වන අලි ගහනය 7000 ට නගී

322

ශ්‍රී ලංකාවේ වන අලි ගහනය මේ වන විට 7000 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙතෙක් ශ්‍රී ලංකාවේ වන අලි ගහනය සඳහන් වූයේ 5600ක් පමණ ලෙසය. කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා සමග වනජීවී දෙපාර්තමේන්තුව පැවැති සාකච්ඡාවකදී නව දත්ත හෙළි විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිටින දළ ඇතුන් ප්‍රමාණයේ අවමවීමක් ද වාර්තා වේ. දැනට වාර්තා වන පරිදි මෙරට වනාන්තර තුළ සිටින දළ ඇතුන් සංඛ්‍යාව 142ක් බව ද වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මින්නේරිය, ගිරිතලේ හා පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ගැවසෙන වන අලි 350ක් පමණ ආගිය අතක් නැතැයි පසුගිය දිනෙක මාධ්‍ය විසින් පළ කර තිබිණි. මේ සම්බන්ධව ද අමාත්‍යවරයා වනජීවී දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේය. ගිරිතලේ, මින්නේරිය හා පරාක්‍රම සමුද්‍රය මෙම වර්ෂය පුරාම ජලයෙන් පිරී පැවැති හෙයින් වන අලින් ආහාර සපයා ගැනීමට පැමිණෙන වැව්පිටිය ද ජලයෙන් පිරී ඇති නිසා වන අලින්ගෙන් විශාල පිරිසක් වෙනත් ප්‍රදේශවලට ආහාර සොයා සංක්‍රමණය වී ඇතැයි වනජීවී නිලධාරිහු අවධාරණය කළහ. වන අලින් වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවට වන අලින්ගෙන් සිදුවන හානි ඉහළ ගොස් ඇති බව ද මෙහිදී අනාවරණය විය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment