වන අලි ජාවාරමේ ඇත්ත කතාව

846

අලි ඇතුන්ට තමන්ගේ වාසභූමියේ නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ පනාමුරේ ඇත් රාජයාගේ වියෝව සිදුවී මේ වන විට අඩ සියවසකට වැඩි කාලයක් ඉක්ම ගොස් තිබේ. ඔහුගේ වියෝවෙන් පසු ශ‍්‍රී ලංකාව තුළ ඇතිවූ මහජන විරෝධය විසින් වනාන්තරවලින් අලි ඇතුන් ඇල්ලීමට වැට බැඳුණි. නමුත් එකී දිගු අතීතයකට පසු අද වර්තමානයේ ද තවමත් මෙරට මුල් පුරවැසියන්ගේ සිට, ධනවත්-බලවත් ගිහි-පැවිදි දෙපාර්ශ්වයගේම මන්දිර තුළින් අම්මාවරුන් මරා වනාන්තරවලින් පැහැරගෙන ආ අලි පැටවුන්ගේ දුක් අඳෝනා ඇසෙමින් තිබේ. ඒ මෙරට වන අලි සංරක්ෂණය, වනජීවී අපරාධ මැඬලීම සහ නීතියේ ආධිපත්‍යය ඉතා බරපතල අගාධයකට ඇද දමමිණි. භක්තියෙන් අන්ධ වූ බහුතරයක් ජනතාව ඉදිරියේ ආගමික සහ සංස්කෘතික කඩතුරාවෙන් කෲරත්වය වසන් කිරීමට ජාවාරම්කරුවන් ඉතා සූක්ෂ්ම ලෙස කටයුතු කර තිබේ. ඒ අවසරයෙන් සියලූ ඛේදවාචකයන් අභිමුව නිදා වැටුණු ජනතාවක් සිටින රටක, ඇතැම් පැවිද්දෝ ජාවාරම්කරුවන්ට පුණ්‍යානුමෝදනා කරද්දී, ජාවාරම්කරුවන් වෙනුවෙන් අණපනත් වෙනස් කර, කැබිනට් සංදේශ ඉදිරිපත් කර, කැකිල්ලේ තීන්දු හිමිකර දෙද්දී අම්මාවරුන් මරා දරු පැටවුන් පැහැරගෙන විත් මුදලට විකිණීමේ ජාවාරම කිසිදු අවදානමක් නොමැති ඉතා ලාභදායී ධනෝපායන මාර්ගයක් ලෙස තවදුරටත් වර්ධනය වෙමින් පවතී.

 කළින් කලට ශ‍්‍රී ලංකාවේ වන අලි ජාවාරම පිළිබඳ අසන්න ලැබුණත් මෑත කාලීනව ඒ  පිළිබඳව විශාල කතාබහක් ඇතිවුණේ 2008 වසරේදී අතුරුගිරිය ප‍්‍රදේශයෙන් කුඩා අලි පැටවකු සොයා ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කිරීමත් සමගය. ඉන් පසු එවැනිම කිරි බොන වයසේ කුඩා අලි පැටවකු නීතියේ රැහැනට හසුකර ගැනීමට 2009 වසරේ අගෝස්තු මාසයේ වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට හැකි විය. ඒ බලංගොඩ ප‍්‍රදේශයේ නාන කාමරයක සිරකර සිටියදීය. ඒ වන විටත් විජලනය වී නිරාහාරව සිටි අලි පැටවා අකාලයේ මරු වැලඳගත්තේ මෙම අහස පොළොව නුහුලන වනජීවී ජාවාරමේ කෲරත්වය ලොවටම හඬගා කියමිනි. ඉන්පසු 2011 වසරේදී ද වනයෙන් පැහැරගත් බවට සැක කෙරුණු අලි පැටවකු අගනුවර ප‍්‍රකට විහාරස්ථාන දෙකක් අතර ප‍්‍රවාහනය කරමින් සිටියදී පරිසර ක‍්‍රියාකාරීන්ගේ ග‍්‍රහණයට ලක්වුවත් ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු විමර්ශනයක් සිදු වූ බවක් දැනගන්නට නැත. මේ මුළු කාලසීමාව පුරාම මෙම වනජීවී ජාවාරම මැඬලීම සඳහා මෙරට පරිසරවේදීන් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවංක සහ නිර්භීත නිලධාරීන් අතලොස්සක් මහත් වෙහෙසක් දැරීය. නමුත් ඒ වන විටත් මෙරට ප‍්‍රධාන පෙළේ ගිහි-පැවිදි පුද්ගලයින් මේ නීතිවිරෝධී ජාවාරමේ කොටස්කරුවන් බවට පත්වී සිටි නිසාදෝ ජාවාරමට හසු වූ අලි දරු පැටවුන්ට සාධාරණයක් ඉටු වුණේ නැත. 2014 වසරේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබූ මෙරට හීලෑ අලි ලියාපදිංචි ලේඛනය අස්ථානගතවීම මෙම ජාවාරමේ කූටප‍්‍රාප්තිය ලෙස හැඳින්විය හැකිය. ඉන්පසු රට තුළ ඇතිවූ කැළඹීම නිසා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලීසියට මෙම ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් නිහඬව සිටීමට හැකියාවක් නොවීය. ලද අවසරයෙන් මෙම ජාවාරම මැඬලීම සඳහා එඩිතර වනජීවී නිලධාරීන් කිහිපදෙනෙකු හෝ නායකත්වය ගැනීම නිසා 2014 වසරේ පෙබරවාරි මස අගදී මෙසේ නීති විරෝධී ලෙස ජාවාරම් කෙරුණු අලි පැටවුන් අත්අඩංගුවට ගැනීම වේගවත් විය. මෙරට ප‍්‍රකට පුද්ගලයින්ගේ මන්දිර, ගෙවතු, සහ ප‍්‍රසිද්ධ විහාරස්ථාන වලින් නීති විරෝධී ලෙස සන්තකයේ තබාගත් අලි පැටවුන් 38 දෙනකු හමුවන්නේ එහි ප‍්‍රතිපලයක් ලෙසය.

 නමුත් මෙම උනන්දුව පැවතියේ කෙටි කලකි. මෙම ජාවාරම මැඬලීම සඳහා දේශපාලන නායකත්වය ගත් විෂයභාර අමාත්‍යවරුන්ට තනතුරු අහිමි විය. මෙරට කීර්තිමත් වනජීවී විද්වතෙකුට ඉතා කෙටි කලකින්ම වනජීවී අධ්‍යක්ෂ ජනරාල් පුටුවෙන් ඉවත් වීමට සිදු විය. ඉන් පසු ආණ්ඩුව පාර්ශ්වයෙන් දැරුණු සෑම ප‍්‍රයත්නයක්ම දැරුණේ මෙම වනජීවී ජාවාරම මැඬලීමට නොව, අත්අඩංගුවට ගැනුණු අලි ඇතුන් නැවතත් ජාවාරම්කරුවන්ටම ලබා දීමටය. ඒ සඳහා ඇතැම් චීවරධාරීන් ද සම්බන්ධ වී සිටියහ. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේට ද අගෞරව වන සේ ඇතැමුහු කටයුතු කළහ. අමාත්‍ය මණ්ඩලයට විවිධ කරුණු දැක්වීම් සහිත සංදේශ එකපිට එක ඉදිරිපත් කෙරුණි. ජාවාරම්කරුවෝ කොතරම් බලවත්දැයි එමගින් මානව පිළිබිඹු වේ. එහි ප‍්‍රතිපලයක් ලෙස වැටලීම් අතරමග නතර විය. අගනුවර මධ්‍යයේ පිහිටි ප‍්‍රකට විහාරස්ථානවල සේම මහා මන්දිරවල රඳවා සිටි මෙසේ ජාවාරම් කරන ලද බවට චෝදනා එල්ලවූ අලි පැටවුන් විමර්ශන නිලධාරීන්ගේ උකුසු ඇසට ද මග හැරිණි. මේ සම්බන්ධ විමර්ශන සහ යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලිය ද වේගවත්ව සිදුවුණි දැයි සැක සහිතය. එහි ආසන්නතම සිදුවීම එතෙක් ආණ්ඩුව භාරයේ සිටි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය අපරාධ පරීක්ෂණ සිදුකර අධිකරණයේ කරුණු දක්වමින් තිබූ නඩුවල නඩු භාණ්ඩ ලෙස නම් කෙරුණු අලි පැටවුන් 14 දෙනෙකු නැවතත් චූදිතයින් වෙතම ලබාදීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් තීන්දුවක් ලැබීමය. ඉන් පසු මාතලේ මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ද තවත් අලි පැටවෙකු සම්බන්ධයෙන් එම තීන්දුවම ලැබුණි. ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රෝඩාකාරී ලෙස ආවරණයක් සලසා ගැනීම පිණිස ආණ්ඩුව විසින් 2021 අංක 1 දරන වන සත්ව හා වෘක්ෂලතා (හීලෑ අලින්ගේ ආරක්ෂාව, සුබ සාධනය සහ ලියාපදිංචිය විධිමත් කිරීමේ) නියෝග මාලාව ද නිකුත් කිරීමට තරම් නිර්ලජ්ජිත වූයේ දැයි කෙනෙකුට ගැටලූවක් මතුවීමට බැරි නැත.

 අලි ඇතුන් ලියාපදිංචි කිරීමේදී සහ වාර්ෂික බලපත‍්‍ර නිකුත් කිරීමේදී වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ ප‍්‍රතිපාදනවලට පටහැනිව කටයුතු කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරන දූෂණ සහ අක‍්‍රමිකතා ගැන විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු නිමල් එඞ්වඞ් දිසානායක ඒකපුද්ගල විමර්ශන කමිටු වාර්තාවට අනුව දිවයිනේ වනාන්තරවල ජීවත් වූ වන අලි පැටවුන් අල්ලා ගැනීම සඳහා වනජීවී අපරාධකරුවන් විසින් මව් ඇතින්නට වෙඩි තබා ඇය මරා දැමීමට කටයුතු කර තිබේ. නිර්වින්දන බෙහෙත් විද මව් ඇතින්න අකර්මණ්‍ය කිරීමට හෝ අලි පැටියාට නිර්වින්දන බෙහෙත් විදීමෙන් අකර්මණ්‍ය කිරීමට කටයුතු කර තිබේ. ඊට අමතරව උඩවලව ඇත් අතුරු සෙවනින් පුනරුත්ථාපනය කිරීමෙන් පසුව වනයට මුදාහැරෙන අලි පැටවුන් ද වනජීවී ජාවාරම්කරුවන්ගේ ග‍්‍රහණයට නතුවී ඇත. තවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව හෝ නොමැතිව පුනරුත්ථාපනය කිරීමට ඇත් අතුරු සෙවන වැනි රැුඳවුම් මධ්‍යස්ථානවලට රැුගෙන එන ලද අලි පැටවුන්ද අලි හොරුන් විසින් පැහැරගෙන ඇති බව මෙම වාර්තාව මගින් හෙළිදරව් කර ඇත.

 මෙම කමිටුව ඉදිරියේ දෙන ලද සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී පෙනී ගොස් ඇත්තේ සමහර දූෂිත පුද්ගලයන් විසින් වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි දූෂිත පුද්ගලයන්ගේ මාර්ගයෙන් වංචා සහගත ලෙස අලි ඇතුන් ලියාපදිංචි කරගෙන ඇති බවය. ඔවුන් විසින් ඒ ආකාරයෙන් වංචනික ලෙස අලි ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා අලි පැටියාගේ උපත පිළිබඳව සහ මව් ඇතින්නගේ මරණය පිළිබඳව ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම හා ලිපිගොනුවේ ව්‍යාජ සටහන් යෙදීම සිදුකර ඇත. එසේම දෙපාර්තමේන්තුවේ සේවය කළ දූෂිත නිලධාරීන් විසින් අලින්ට අදාළ ලිපි ගොනුවල දමා ඇති සටහන් බ්ලේඞ් තලවලින් සූරා හෝ ටිපෙක්ස් භාවිතා කොට මකා දමා සහ පොටෝ කොපි අලවා ඒ මත වෙනත් ව්‍යාජ කරුණු යතුරු ලියනය කිරීම සහ අලවා තිබූ අලින්ගේ ඡුායාරූප ගලවා ඒ වෙනුවට වෙනත් අලින්ගේ ඡුායාරූප ඇලවීම සිදුකර ඇත. දෙපාර්තමේන්තුවේ සමහර දූෂිත නිලධාරීන් වනජීවී ජාවාරම්කරුවන්ට ව්‍යාජ ලෙස ලියාපදිංචි සහතික ලබාදීමට පහසුවන පරිදි අලි නොමැතිව ලිපිගොනු පමණක් පවත්වාගෙන යෑම හා ලියාපදිංචි අලි මියගොස් ඇති ලිපිගොනු අවලංගු නොකොට දිගටම පවත්වාගෙන යෑම සිදුකර ඇත.

 ජාවාරම්කරුවන් විසින් නීතියේ ඇසට වැලි ගසමින් බුදුදහම සහ හෙළ සංස්කෘතිය දඩමීමා කරගෙන තම ග‍්‍රහණයට නතුකර ගැනීමට කැස කවන්නේ මෙසේ මිනිස්කමට නිගාදෙන අයුරින් මෙරට ස්වභාවික පරිසරයෙන් පැහැරගෙන කුප‍්‍රකට ක‍්‍රම මගින් ලියාපදිංචි කෙරුණු අලි පැටවුන් බව අප අවධාරණය කරගත යුතුය. නමුත් බොහොමයක් පරිසර ප‍්‍රශ්න සම්බන්දයෙන් මෙන්ම මෙහිදීද අලි පැටවුන්ගේ දුක වේදනාව බොහෝ දෙනෙකුට දැනුණු බවක් පෙනෙන්නට නැත. නිර්වින්දනය වුණ සමාජයක අනෙකාගේ දුක වෙනුවෙන්වත් නොඇරෙන ඇස්-කන්, කටවල්  ඇති ජනතාවක් අලි ඇතුන් වෙනුවෙන් හඬක්  නොනැගීම විමතියට කරුණක්ද නොවේ. නමුත් ඒ නිහැඬියාව බිඳගෙන සමහර චීවරධාරීන් මේ අහස පොළොව නූහුලන වනජීවී අපරාධය සාධාරණීකරණය කිරීමට ඉක්මන් වන්නේ තමන් ගත දරා සිටින්නේ අවිහිංසාවේ ප‍්‍රතිමූර්තිය, බුදුරජාණන් වහන්සේ දරා සිටි චීවරය බව වත් නොතකමින් වීම ජුගුප්සාජනකය.

 මේ ආකාරයෙන් ආණ්ඩුව භාරයේ රඳවා සිටි අලි පැටවුන්ගෙන් කොටසක් නිදහස් කිරීමට ලැබුණු අධිකරණ නියෝග හරහා ඉදිරියේදී පින්නවල අලි අනාථාගාරයේ සහ උඩවලව ඇත් අතුරු සෙවණේ නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින අලි පැටවුන් සියලූ දෙනාටම (මුළු එකතුව 38කි) නැවතත් සදාකාලික වහල්භාවයේ ඉරණමම අත්වීමට ඇති අවදානම මෙතෙක් ඉවත්වී නැත. ශ‍්‍රී ලංකාවේ වනගත අලි ඇතුන් හයදහසක් පමණ සිටින බැවින් අලින් 38දෙනෙකු අල්ලා ගැනීම සුළු දෙයක් ලෙස කෙනෙකුට හිතෙන්න පුළුවන.

 නමුත් ශ‍්‍රී ලංකාවේ වන අලි ජාවාරම පිළිබඳව ලියුම්කරු ප‍්‍රමුඛ දෙස්-විදෙස් පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකළ අධ්‍යයනයකදී 2008 – 2018 දස වසර තුළ අලි ජාවාරම් පිළිබඳව සිදුවීම් 55 ක් අනාවරණය කරගැනීමට හැකි විය. නමුත් එයද බොහෝ විට ඊට වඩා ඉහළ අගයක් ගැනීමට ඉඩ ඇති බව පර්යේෂකයින්ගේ අදහස විය. සාමාන්‍යයෙන් උඩවලව ඇත් අතුරු සෙවණ වෙත යොමු කෙරෙන අලි පැටවුන්ගෙන්ද සියයට හතළිහක් පමණ මරණයට පත්වන පසුබිමක එවැනි පශු වෛද්‍ය සත්කාර රහිත ජාවාරම් කරනු ලබන අලි පැටවුන් අකාලයේ මරණයට පත්වීමට වැඩි ඉඩක් ඇත. තවද මෙවැනි නීතිවිරෝධී සහ සංවිධානාත්මක වනජීවී ජාවාරමකට අදාළ දත්ත රැුස් කිරීමට ඇති ප‍්‍රායෝගික අපහසුවද එසේ අඩු අලින් ප‍්‍රමාණයක් වාර්තා වීමට හේතු විය හැකි තවත් කරුණකි.

 අලි ඇතුන් යනු ඉතා දැඩි සාමාජීය බැඳීමකින් ජීවත්වන සත්ත්ව විශේෂයකි. එවැනි බැඳීම් විනාශ කරමින් අලි රංචුවකින් පැටවුන් පැහැරගෙන යාම අදාළ රංචුවට කාලාන්තරයක් තිස්සේ බලපවත්නා මනෝසමාජීය බලපෑම් ඇති කරයි. එසේම විවිධ ප‍්‍රදේශවලින් ඉවක් බවක් නොමැතිව අලි පැටවුන් ඇල්ලීම නිසා ගහනයේ සංයුතිය වෙනස්වීම, ගැහැණු-පිරිමි අනුපාතය වෙනස්වීම සහ ප‍්‍රමුඛ ජාන සහිත සතුන් විශාල වශයෙන් ඉවත්වීම මගින් ප‍්‍රාදේශීය වශයෙන් අලි ඇතුන් වඳවී යෑමට ද හැකියාවක් තිබේ. එසේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම සමස්ත රටේම මහා පුටුවල අසුන්ගත් අයගේ දෑත්වලත් මේ වනජීවී ජාවාරමේ ලේ තැවරී ඇති තත්ත්වයක් තුළ අලි පැටවුන් ජාවාරම මැඩලීමට ජීවිත පරිත්‍යාගයෙන් අභීතව කැපවුණු වනජීවී නිලධාරීන්ට මේ තීන්දු මගින් ලබාදෙන පාඩම කුමක්ද? යළි කවර කලෙකත් තමන්ගේ ජීවිත, දරු පවුල්වල අනාගතය බිල්ලට දෙමින් එම නිලධාරීන් මෙරට වනජීවී අපරාධ මැඬලන්න කටයුතු කරනු ඇතැයි සිතිය හැකිද? යුක්තිය ඉටුවන බව පැහැදිලිව පෙනී යෑම යුක්තිය ඉටුවීම පමණටම නීතිමය ක‍්‍රියාවලියක සුජාතභාවය සම්බන්ධයෙන් වැදගත් මූලික යුක්ති මූලධර්මයකි. එසේම යුක්තිය පමාවීමද අයුක්තියක් බව කියමනක් තිබේ. එවැනි පසුබිමක වසර ගණනාවක් තිස්සේ ජාවාරමට ලක්වූ අලි පැටවුන් පමණක් සිර දඬුවම් විඳින, හොර බඩු හොරුන්ටම ලබාදෙන යුක්තිය පසිඳලීමේ යාන්ත‍්‍රණයකින් ඉහත සඳහන් කළ පරිදි අප‍්‍රමාදීව යුක්තිය ඉටුවන බව පැහැදිලිව පෙනීයන තරමට මේ රටේ මිනිසුන් අන්ධයෝද යන්න ගැටලූවකි.

වන අලි ජාවාරමේ ඇත්ත කතාව



 * සුපුන් ළහිරු ප‍්‍රකාශ්

advertistmentadvertistment
advertistmentadvertistment