වන අලියකු දැක බිය වී පාසල් සිසුවා පැදවූ කාරය පාරෙන් පැන ගසක හැපිලා – සිසුවා මරුට පියාට බරපතළයි

207

වන අලියකු දැක බියට පත් වී පාසල් ශිෂ්‍යයකු ධාවනය කළ මෝටර් රථයක් 4 දින රාත්‍රී 7ට පමණ මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් 17 වියැති ශිෂ්‍යයා මියගොස් ඇත. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ශිෂ්‍යයාගේ පියා ද (රථයේ සිටි) ප්‍රතිකාර සඳහා මොනරාගල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

අමතර පන්තියකට ගොස් බිබිල සිට පදියතලාව දෙසට යමින් සිටියදී පුවක්පැලේ නමැති ස්ථානයේදී අනතුර සිදු වී තිබෙන බව බිබිල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ඇතිරියන්කුඹුර – පදියතලාව පදිංචි බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ උසස් පෙළ පන්තියක ඉගෙනුම ලබන එච්. එම්. සාලින්ද සිතිජය බණ්ඩාර නමැති සිසුවෙකි. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ බිබිල කලාප අධ්‍යාපන කර්යාලයේ සේවයේ නියුතු මහේෂ් බණ්ඩාර නමැති නිලධාරියකි.

බිබිල පොලිස් ස්ථානාධිපති ප්‍ර. පො. ප. සෙනරත් මහතාගේ උපදෙස් මත උ. පො. ප. මානවඩු, පො. සැ. ජයසිංහ ( 39 උතුර), පො. කො රංගජීව (76232) යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

බිබිල – ජේ. රත්නායක, බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment