීක්‍ෂණයක් කරන ලෙසට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. තම ආයතනය සතු සියලු තොරතුරු පරීක්‍ෂණ සඳහා ලබාදෙන බවද ඒ මහතා සඳහන් කළේය.

අල්ලස් දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ද අල්ලස් හෝ දූෂණ කොමිසමට මේ පිළිබඳ පැමිණිලි කර ඇත. එහි පරිසර විiාඥ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය කියා සිටින්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීමේ සිද්ධියට අදාළව ලංකා රජයට අමරිකානු ඩොලර් බිලියන 50ක පමණ වන්දි මුදලක් ලබාගැනීමට හැකි බවයි. ඉදිරි දින විසිනවය තුළ නඩු පැවරීම මඟහැරී ගියහොත් එම අති විශාල වන්දි මුදල ලබාගැනීමට නොහැකි වන බවද ඒ මහත්මිය සඳහන් කළාය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment