වනාන්තරේ රජු මහේශාක්‍ය… දළ කැපූ අය තවම නිදැල්ලේ

269

පදවි රක්ෂිතයේ විරාජමානව ජීවත්වූ මහේශාක්‍ය ගේ ජීවිත කතාව මෙයින් වසර තිස්පහකට හතළිහකට පෙර ආරම්භ වූවත් මහේශාක්‍ය අපට හමුවූයේ සහ මහේශාක්‍ය ලෙස නම් දැරූයේ පදවිය මහනික වැවේ බැස මද සමය ගත කරන අවස්ථාවේදීය. මහනික වැවේ වැව් බන්ට් එකේ සිට මාළු වෙළෙඳාම් කරන පුද්ගලයෙකු විසින් කරන ලද තොරතුරකට ප්‍රියාංජන දිල්මිත් සහෝදරයා තම කැමරා උපකරණ රැගෙන ගියේ වැවේ බැස ඉන්නා ඇතෙකු බැලීමටය. ඇතා දුටු සැණින් ඔහුගේ ශරීර අලංකාරය සහ තේජස් බව නිසාම ඔහුට මහේශාක්‍ය ලෙස නම් පටබැඳුනි. පදවි රක්ෂිතයේ මෙතෙක් සිටි විශාලම අතිශය තේජස් අහිංසකම ඇතා එතැන් සිට මහේශාක්‍ය විය.

මහේශාක්‍ය ගේ මහේශාක්‍ය ලීලාවට පිස්සු වැටුණු ප්‍රියාංජන ඊළඟ දවසේත් මහේශාක්‍ය සොයා ගියේය. නමුත් එදින මහේශාක්‍ය සිටියේ වාහල්කඩ වැව ආශ්‍රිතව ඇති වැව් පිටියේය. එහි තව ඇත් පැටවෙක් පිරිමි අලි දෙන්නෙක් සහ මහේශාක්‍යගේ ආදරවන්තිය ප්‍රියාංජන ගේ ඇස ගැටුණි. එදා මහේශාක්‍ය දෙස බලා සිත සතුටින් නිවස බලා ගිය ප්‍රියාංජනට පසුදා වාහල්කඩ වැවේ වැව් පිටියේ මහේශාක්‍ය දක්නට නොලැබිණි. ඉන්පසු දෙදිනක් ඔහු මහේශාක්‍ය සොයා තම කැමරා ආම්පන්න සහිතව පදවි රක්ෂිතය ආසන්න ප්‍රදේශය පීරුවේය. ඉන්පසු ලද තොරතුරකට අනුව නැබඩ වැව කියන්නා වූ ප්‍රදේශයේ මහේශාක්‍ය ඉන්නා බව ආරංචි වීමත් සමග ඔහු තම සගයා සමග යළි නැබඩ වැව ප්‍රදේශයට ගියේ එහි ඉන්නා බුවනෙක නම් ඇතා මහේශාක්‍යට පහර දේවි යැයි බිය නිසාමය. එහිදී ඔහුට දුරකථනෙන් අමතා යමෙක් පවසා ඉල්ලීමක් කළේ කෝන්වල කියන්නා වූ ප්‍රදේශයේ අලි දෙන්නෙක් රණ්ඩු කරනවා ඉක්මනින් එන්න ලෙසය.

ඉක්මනින් ක්‍රියාත්මක වූ ප්‍රියාංජන කෝන්වල වෙල කියන්නා වූ ප්‍රදේශයට යන විට මහේශාක්‍ය දනුද්දර සමග සටනකින් අනතුරුව මඳක් පසුබැස වෙල් ලියැද්දක සිටිනවා දුටුවේය. මහේශාක්‍යගේ ප්‍රේමිය දනුද්දර සමග රැලේ ඉන්නා බවද ඔහුට නිරීක්ෂණය විය. මහේශාක්‍ය සිටියේ තනිවමය. එතැන් සිට මහේශාක්‍යගේ මරණ වරෙන්තුව ලියැවුණේය. සම උඩින් සීරුනු දළ පහරවල් මහේශාක්‍ය ගේ ශරීරය පුරා තිබුණු අතර ඉස්සරහ පාදයක් කොර ගසන බව දුටු ප්‍රියාංජන තමා ළඟ තිබූ අලි වෙඩි පාවිච්චි කොට ඇතුන් දෙදෙනා යම් දුරකට ඈත් කළේය.

මහේශාක්‍ය මොරඔය දෙසටත් දනුද්දර මාවත ඔය දෙසටත් විසිරී ගියේය. එතැන් සිට දින කිහිපයක් නිරීක්ෂණ කිරීමේදී ප්‍රියාංජනට මහේශාක්‍ය ඇතු දක්නට නොලැබුණු අතර දනුද්දර රංචුව සමග කීප විටක් මුණ ගැසුනේය. තවත් දිනක ලද තොරතුරක් අනුව වාහල්කඩ වැවේ වැව් පිටිය සමග ඇති කැලයේ විශාල ඇත් පොරයක ශබ්දයක් ප්‍රියාංජනට ඇසුනේය. එය ඉතා වේදනාකාරී
කෑගැසීමක් වූ අතර බොහෝ වේලා ඒ ශබ්දය ඇසුනේය. ප්‍රියාංජන අනුමාන කරනුයේ ඒ දනුද්දර නැවත මහේශාක්‍යට පහරදීමේ සිද්ධිය විය හැකි බවයි.

ඉන්පසු දනුද්දර වාහල්කඩ වැවේ බැස සිටි අතර කොතෙක් සෙව්වත් මහේශාක්‍ය දක්නට සිටියේ නැත. දින ගණනාවක් සෙව්වද ඔහුට මහේශාක්‍ය ගැන තොරතුරක් වත් ලැබුණේ නැත. ඉන් දින කීපයකට පසු නැබඩ වැව ප්‍රදේශයෙන් ආරංචි වූයේ දළ කොට ඇතෙක් පාර අයිනේ ඉන්නා බවය. සැණින් ක්‍රියාත්මක වූ ප්‍රියාංජන එම ඇතා සොයා ගියේය. ඒ දනුද්දරය.

මහේශාක්‍ය මාරාන්තික තුවාල ලබා වාහල්කඩ වැවේ සිට නැබඩ වැවට සංක්‍රමණය කර ඇති අතර දනුද්දර ඔහු සොයා කිලෝමීටර් විස්සකට ආසන්න දුරක් නැවත පැමිණ සිටියේය. නැබඩ වැවේ අතිශය රෝගාතුරව බැස සිටි මහේශාක්‍ය ගැන ප්‍රියාංජන විසින් අවසන් කුංචනාදයට පෙර සංවිධානයේ අපිට කිව්වේ එදිනය. ඉක්මනින් මෙම ඇතාට බෙහෙත් අවශ්‍ය බවත් ඔහු ඉතා අමාරුවෙන් සිටිනා බවත් ප්‍රියාංජන අප හා පැවසුවේය. ජූනි මස දොළොස් වැනිදා මහේශාක්‍යට පළමු වර ප්‍රතිකාර කිරීමට පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකය නැබඩ වැවට පැමිණියේය.

කෙසේ හෝ ඉන්ධන සපයා ගැනීමට නොහැකි නිසා නැවත වාරයක් මහේශාක්‍යට ප්‍රතිකාර කිරීම ප්‍රමාද විය. ඒ නමුත් කැබිතිගොල්ලෑව නැබඩ වැව ගමේ ගම් වැසියන් මහේශාක්‍ය හට ආහාර ලබාදී නිසි රැකවරණය ලබාදී ප්‍රියාංජන හට නිතර තොරතුරු ලබාදී ඉතා ආදරයෙන් මහේශාක්‍යව බලා ගත්තේය. මේ ගැන අවධානයෙන් සිටි පාපතරයෙකු ඉතා අමාරුවෙන් හුස්ම යැදි අහිංසකයාගේ දළ පොරවකින් ගසා කපාගෙන ගොස් ඇත. පසුදින උදේ දක්නට ලැබුණේ එක් දළක් අහිමිව අමාරුවෙන් කෙඳිරිගානා මහේශාක්‍යවය. ඒ බව සැලවූ මොහොතේම මලිත් මධුශංක මහතා අනුරාධපුරේ සිට මහේශාක්‍ය ළඟට ගියේය. ඉන්පසු පණ්ඩුලගම පශු වෛද්‍ය කණ්ඩායම නැවත ඇතාට ප්‍රතිකාර සඳහා ගිය අතර එදිනම රාත්‍රියේ ආදර මහේශාක්‍ය තමන්ගේ අවසන් හුස්ම වාතලයට මුසු කළේය.

නමුදු එදින රාත්‍රියේ මහේශාක්‍යට අවශ්‍ය ආරක්ෂාව ලබාදුන්නේ නම් මේ සා විශාල අපරාධයක් සිදු නොවන්නේය.

දනුද්දරගේ මාරාන්තික ප්‍රහාර මහේශාක්‍යගේ ජීවිතය උදුරා ගැනීමට තරම් දරුණු වූ බව අප දන්නේය. මහේශාක්‍යගේ මරණ පරීක්ෂණ වාර්තාවෙත් ඇත්තේ එයමය. නමුත් ඉතා අමානුෂික ලෙස පණ පිටින් දුර්වලව වැටී සිටි අසරණයාගේ දළයක් කපා ගැනීමට තරම් මනුස්ස වර්ගයා ම්ලේච්ඡ වූයේ කෙසේදැයි තවමත් අපට සිතා ගත නොහැක.

සභාපතිනී උපුලී මධුශංකා මරදසිංහ
අවසන් කුංචනාදයට පෙර සංවිධානය

advertistmentadvertistment
advertistmentadvertistment