වන අලින්ට කෑම දුන්නොත් හිරිහැර කළොත් බලාගෙනයි: අත්අඩංගුවට ගන්න වන ජීවිය ලෑස්තියි

165

බුත්තල කතරගම මාර්ගයේ සහ උඩවලව, හබරණ ප්‍රදේශවලදී වන අලින්ට වාහනවලින් ආහාර ලබාදෙන පුද්ගලයන් හා වන අලින්ට හිංසාවන පරිදි හැසිරෙන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරන ලෙස වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

මේ වන විටත් බුත්තල කතරගම මාර්ගයේ වන අලින්ගෙන් වාහනවලට සිදුවන හානි හා පහරදීම් වළක්වාලීමට වනජීවී දෙපාර්තමේන්තුව විසින් ජංගම රථ යෙදවීමට තීරණය කර ඇත. එම මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට වන අලි පහරදීම් මාධ්‍ය ඔස්සේ හෙළි කිරීමත් සමග එම තත්ත්වය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබූ අතර ඒ අනුව පසුගිය දින 4 පුරාම පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙසේ ජංගම මුර සංචාර යෙදවූ බව වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

වාහනවලින් ගමන් කරන පිරිස වන අලින්ට කෑම ලබාදීම නිසා ඒවාට පුරුදුවීමෙන් වාහනවලට අලි පහර දෙන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

බුත්තල – කතරගම මාර්ගයේ පමණක් නොව උඩවලව, හබරණ ආදී ප්‍රදේශවලදී ජනතාව වන අලීන්ට ආහාර ලබාදෙන අතර ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස වනජීවී හා වන සම්පත් ඇමැතිවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස්දී ඇත.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment