වනාතවිල්ලුවේ සිට…. කලා ඔය පසුකර විල්පත්තුවට සෆාරියක්…

216

වයඹ වෙරළේ සුන්දරත්වය 4

අද අපගේ “සංචාරේ” සිදුකරනු ලබන්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය වෙතටය. ඒ සාමාන්‍යයෙන් අපි විල්පත්තු යන අනුරාධපුර-නොච්චියාගම-පුත්තලම පාරේ ගොස් නොව, පුත්තලම-මන්නාරම පරණ පාරේ ගොස් කලා ඔයෙන් එගොඩ වීමෙනි. එළුවන්කුලමේ පිහිටි Cloud Nine Lanka Resort හි පෙරදා නවාතැන් ගත් අපි විල්පත්තුවේ අසිරිය විඳින්නට යෑමට තීන්දු කළේ හිරු පායන උදෑසනමය. එනම්, උද්‍යානය මහජනයාට විවෘත කරන මොහොත වන විටම උද්‍යාන පිවිසුම අසල සිටිය යුතු වූ බැවින් අපගේ මිත්‍ර, Cloud Nine Lanka Resort හි කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රවීණ වන ජීවී ඡායාරූප ශිල්පී නීල් ප්‍රනාන්දු විසින් ගමනට අදාළ සියලු කටයුතු සැලසුම් කරන ලද්දේ පෙර දිනයේ පටන්මය. හෝටලයේ අලෙවි ප්‍රවර්ධන කළමනාකාරිනී ක්‍රිෂානි ඊට නොමද සහාය ලබාදුන් අතර, ගමනට අදාළ සියලු කටයුතු සම්බන්ධීකරණය ඇය විසින් නොපිරිහෙළා ඉටුකරනු ලැබුවාය. ඒ අනුව අප පාන්දරින්ම නැතත්, හිරු නැග එන උදෑසනම හෝටලයෙන් පිටත් වූයේ නීල්ගේ ජීප් රථයෙනි. නමුත්, මෙම මාර්ගය ඔස්සේ පෞද්ගලික වාහන උද්‍යානයට ඇතුළත් කිරීමක් සිදුනොවන බැවින්, නීල්ගේ ජීප් රථය කලාඔය ඉවුරේ මෙගොඩ පිහිටි නාවික කඳවුර අසල ගාල්කර, පාගමනින් කලාඔය තරණය කර, අනෙක් පස පිහිටි වන ජීවී කාර්යාලයෙන් ප්‍රවේශපත් ගෙන එහි සිට සෆාරි ජීප් රථයකින් උද්‍යානයට ඇතුළු විය යුතුය. මේ සඳහා ක්‍රිෂානි කල්තියාම සෆාරි ජීප් රථයක් වෙන්කර තිබිණේ ඇයගේ හෝටලයට එන අමුත්තන්ට විල්පත්තු සේවාව ලබාදෙන ජීප් රථ සේවාව මගිනි. එළුවන්කුලමේ (විල්පත්තුවේ) Cloud Nine Lanka Resort වෙත පැමිණෙන සංචාරකයින්ට එතැන් සිට කිලෝමීටර් 23 ක් පමණ මෑතින් පිහිටි විල්පත්තුවට සෆාරියක් පහසුවෙන් වෙන්කරගත හැකිය. ඒ සඳහා පහත පළවන ඊ මේල් ලිපිනයට හෝ වෙබ් අඩවියට අමතා දින හා වේලාවන් වෙන්කර ගත හැක.

හෙක්ටයාර් 131,693 ක තරම් වපසරියකින් යුත් විල්පත්තුව ජාතික වනෝද්‍යානය දේශ-දේශාන්තරයේ ප්‍රකට වනෝද්‍යානයකි. වරෙක බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජින සහ එඩින්බරෝ ආදිපාදවරයා පවා මෙහි නැවතී (මානික්කපොළඋත්තු සංචාරක බංගලාවේ) වනජීවී අගය සහ විල්පත්තුවේ පහස විඳ ඇත. 30 වසරක යුද්ධය කාලයේ මෙම වනෝද්‍යානය වසා දමා තිබූ අතර, එළුවන්කුලමෙන් ඔබ්බට පුත්තලම්-මන්නාරම් පාරද සම්පූර්ණයෙන්ම වසා දමා තිබිණි. අනතුරුව රට සාමකාමී වාතාවරණයට පත්වීමත් සමග මේ පුත්තලම්-මන්නාරම පාර විවෘත කර බස් රථ පවා ධාවනය විය. නමුත්, වරින් වර සිදු වූ දරුණු ජල ගැලීම් නිසා කලාඔය ඔස්සේ උද්‍යානයට පිවිසෙන පටු සපත්තු පාලම සේදී යෑම නිසා දැන් ඒ මතින් වාහන ධාවනයක් සිදුවන්නේ නැත. ඒ වෙනුවට හුණුවිලගම පැත්තෙන් පැමිණෙන සෆාරි ජීප් රථ ඔයෙන් එගොඩ ගාල් කර, එන සංචාරකයින් එහි ඇති එල්ලෙන (සංගිලි) පාලමෙන් එගොඩ කර ජීප් රථ මගින් සෆාරි සේවාව ක්‍රියාත්මක කෙරේ. මේ සඳහා පහසුකම් ලෙස ඉකුත්දා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉතා කදිම හා පහසුකම් සහිත කාර්යාල හා සනීපාරක්ෂක සේවා සංකීර්ණයක් ජර්මන් ආධාර යටතේ සාදා දෙනු ලැබීය. නවීන එල්ලෙන පාලමද ජර්මන් රජයේ ආධාර ව්‍යාපෘතියක් යටතේ ඉදිකර දෙන ලදි. තවද, උද්‍යානය තුළ සංචාරකයින්ගේ ගිමන් පොළක් ලෙස තිබුණු කුඹුක්විලේ ආපනශාලාවක්, වැසිකිළි-කැසිකිළි පහසුකම් හා නැරඹුම් පළක් ලෙස වැඩි පහසුකම් සහිතව සකසා දී ඇත.

ගමනට එක්වූ නීල් හා ක්‍රිෂානිත්, වන ජීවී ඡායාරූප ශිල්පී රොහාන් (ෆොන්සේකා) අයියාත් උද්‍යානයේ සංචාරයට මා සමග එක්වූ අතර, වැල් පාලමෙන් එගොඩව අපි සෆාරි ජීප් රථයට නැග ගත්තෙමු. ඒ වන විටත් විදේශිකයින් ඇතුළු සංචාරකයින් පිරිසක් පැමිණ ජීප් රථ බුක් කරගෙන තිබූ අතර, එහි සිටි “පාර්ටි” කිහිපයක්ම නීල්ගේ Cloud Nine Lanka Resort සිට එහි පැමිණි අය වීම විශේෂයකි.

වනාතවිල්ලුවේ සිට…. කලා ඔය පසුකර විල්පත්තුවට සෆාරියක්…

විල්පත්තු “සංචාරේ” ආරම්භ කරමින් අපි පැරණි පුත්තලම-මන්නාරම (කරත්ත) පාරේ ඉදිරියට ඇදුණේ හිරු උදාවත් සමග විකසිත වී තුරු මතට වී උදා හිරු රැස් විඳින නෙක විසිතුරු සියොතුන්ගේ අසිරිය විඳිමිනි. කුරුල්ලෙක් දකින සෑම අවස්ථාවකම අපගේ ජීප් රථය ඒ සෑම තැනකම නතර වුණේ විටෙක පසු පසින් එන ජීප් රථයකට කරදරයක් වෙමිනි. මන්ද, මේ සංචාරයේදී වන ජීවී ඡායාරූපකරණය අපගේ දැඩි අවශ්‍යතාවක් වූ බැවින් නීල්ගේ, රොහාන්ගේ පමණක් නොව, ක්‍රිශානිගේ කැමරා දිගින් දිගටම තිබුණේ ක්‍රියාත්මක වෙමිනි. රොහාන් අයියාගේ කැමරාවක් මටද ලැබී තිබුණු බැවින් අපි 4 දෙනාම තරඟයට මෙන් ඡායාරූප ගත්තෙමු. ඒ අතරින් නීල්ගේ හා රොහාන්ගේ පිට්ටු බම්බු කැමරා (ටෙලි ලෙන්ස් සහිත) අපූරු දර්ශන රැසක් ග්‍රහණය කරගනිමින් තිබිණි.

පාරේ මදක් ඉදිරියට යන විට පොම්පරිප්පුව පිටිය හමුවේ. මෙහි සාමාන්‍යයෙන් අලි-ඇතුන් දුලභ නොවන බව කීවේ නීල්ය. ඒ නිතර මේ පාරෙන් විල්පත්තු එන ඔහුගේ අත්දැකීම අනුවය, එසේම ඊට සාක්ෂි ලෙස නීල් සතුව අලි-ඇතුන්ගේ ඡායාරූප එකතුවක් ඔහු සතුව තිබේ. නමුත් අපි ගිය උදෑසන නම් එහි අලි-ඇතුන් දකින්නට සිටියේ නැත. මන්ද බොහෝ විට මේ පිටිය අලින්ගෙන් සැරසෙන්නේ සවස් යාමයේ නිසාය.

කෙසේ හෝ පල්ලකන්ඩාල් දේවස්ථානය අසලින් දකුණට වැටී ඇති මාර්ගය ඔස්සේ විල්පත්තු උද්‍යානය තුළට ගමන් ගත්තේ, මන්නාරම දෙසට වැටී ඇති කුදිරමලේ පැත්ත මගහරිමිනි. අනතුරුව විල්පත්තු වනය තුළට ඇදුණේ විටින් විට මෙහි හමුවන විල්ලු හා පිටි පසුකරමිනි. ඒ අතර මුවන්, ගෝනුන්, වල් හරකුන් පමණක් නොව, කොටියන් කිහිප දෙනකුද දැක ගත්තේ තවත් සංචාරක ජීප් රථ මැදිකරමින් ගමන් කරමිනි. නමුත් අපගේ කැමරා සියල්ලම පාහේ පිරෙමින් තිබුණේ ගස් මත ලගින කුරුල්ලන්ගෙන් සහ බිම් සැරි කුරුල්ලන්ගෙන් කීවොත් එය වැරදි නැත. එනම්, විල්ලු අසල ගැවසෙන නෙක වර්ණයේ හා නෙක ප්‍රමාණයේ කුරුල්ලන් ඡායාරූප ගතකරන්නට වෙහෙසුණේ නීල් හා රොහාන් ය. මට හා ක්‍රිශානිට බොහෝ විට හැකියාව ලැබුණේ පාර දෙපස ගණ වන ගහණයේ රූස්ස වන වදුල අතර සිට අපට මුහුණ හරවමින් හා එබිකම් කරමින් කැමරාවට හොඳින් හුරු වූ සර්ප උකුස්සන්, කොණ්ඩ රාජාලියන් වැනි කුරුල්ලන් “එළා” ගන්නටය. අපගේ පියවි ඇසට පවා නොපෙනෙන, විල්ලුවෙන් ඈත ගහක් යට බිමට බැස මසුන් විපරම් කරන දුඹුරු කෙවුල් බකමුණකු ළඟ හිටියා වගේ ඔවුන්ගේ දිගු දුර කැමරා මගින් ඡායාරූප ගතකරන්නට නීල් හා රොහාන් සමත් වූවේ අපගේ සියුම් ඊර්ෂ්‍යාවකට ද ලක්වෙමිනි.

කෙසේ හෝ ක්‍රිෂානි ගෙනා උදේ ආහාරය අපි ජීප් රථයේ සිටන්ම භුක්ති වින්ඳේ අප උද්‍යානය තුළ ගෙවා දමන කාලය තවත් ඉතිරි කරගනු පිණිසය. එසේම, කුඹුක්විලේ ගත කළ මඳ විවේකයකින් පසු අපි තවත් හෝරා දෙකක් පමණ වන සතුන් හා විල්පත්තු සුන්දරත්වය සොයා ඇවිද ගිය අතර, විටෙක පාර මැද වතුර වළක් අසලදී දැවැන්ත කිඹුලෙක් තලගොයකු අල්ලා ගත්තේ අප දෑස් ඉදිරියේදීමය. මෙවන් දුලභ දර්ශන හා සුන්දරත්වයත්, ලොකු කුඩා විල්ලු රාශියකින් ගහන විල්පත්තු උයනේ අපූර්වත්වයත් විඳගත් අපි, දවසක නිමාවෙන් යළිත් Cloud Nine Lanka Resort බලා ගමන් ගත්තේ එදින සන්ධ්‍යා යාමයේ නීල් ගේ ආරාධනාවෙන් තවත් සොඳුරු අත්දැකීමක් විඳිනු කැමැත්තෙනි.

සැරිසර
ජගත් කණහැරආරච්චි
තෙවැනි ඇස – නීල් ප්‍රනාන්දු සහ රොහාන් ෆොන්සේකා

advertistmentadvertistment
advertistmentadvertistment