වන්නියේ අපූර්වත්වය තුළින් සෞන්දර්යයේ මුල් පාඩම මම ඉගෙන ගත්තා – ප්‍රවීණ ගීත රචක සුගත් සෝමවීර

425

නව පරපුර නියෝජනය කරන තරුණ නිර්මාණකරුවන් දෙදෙනකු වන සුගත් සෝමවීර හා රසික ඩී. දුමින්දගේ ගී පද රචනා ඇතුළත් සංකර්ෂා සජීවී ගී ප්‍රසංගය ලබන මැයි මස 13 වැනි දින ප.ව. 2.00ට කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. පහත පෙළ ගැසෙන්නේ ඒ පිළිබඳව ප්‍රවීණ ගීත රචක සුගත් සෝමවීර සමග සිදුකළ කතා බහකි.

  • ගීත රචකයෙක් ලෙස ඔබ මෙතෙක් පැමිණි ගමන් මඟ පිළිබඳ ආපසු හැරී බැලීමක් සිදු කළොත් ඒ පිළිබඳ ඔබ තුළ පවතින්නේ මොන වගේ හැඟීමක් ද?

ඒ ගැන තියෙන්නෙ ලොකු සතුටක්. ඒකට හේතුව ඒ මාවත ඉතා අසීරු මාවතක් වුණා. මම ඒ පාරේ මේ තරම් දුර ඇවිත් තියෙනව කියල දැනෙන එකම සතුටක්. ඒ දුර අවුරුදු විස්සකට වැඩී. මම පළමු වෙනි ගීතය ලිව්වෙ 2000 අවුරුද්දෙ. සාම සමන්ත ධර්මසිරි කියන මගේ වැඩිහිටි මිත්‍රයෙක් ඒ ගීතය ගායනා කළේ. ම විසින් ලියූ ජනප්‍රිය ගායන ශිල්පියකු විසින් ගැයූ පළමු ගීතය වුණේ “සාදු මල් පිපුණ පොළොවේ” කියන ගීතය. ඒ 2002 අවුරුද්දෙ ලක්හඬ ගුවන් විදුලිය සහ ස්වධීන රූපවාහිනිය එක්ව සංවිධානය කළ ප්‍රේමකීර්ති ද අල්විස් ගුණානුස්මරණ ගීත රචනා තරඟයක් සඳහා ලියවුණ ගීයක්.

වන්නියේ අපූර්වත්වය තුළින් සෞන්දර්යයේ මුල් පාඩම මම ඉගෙන ගත්තා - ප්‍රවීණ ගීත රචක සුගත් සෝමවීර

මම උපන්නෙ නවගත්තේගම. කොළඹට බොහොම දුරයි. අපේ නිර්මාණ ජාතික මට්ටමේ ඇස් කන්වලට දැනෙන තේරෙන වේගය හරි අඩුයි. දැන් වගේ නෙවෙයි ඒ කාලේ හොඳට ම අඩුයි. මම ඒ කාලෙ කොළඹට එනව ලියාගත්ත ගීතත් අරගෙන ගායන ශිල්පියෝ ශිල්පිණියෝ හොයා ගෙන. ඒ අය ගාවට ගියේ ලොකු බලාපොරොත්තුවකින්. මම ඒ අයගෙන් අත්වින්ඳෙ ගීතවල තිබුණු මානව දයාවට වඩා හාත්පසින් වෙනස් හැසිරීම්. මම කඩා වැටුණා. නමුත් එක වෙලාවක මම ඇවිත් රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවො මුණ ගැහෙනව. උන්වහන්සේ මගේ පිපාසයට වතුර බින්දුවක් වෙනව. හිත නිවෙන්න කතා බහ කළා. හොඳ නරක කියා දුන්නා බොහොම සෙනෙහසින්. මං ආපහු පටන් ගත්තා.

පාර කැත කරපු උගුල් අටවපු මින්ස්සු වගේ ම පාර සරසපු වෙහෙස නිවපු මිනිස්සුත් මට හමුවුණා. සිඩ්නි මාකස් ඩයස්, සුනිල් දයානන්ද කෝනාර වගේ අය මගේ ගී මාවතේ මට බොහොම උදව් පදව් කරපු අය. පාර පෙන්නපු අය. පසුව ඒ මාවතට දර්ශන වික්‍රමතුංග, මහේෂ් විතාන වගේ සුන්දර මිනිස්සු මුණ ගැහුණා. ඔවුන් එක්ක පටන් ගත්ත ගමනට පසුව තව බොහෝ සුන්දර මිනිසුන් හමුවුණා. ඒ ලැයිස්තුව බොහොම විසාල යි. ඔවුන් හැමෝම එක්ක අත්වැල් බැඳගෙන ආව ගමනක් තමා මේක.

  • ගීතය, කවිය එහෙමත් නැත්නම් සෞන්දර්යාත්මකව සිතන්න පතන්න යොමු වෙන්න බලපාන ලද සුවිශේෂී කරුණක් තියෙනව ද? එසේ නොමැති නම් එවැනි වටපිටාවක් තුළ ගොඩනැඟෙන්න බලපෑ වෙනත් හේතු තියෙනව ද?

මගේ හිතට කලාව එන්නෙ මගේ අම්මගෙන්, තාත්ත ගෙන්. අම්මගෙ නැළවිල්ල, මිදුල අතුගාන රටාව, ගේ ගොම ගාන රටාව ආදී තැන්වල ඉඳල අපේ ඇහැට කනට මනසට කලාව එන්නත් වුණා. මගේ තාත්ත කවියෙක්. අපේ බඩගිනි නිවෙන්නත් තාත්ත උකුලෙ තියාගෙන කවි කීවා. තාත්තගෙ මල්ලිත් කවියෙක්. ඔහු කොළඹ යුගයේ දෙවන කවි පරම්පරාවේ අවසාන කලාපය නියෝජනය කළ ප්‍රාදේශීය කවියෙක්. නමින් නුංගමුවේ ජයවීර හපන්තිලක. ඔහුගේ නිර්මාණ කාර්යයන් මගේ ජීවිතේට ගොඩක් බල පෑවා. එතැනින් එහාට නවගත්තේගම වන්නියේ ගහ කොළ සතා සීපාවා ඇතුළු බිමේ තිබුණු අපූර්වත්වය සෞන්දර්යයේ මුල් පාඩම් අපිට උගැන්නුව. ඒ ගම්වල ජීවත්වුණ මිනිස්සුන්ගේ හැසිරීම් රටා නිරන්තරව අපි කරන්න ඕනි මොකක්ද කියන පාඩම ඉගැන්නුවා. මගේ නිර්මාණ බොහොමයකට පාදක වෙලා තියෙන්නෙ මගේ උපන් බිම්කඩේ මිනිස්සුන්ගෙ හැසිරීම් නිසා මා උගත් දේ. මම නගරයට, රටට ලෝකෙට එළියට ආවා. ඒ ගමේ දොරටුව මට නිර්මාණ ජීවිතේට බොහොම බලපෑම් කරල තියෙනව. මම හැම විට ම නිර්මාණ කරන්නෙ කලාව මිනිසා සඳහාය කියන තේමාවෙ ඉඳගෙන. තවමිනිහෙක්ගෙ හිත සුවපත් කරන එක තමා මගේ නිර්මාණ කරණයේ මූලික අරමුණ.

  • සුභාවිත ගීතය හා සමීප ඇසුරක් පවත්වන නිර්මාණකරුවෙක් ලෙස මේ වනවිට ඔබ විසින් ගීත කොපමණ ප්‍රමාණයක් රචනා කරල තියෙනව ද?

2015 දි “වසන්තය මගෙ නොවෙයි ” ගීත සංග්‍රහය, 2016 දී “කඳුළු දියවර , සංයුක්ත තැටිය, 2018 දී “ජීවිත උයන, සංයුක්ත තැටිය, 2019 දී “දැන් ඉතින් සමුගන්න, ගීත සංග්‍රහය මා විසින් ලාංකීය ගීත රසිකාගාරයට පිරිනමල තියෙනව. මේ වෙනකොට මම ලියපු ගීත පදමාලා 140ක් විතර ගීත බවට පත්වෙලා තියෙනව.

ඒ අතර වසන්ත මොරගොඩගේ “මවුස් , චිත්‍රපටය සහ සුනිල් ප්‍රේමරත්නගේ “ටවුමෙ ඉස්කෝලෙ, චිත්‍රපටය සඳහාත් ගී ලියන්න අවකාශ ලැබිල තියෙනව.

  • ඔබ සහ තවත් තරුණ ගී පද රචකයෙකුගේ එකතුවෙන් වේදිකාගත වන “සංකර්ෂා” ප්‍රසංගය පිළිබඳ යමක් සඳහන් කරනවා නම්,

ඔව්. මම හැමවිට ම එක්ව වැඩ කරන්න කැමැතියි. නමුත් මේ මොහොතේ ගොඩක් දෙනා තනි තනිව තම තමන්ගෙ පාරවල්වල යමින් ඉන්නව. මම කලක පටන් හිතේ සැලසුම් කරපු දෙයක් තමා මේ විදියෙ ප්‍රසංගයක්. ඉතින් මම මේ මොහොතේ සිංහල ගීතයේ මිනිස්සු බොහොම ආදරයෙන් වැළඳගත්ත ගීත කිහිපයක් ම රචනා කරපු රසික ඩී දුමින්ද සොහොයුරාට මේ සඳහා ඇරයුම් කළා. ඔහු ඊට කැමැති වුණා. ඉතින් මේ ප්‍රසංගය මැයි 13 වැනි දා හවස 2.00 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙනවා. මේ ප්‍රසංගය නොමිලේ පැවැත්වෙන්නෙ. අපේ ගීත ඇත්තට ම රස විඳින ඈත දුර බැහැර රසික සහෘදයන්ට මේ වගේ අවස්ථා අඩුයි. ගෘහස්ත ප්‍රසංගයක් බලන්න යන වියදම දරාගන්න අපහසුයි. ඒ අයට මේ ප්‍රසංගය නොමිලේ ඇවිත් බලන්න පුළුවන්. දවල් කාලයේ නිසා ඈත දුර වුණත් ආපහු ගෙදර යන්නත් කල් වේලා තියෙනවා.

මේ ප්‍රසංගය සඳහා ගී ගයන්න එඩ්වඩ් ජයකොඩි, චන්දන ලියනාරච්චි, ශෂිකා නිසංසලා, ක්‍රිෂාන්ත එරන්දක, දයාන් විතාරණ, හර්ෂණ දිසානායක, ශානිකා සුමනසේකර, තිලිණ සුදේශ් වන්නිනායක, මියුරු සෝමරත්න්, දිනේන්ද්‍ර ජයවීර, ඩේසික කමලාංජන, ලක්ෂණා ලක්මිණි, යශෝධා ප්‍රියදර්ශනී, සයුරි ප්‍රාර්ථනා, ඉසංකා අධිකාරි, රුවනි වාසනා කියන ශිල්පීන් එකතු වෙනවා. මේ ප්‍රසංගය වෙනුවෙන් ඔවුන්ගේ ගෞරවණීය දායකත්වය ආදරයෙන් මතක් කරනවා. සංගීතය ධනංජය ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා. ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සහ ප්‍රවීණ ගීත රචක සුනිල් ආර් ගමගේ කෙටි දෙසුම් පැවැත්වීමට නියමිතයි.

  • ගීත රචකයන් දෙදෙනෙකුගේ ගේය පද නිර්මාණ එකම වහලක් යට රස විඳීමට ලැබීම වෙනස් ආකාරයක අත්දැකීමක්. වෙනසක් ඇති කරන්න තීරණය කළේ කුමන අරමුණකින්ද?

ඔව්. මේ ප්‍රසංගය ලාංකීය ගීත රසිකයන්ට විශේෂ අත්දැකීමක්. මෙතෙක් ගීත රචකයන් දෙපළක් එක්ව මේ තරම් විසල් ගීත ප්‍රසංගයක් ඉදිරිපත් කරපු වගක් අපි දන්නා සොයපු අතීතයේ මුණ ගැහෙන්නෙ නෑ.

ග්‍රන්ථ එළිදැක්වීම් වගේ ඒව සිද්ධ වෙලා තියෙනවා. ඒත් එක්කම මම අර මුලින් කියපු විදියට එක්ව වැඩ කරන්න අපේ පසුපස එන පිරිසට ආදර්ශයක් දීමත් අපේ අරමුණක්. වෙනස් වැඩ කරන එක ඉතින් නිර්මාණකරුවෝ කරන්නම ඔනි දෙයක්නෙ. අපි දෙදෙනා ගීත රචනය පැත්තෙන් මාවත් දෙකක ගමන් කරනවා වුණත් පොදු අරමුණ මිනිසුන්ට වින්දනය වගේම ඥානය දීම. ඉතින් අපි හිතනව අපි දෙන්න එක්ව ඉදිරිපත් කරන “සංකර්ෂා” ලංකාවේ ගීත ක්ෂේත්‍රයට අලුත් අත්දැකීමක් වගේම ආදර්ශයකුත් වෙයි කියලා.

  • සුභාවිත ගීතය සජීවී ප්‍රසංගයක් තුළින් ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යෑමේ අඩුවක් දකින්නට ලැබෙන වටපිටාවක ඔබ ඒ අභියෝගය භාර ගන්නව. එය ජය ගත හැකියි කියන විශ්වාසය ඔබ තුළ තියෙනව ද?

ඔව්. ඇත්තට ම ඒක අභියෝගයක්. විශේෂයෙන් නොමිලේ කරන මේ සා විශාල ප්‍රසංගයක් ඉදිරිපත් කිරීම අභියෝගයක්. ඒක දැනගෙනමයි අපි මේ අභියෝගය භාරගත්තෙ. ඉතින් අපි දෙන්නම විශ්වාස කරනව ඒ අභියෝගය ජය ගන්න අපිට පුළුවන් කියල. මම තනියමත් මේ වගේ අභියෝග භාර ගත්ත කෙනෙක්. ඒ අත්දැකීම් උදව් කරගන්නවා. මේ කටයුත්තට අපිට උදව් කරන අපිත් එක්ක අත්වැල් බැඳගන්න පිරිසක් ඉන්නවා. හොඳ දේට එකතු වෙන පිරිස අඩුයි තමයි. ඒත් එහෙම පිරිසකුත් ඉන්නවා. ඉතින් අපේ හීනය, අපේ අභියෝගය ජයගන්න ආදරණීය හිතින් උදව් කරන ශිල්පී ශිල්පිණියන්, දේශකයන්, සංනිවේදකයන්, පරිත්‍යාගශීලීන් සහ හිත මිතුරන් ඇතුළු සියලු දෙනාම ආදරයෙන් මතක් කරනවා. මේ ප්‍රසංගය අපි හැමෝගෙම ප්‍රසංගයක්.

සංවාදය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment