වන අලි 70ක රංචුවක් සොරබොරට  වැදීමෙන්  ගම්මු භීතියට

284

‘අපේ ජීවිත මරු කටේ’…

වෙඩි අවසන් කියා ගිරාඳුරුකෝට්ටේ නිලධාරීන්  අලි ගම මැද දමා ගිහින්

වන ජීවියේ නිලධාරීන් ඔහොමමයි  – ගම්මු චෝදනා කරති


මහියංගණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යන ගම්මාන දෙකෙහිම ජනතාව මෙම දිනයන්හි දැඩි වන අලි තර්ජනයකට මුහුණ දීමෙන් මහත් පීඩාවට පත්ව සිටිති. මහියංගණ නගරය මැදින් ගලා බසිනා මහවැලි ගඟෙහි පවතින වැළි තුඩුවල දිවා කාලයේ රැදී සිටින වන අලි රංචුවක් රාත්‍රී කාලයට ගඟ දෙපස මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, ගඟෙහි අනෙක් පස වන මහියංගණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මානවලටත් පිවිසෙමින් මහත් වූ විනාශයන් ලෙස දේපළ හානි මෙන්ම වගා හානි සිදු කරමින් ඇත. තවද වරින් වර පිටත රක්ෂත භූමි වලින් පැමිණෙන වන අලි රංචුද මෙම හානි වලට දායක වේ.

පසුගිය 26 වැනි දින උදෑසන වන විට සොරබොර, ගුරුමඩ ගම්මානයේ නිවාස 04ක් වන අලි ප්‍රහාරයට ලක්වු අතර, නිවාසවල තිබූ “ වී” අස්වනු ගිල දමා රටේ පවතින ආර්ථික හා ආහාර අර්බුධයෙන් පීඩාවට පත්ව සිටින ගම්මාසීන් තවදුරටත් දැඩි පීඩාවකට ඇද දමා ඇත. කනගාටුවට කරණ නම් 25 වැනි දින රාත්‍රි වන අලි රංචුව ගම්වැද නිවාස හානි සිදු කරන අවස්ථාවේ ගම්වාසීන්ට වන අලි එළවා හැරීමට නොහැකිව ගිරාදුරුකෝට්ටේ වන අලි පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ වන ජීවී නිලධාරීන් වෙත කථා කිරීමේදී, එම නිලධාරීන් පවසා ඇත්තේ රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් වෙනදා ලැබෙන ඉන්ධන ලීටර් 400 වෙනුවට මෙවර ඉන්ධන ලීටර් 110ක් ලැබුණු බවත් එයද මේ වන විට අවසන්ව ඇති හෙයින් රාත්‍රි කාලයේ ගම්වදින අලි එළවා හැරීම සඳහා එම නිලධාරීන්ට ගම්මාන කරා පැමිණීමට නොහැකි බවයි. ඒ බව අසා ගම්වාසීන් එම නිලධාරීන්ට බැණවැදී ඇත. ගම්වාසීන් ඒ බව හිටපු පළාත් සහ සෞඛ්‍ය අමත්‍ය අනුර විදානගේ මහතාට දැනුම්දීමත් සමග වන අලි හානි කළ නිවාස නිරීක්ෂණය සඳහා එදින රාත්‍රියේම පැමිණ වන ජීවී නිලධාරීන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් ගතහැකි විසදුම් පිළිබඳ විමසා ඇත. ඒ අනුව වන ජීවී නිලධාරීන් දෙදෙනකු යතුරුපැදි මඟින් සොරබොර දක්වා පැමිණ ඇත. 26 දින උදෑසන සොරබොර, ගුරුමඩ ගම්මානයේ මේ වන විට අස්වනු නෙළා ඇති කුඹුරුයායේ වන අලි 70ක පමණ රංචුවක් දක්නට ලැබුණු අතර, ඒ පිළිබඳ උදෑසන සිට ගම්වාසීන් වන ජීවී නිලධාරීන් දැනුවත් කෙරිණි. ගිරාදුරුකෝට්ටේ පිහිටි වන අලි පාලන මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සවස 05.00ට පමණ එම ගම්මානයට පැමිණි අතර, අලි වෙඩි ගසා අලින් එළවීමට කටයුතු ආරම්භ කෙරිණි.

එහිදී නිලධාරීන් වන අලි රංචුව අලි වෙඩි ගසා ගම්මානය මැදින් මහවැලි ගඟ දෙසට එළවා හැරීමට උත්සාහ ගත් අවස්ථාවේදී, අලි රංචුව තවදුරටත් ගම්මානය වෙත ගමන් කිරීම හේතුවෙන් ගම්වාසියකු ඊට විරුද්ධව නිලධාරීන්ට දෝෂාරෝපණය කෙරිණි.

එම විරෝධතාව හමුවේ වන අලි රංචුව “හද්දත්තාව ඔය” ඔස්සේ සොරබොර වැව දෙසට එළවා හැරීමට වන ජීවී නිලධාරීන් පිරිස කටයුතු කළහ.

එහිදී වන අලි රංචුවේ කොටසක් එක් දිශාවකට ගමන් කළ අතර තවත් කොටසක් හද්දත්තාව ඔය ඔස්සේ සොරබොර වැව දෙසට ගමන් කිරීමේදී නිලධාරීන් එම රංචුව පමණක් එළවා හැරි අතර, ගම්මානය මැද රැදී සිටියදී අනෙක් රංචුව එළවා හැරීම සඳහා අලි වෙඩි ප්‍රමාණවත් නොවන බව පවසමින් රාත්‍රිය උදාවෙත්ම ඔවූහු පිටව ගියහ.

වන ජීවී නිලධාරීන්ගේ මෙම ක්‍රියාව පිළිබඳ ගම්වාසීන් මහත් සේ අප්‍රසාදය පල කර සිටි අතර, එම නිලධාරීන් සෑම විටම සිදු කරන්නේ මෙවන් වූ ක්‍රියාවන් බවත්, පොඩි දුරක් අලි එළවා හැර වෙඩි ඉවර බව පවසමින් රාත්‍රිය උදාවෙත්ම නික්ම යන බවටත් ගම්මු චෝදනා කළහ.

මහියංගණ – රංජිත් කරුණාවිර
 

advertistmentadvertistment
advertistmentadvertistment