වන අලියාගෙන් දරුවන් බේරාගත් නිර්භීත තාත්තා

691

බට පතුරු බැඳ මැටි ගුලි අනා ඉදිකළ ‘‘මැටි ගෙදර” කොටසක් බිමට සමතලා වී ඇත. ඊට මොහොතකට පෙර එම සිදුවීමේ ම කොටසක් ලෙස ‘‘මැටි ගෙදර” දරුවන්ගේ තාත්තා වන අලි ප‍්‍රහාරයකට ලක්ව තම නිවසට මදක් එපිටින් ඇද වැටෙන්නේ සිය බිරිඳ හා කුඩා දරුවන් තිදෙනාගේ ජීවිත වියරුවෙන් හැසිරෙන වන අලියාගෙන් බේරා ගැනීම පිණිස දරන ලද නිර්භීත උත්සාහයක් හේතුවෙන්ය. එම මරණීය අවදානම සහිත විනාඩි කීපය ගතවීමත් සමඟ දුප්පත් මැටි ගෙයටත් සිව් දරු පියෙකු වන කේ. ජී. අනුර නැමැත්තාටත් පහර දෙන වන අලියා නැවත මිනිස් වාසයෙන් තාවකාලිකව නොපෙනී යන්නේ කිසිවක් සිදු නොවූ අයුරින්ය. එම බිහිසුණු වන අලි ප‍්‍රහාරය හේතුවෙන් තම සැමියා මුහුණ දුන් බිහිසුණු සිදුවීම සියසින් දකින ඔහුගේ බිරිඳ වන නිලූකා දමයන්ති ඒ පිළිබඳව විස්තර කර සිටියේ මේ ආකාරයෙන්ය.

‘‘ …. මේ ඉඩම් වලට හැමදාම අලි එනව. අඳුර වැටීගෙන එනවත් එක්ක ගම් වදින වන අලි ආපහු යන්නේ පහුවෙනිදට එළිය වැටුනට පස්සේ. එතකන් අපිට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ වන අලිත් එක්ක. පහුගිය පහළොස් වැනිදාත් එහෙම දවසක්. එදා රෑත් අලි රංචුවක් ගම් වැදුනා. රෑ එළිවෙනකම් අලි එළවලා පාන්දර 6.30 ට විතර අපි ටිකක් ඇහැ පියා ගත්තා. එහෙම වැඩි වෙලාවක් ඉන්න ලැබුණෙ නෑ. එකපාරටම ගෙයි පිටිපස්ස පැත්තෙන් සද්දයක් ඇහුනා. ඒත් එක්කම මට හයියෙන් කෑ ගැහුණා. ඒ සද්දෙට තමයි මහත්තයා ඇහැරුනේ. එයා දොර ඇරලා බලන්න හදනකොටම බිත්තියක් පෙරලූනා. එතකොට තමයි අලියා ඉන්නව කියල අපි දැක්කේ. අලිය බිත්තිය පෙරළුව. පාරට ගෙයි වහල කඩාගෙන වැටුණා. අපි දෙන්නවයි දරුවො තුන්දෙනාවයි ගේ ඇතුලෙ හිර වුණා. අපිට කරන්න තිබුණෙ හයියෙන් කෑ ගහන එක විතරයි. ඒ සද්දෙටවත් අලියා ආපහු ගියෙ නෑ… කැඩුණු බිත්තිය පැත්තෙන් අලි හො`ඩය ගේ ඇතුළට එනවා දැක්කා. මහත්තය මට කිව්වා දරුවො තුන්දෙනාවත් අරන් දුවන්න කියල. ඊට පස්සේ එයා අලියා ඉන්න පැත්තට ගියා. දරුවෝ තුන්දෙනත් එක්ක ටික දුරක් දුවල ගිහින් ආපහු හැරිලා බලනකොට අලියා මහත්තයාගේ පස්සේ එලවනවා මම දැක්කා. එහෙම මහ දුරක් දුවන්න ලැබුණේ නැහැ. එයාට අලියා ගැහුවා. ඒ ගහපු පාරට මහත්තයව වීසි වෙලා ගිහින් බිම වැටුණ. මහත්තයා එහෙම නොකළා නම් එදා මටයි දරුවො තුන්දෙනාටයි අලියගෙන් බේරෙන්න බැරිවෙනවා…”

වන අලියාගෙන් දරුවන් බේරාගත් නිර්භීත තාත්තා

තමන් මුහුණ දුන් ‘‘අලි කරදරය” පිළිබදව විස්තර කළ නිලූකා දමයන්ති ඉන් අනතුරුව විස්තර කරන්නට වූවේ මෙම අලි කරදරයට මුහුණ දීමට පෙර තමන් ඇතුළු දරු පවුල මුහුණ දීමට සිදුවූ තවත් අභාග්‍යසම්පන්න සිදුවීමක් පිළිබඳවය.

‘‘… අපි මීට ඉස්සර පදිංචිවෙලා හිටියේ ගොන්නෝරුව කැටන්වල කියන ප‍්‍රදේශයේ. අපේ ගෙවල් දොරවල් පිහිටි ප‍්‍රදේශ අලි කළමනාකරණ රක්ෂිතයට යනව කියල තමයි හම්බන්තොට කුරුලූ උයන නාගර් වැව කියන මේ ප‍්‍රදේශයෙන් අපිට අලූතින් ඉඩම් දුන්නේ. අපි කුලී වැඩ කරලා ජීවත් වන මිනිස්සු. ඉඩම් දුන්න කියල එකපාරට ගෙවල් දොරවල් හදන්න පුළුවන් කමක් අපට නෑ. හම්බකරන කීයක් හරි වියදම් කරලා දරුවන්ට කන්න බොන්න දෙනව ඇරෙන්න ගෙයක් දොරක් හදාගන්න තරම් ඉතිරියක් කරන්න බෑ.. වහලට ටකරන්, පොල් අතු හෙවිලි කරල මැටි බිත්තියෙන් වට කරල මේ ගේ පොඞ්ඩ හදාගන්නත් නොවිඳිනා දුක් වින්ද. දරුවෝ හතර දෙනෙක් උස් මහත් කරගන්න තියෙන අමාරුව. දැන් ටික කාලෙකට ඉස්සර ලොකු පුතාව පන්සලකට දුන්නා. අනිත් දරුවෝ තුන් දෙනාව කොහොමහරි උස් මහත් කරන්න මමයි මහත්තයයි නොවිඳිනා දුක් විඳිනවා. එහෙම ඉන්න අතරේ තමයි කැලේ ඉන්න අලි ඇවිත් අපිට මෙහෙම කරදර කරන්නේ..”

ඇයගේ කතාව රිදුම් උපදවන සුළුය. හදිසියේ මුහුණ දීමට සිදු වූ වන අලි ප‍්‍රහාරය හේතුවෙන් ඇයගේ ස්වාමි පුරුෂයා වන තිස් පස් හැවිරිදි කේ. ජී. අනුර මේ වන විට පසුවන්නේ කුලියක් කර ගැනීමට පවා නොහැකි තත්ත්වයකය. මරණය පෙනි පෙනී තම බිරිඳ සහ දරුවන් තිදෙනා තවදුරටත් ජීවත්වනු දැකීම පිණිස දැවැන්ත වන අලියකු සමඟ සටන් කළ මෙම කෙසඟ මිනිසා දැනට දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වුවද තවදුරටත් සිහින දකිමින් හිඳින්නේ දරු පැටවුන්ගේ සෙවන පිණිස නැවත නිවසක් ඉදි කිරීම පිණිසය. ඒ සඳහා ඔබ අප එකතුව යම් දායකත්වයක් ලබාදිය හැකිනම් එය මහත් පුණ්‍යකර්මයක් වනු ඇත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment