වනිඳු, චමීර සහ පැතුම් සුපිරි වටයට පැතුම් එක්කරති

352

එමීරයේ ගමන හමාරයි

එක්සත් අරාබි එමීර් කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයට පිවිසීමේ බලාපොරොත්තු නැති කරමින් ශ්‍රී ලංකාවට එම තරග වටය සඳහා බලාපොරොත්තු ඇති කරලීමට ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සහ පන්දු යවන්නන් වූ දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග ඊයේ (18 වැනිදා) සමත් වූහ.

ඔස්ටේ්‍රලියාවේ ජීලොන්ග්හිදී ඊයේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව පැවති එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 79 ක ජයග්‍රහණයක් ලබා ගත් අතර එම ජයග්‍රහණය මෙවර තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ලද පළමු ජයග්‍රහණය විය.

ශ්‍රී ලංකාව නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 152 ක් ලබාගත් අතර ප්‍රතිවාදී එක්සත් අරාබි එමීර් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 73ක් පමණි.

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකාවට අනිවාර්යෙන්ම එම තරඟය ජයග්‍රහණය කළ යුතුව තිබූ අතර හෙට නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගයද ඉහළ ශුද්ධ ලකුණු වේගයක් සමග ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් සුපිරි 12 වටය ශ්‍රී ලංකාවට විවෘත වනු ඇත.

ඊයේ පැවති තරගයේ දී කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර හොඳ ආරම්භයක් ලබා ගත් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 42 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.

කුසල් ලකුණු 18කට දැවී යෑමෙන් පසු පැතුම් නිශ්ශංක සමග එක් වූ ධනංජය ද සිල්වා ශ්‍රී ලංකාව ඉහළ ලකුණු සංඛ්‍යාවකට කැඳවාගෙන යන අයුරු ප්‍රදර්ශනය කරමින් පන්දුවට පහරදුන් අතර පළමු පන්දුවාර 10 තුළදී එක් කඩුල්ලක් දැවී ලකුණු 84ක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියේය.

එහෙත් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 92 දී ධනංජය ද සිල්වා ලකුණු 33කට දුවද්දී දැවී යෑමෙන් පසු පිතිහරඹයේ සියලු බලාපොරොත්තු ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මත තබමින් සෙසු පිතිකරුවෝ එකා පසුපස එකා දැවී ගියහ.

අනතුරුව පිටියට පිවිසි කිසිදු පිතිකරුවකු ලකුණු 10 සීමාවට පැමිණීමට නොහැකි වූ අතර ඒ අතරින් වැඩිම ලකුණුලාභියා වූ චාමික කරුණාරත්න ලකුණු අටක් ලබා ගත්තේය.

මෙවර ලෝක කුසලාන තරඟාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය ලෙස භානුක රාජපක්ෂ, චරිත් අසලංක සහ දසුන් ශානක යන තිදෙනා එක ළඟ යවන පන්දු තුනක් තුළදී දවා ගත් කාර්තික් මෙයියප්පන් ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ දැමූ ප්‍රධාන පන්දු යවන්නා වූයේය.

පළමු තරගයේ දී අසාර්ථක වූ ධනුෂ්ක ගුණතිලක වෙනුවට මෙම තරගයට කැඳවූ චරිත් අසලංක පළමු පන්දුවෙන් කාර්තික් හමුවේ දැවී ගිය අතර නායක දසුන් ශානක ද පළමු පන්දුවෙන් දවාගැනීමට කාර්තික් සමත් වූයේය.

බිඳවැටුණු ශ්‍රී ලංකා ඉනිම ලකුණු 152ක ගෞරවාන්විත අවසානයක් කරා ගෙන යෑමට කණ්ඩායමේ බර තම කර මත තබා ගත් විසි දෙහැවිරිදි හුරුබුහුටි දකුණත් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු 60 කදී ලකුණු 74ක් ලබා ගත්තේය.

හතරේ පහර හයක් සහ අලංකාර හයේ පහර දෙකක් තම ඉනිමට එකතු කළ ඔහු ඉනිමේ අවසන් පන්දුවට පෙර යැවූ පන්දුවේදී දැවී ගියේ බැසිල් හමීඩ්ගේ විශිෂ්ට උඩ පන්දු රැකීමක් හමුවේය.

ලකුණ 153ක ඉලක්කයක් කරා ප්‍රවේශ වීමට අපේක්ෂාවෙන් පිටියට බට එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ පළමු කඩුලු 3 දවා ගනිමින් එමීරයේ බලාපොරොත්තු හමාර කිරීම චමීර විසින් ආරම්භ කරන ලදී.

චමීර ලබාදුන් ආරම්භයෙන් මනා ප්‍රයෝජන ලබා ගත් ලබාගත් දඟ පන්දු යවන්නන් දෙදෙනා වූ වනිඳු හසරංග ලකුණු 8කට කඩුලු 3 ක් ද මහීෂ් තීක්ෂණ ලකුණු 15 කට කඩුලු 2ක්ද දවා ගත්හ.

දුෂ්මන්ත චමීර සිය පන්දු තුනයි පන්දු 5 තුළදී ප්‍රතිවාදීන්ට ලබාදී තිබුණේ ලකුණු පහළොවක් පමණක් වූ අතර සිය අවසන් පන්දුව යැවීමට දුවගෙන පැමිණි ඔහු එහිදී ඇති වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූයේය.

නායක දසුන් ශානක සහ ප්‍රමෝද් මධුෂාන් ද එක් කඩුල්ල බැගින් දවා ගත් අතර එක්සත් අරාබි එමීර් ඉනිම ලකුණු 73කට සීමා විය.

මේ වන විට ඒ කාණ්ඩය යටතේ ප්‍රසාද ලකුණු සටහනේ නෙදර්ලන්තයේ පෙරමුණේ ද, නැමිබියාව දෙවැනි ස්ථානයේ ද ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානයේද පසු වේ. නෙදර්ලන්තයට ප්‍රසාද ලකුණු හතරක් හිමිවී ඇති අතර නැමීබියාව සහ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 2 බැගින් හිමිකර ගෙන ඇත.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 152රැ8 (20)

පැතුම් නිශ්ශංක 74, ධනංජය සිල්වා 31, කුසල් මෙන්ඩිස් 18 පන්දු යැවීම – කාරතික් මෙයියප්පන් 19-3, ශහුර් ඛාන් 26.2

එක්සත් අරාබි එමීර් 73 රැ10

අසාන් අෆ්සාල් ඛාන් 19, ජුනයිඩ් සිද්දික් 18 දුෂ්මන්ත චමීර 15-3, වනිඳු හසරංග 8-3, මහීෂ් තීක්‍ෂණ 15-2

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment