වනිඳුගේ කඩලු 5 බැංගලෝරයට ජය ගෙනෙයි

283

වනිඳු හසරංගගේ වාර්තාගත පන්දු යැවීම සහ ෆෆ් ඩුප්ලෙසිස්ගේ ප්‍රතිහරඹය හේතුවෙන් අයි.පී.එල්. තරගාවලිය යටතේ පෙරේදා (08 වැනිදා) පැවැති තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ක්‍රීඩකයෝ සමත් වූහ.

 තරගාවලියේ 54 වැනි තරගය ලෙසින් පැවැති අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 3ක් දැවී ලකුණු 192ක අභියෝගයක් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හමුවේ තැබීය. ඒ අනුව ලකුණු හඹාගිය

 සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 19.2කදී ලකුණු 125ට සීමා කිරීමට බැංගලෝර් පන්දු යවන්නෝ සමත් වූහ.

 සන්රයිසස් ඉනිමේ පළමු කඩුලු දෙකම මුලු ලකුණු 1දී බිඳ වැටුණි. ඒ අනුව නායක කේන් විලියම්සන් සහ අභිෂේක් ෂර්මා ලකුණු නොලබා පිටියෙන් ඉවත්වී ගියේය.

 අනතුරුව ක්‍රියාත්මක වූ වනිඳු හසරංග සන්රයිසස් ඉනිම තවත් අඩපන කරමින් සිය පන්දුවාර 4 තුළදී ලකුණු 18ක් පමණක් ලබා දී ප්‍රතිවාදි කඩුලු 5ක් බිඳ දැමීමට සමත් විය. එහිදී එක් නිලකුණු පන්දුවාරයක් සටහන් කිරීමට ද වනිඳු සමත්වීම කැපී පෙනුණි.

 ජොෂ් හෙසල්වුඩ් සන්රයිසස් ඉනිමේ ලකුණු 17කට කඩුලු 2ක් බිඳ දැමීය.

 සන්රයිසස් වෙනුවෙන් හුදෙකලා සටනක් දියත් කළ රාහුල් ත්‍රිපාති පන්දු 37කදී ලකුණු 58ක් රැස් කළේය.

 රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වෙනුවෙන් පන්දු 50කදී නොදැවී ලකුණු 73ක් රැස් කිරීමට ෆෆ් ඩුප්ලෙසිස් සමත් විය. ඊට හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment