වන ජීවින් සුරකිමු

494

මාර්තු 03 ලෝක වන ජීවි දිනයයි

ලෝකයේ ස්වභාවික පරිසරය සංරක්ෂණය කර ගැනීමේ අවශ්‍යතාවය ලෝක ජනතාවට අවබෝධ කරවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ වාර්ෂික දින දර්ශනයේ ඒ සඳහා විවිධ දිනයන් වෙන් කර තිබේ. ඒ අනුව 2014 වසරේ මාර්තු මස 03 වන දින සිට සෑම වර්ෂයකම මාර්තු 03 දිනය ලෝක වනජීවී දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිත්‍ය වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

ලෝක වනජීවි සම්පත පිළිබඳව ජනතා අවධානය යොමු කිරීමේ මූලික අවශ්‍යතා දෙකක් හඳුනාගෙන ඇති අතර එයින් පළමු වැන්න වන්නේ මානවයාගේ පැවැත්ම උදෙසා වනජීවි සම්පත මගින් සිදු වන දායකත්වය පිළිබඳ අවධානය යොමු කිරීමයි. දෙවැන්න වනජීවි සම්පත අනීතිකව අසීමිතව භාවිතා කිරීම තුළින් මානවයාට සිදුවන බලපෑම පිළිබඳව අවධානය යොමු කර වනජීවි සම්පත දිගුකාලීනව තිරසර ලෙස සංරක්ෂණය කිරීම කෙරෙහි සියලු දෙනාගේ දායකත්වය ලබාගැනීමයි.

මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් ඉටු කරගැනීමේදි වනජීවි සම්පත අඩු වැඩි වශයෙන්ලොකු කුඩා සියලු දෙනාටම භාවිතා කිරීමට සිදු වේ. ආහාර, ඇඳුම් පැලඳුම්, ඉඳුම් හිටුම්, බෙහෙත් හේත් මේ සියල්ල සඳහා මිනිසා විසින් දෛනිකව දැනුවත්ව හෝ නොදැනුවත්ව වනජීවි සම්පත් භාවිතා කරනු ලබන අතර මෙයට අමතරව වෙනත් විවිධ අවශ්‍යතා සඳහාද නීත්‍යානුකූලව මෙන්ම නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ද වනජීවි සම්පත යොදා ගැනීමට මිනිසා උත්සාහ කරනු ලබන අවස්ථාවන් එමටය.

ලෝකයේ වනජීවි සම්පත සංරක්ෂණය කිරීම වෙනුවෙන් බිහි වී ඇති ප්‍රබල සම්මුතියකි සයිටීස් (CITES) සම්මුතිය. ලෝකයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින ජීවි විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව සම්මුතිය (Convention on International Trade of Endangered species) 1973 දී බිහි වන්නේ වනජීවි සම්පත ජාත්‍යන්තර වෙළඳාම සඳහා භාවිතා කිරීමේදී යම් යම් සීමා පනවා වනසත්ව සහ ශාක ප්‍රජාවේ පැවැත්ම තහවුරු කිරීමේ අරමුණිනි. එම සම්මුතියට වසර 40ක් පිරීම නිමිත්තෙන් 2013 දී බැංකොක් නුවරදී පාර්ශවීය රටවල්වල් 187 ක සහභාගීත්වයෙන් පැවැති සැසියේදී වාර්ෂිකව වනජීවි සම්පත පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය යොමු කිරීම සඳහා දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස එම වර්ෂයේම දෙසැම්බර් මස ජිනීවාහිදී පැවැති එක්සත් ජාතීන්ගේ 68 වන සැසිවාරයේදි මාර්තු 03 ලෝක වනජීවි දිනය ලෙස නිත්‍ය වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. එහිදී මිනිසාගේ ප්‍රයෝජනය සඳහා වනජීවි සම්පත දෛනිකව ලක්ෂ ගණන් විනාශයට පත්වීම පිළිබඳවත් මිනිසාගේ පැවැත්ම උදෙසා

වනජීවිගෙන් සිදුවන පාරිසරික, ජෛව විවිධාත්මක, අධ්‍යාපනික, පර්යේෂණාත්මක, විද්‍යාත්මක, ආර්ථිකමය, සමාජීයමය, සංස්කෘතිකමය, සෞන්දර්යාත්මක සහ විනෝදාත්මක වටිනාකම පිළිබඳවත් සැලකිල්ලට ගනු ලැබිණ.

මානව ක්‍රියාකාරකම් හේතුවෙන් අද බොහෝ වනජීවි විශේෂ ලොවින් වඳවිමේ තර්ජනයට මුහුණ පා තිබේ. විශේෂයෙන් වනාන්තර මිනිසුන් විසින් අත්පත්කර ගැනීම, ගිනි තැබීම, නීති විරෝධී ගස් කැපීම සහ වනාන්තර වගා කටයුතු වෙනුවෙන් යොදා ගැනීම, දඩයම ආදි විවිධ මානව ක්‍රියා හේතුවෙන් මෙලෙස ජීවී විශේෂ රාශියක් වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා සිටියි. ලෝකයේ වනසත්ව හා ශාක විශේෂ 8400ක් පමණ උග්‍ර ලෙස වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින අතර තවත් ජීවි විශේෂ 30,000ක් පමණ වඳවී යෑමේ තර්ජනයට වේගයෙන් ළඟා වෙමින් පවතී. මේ අනුව ලෝකයේ මිලියනයක් පමණ ජීවි විශේෂ තර්ජනයට ලක්ව ඇති බව සිතිය හැකිය. උග්‍ර ලෙස වඳවී යෑමේ තර්ජනයට ලක් වූ වනජීවී විශේෂ ආරක්ෂා කර ගැනීම කෙරෙහි ජනතා අවධානය යොමු කිරීමටත් ඒ අනුව එම ජීවි විශේෂයන්ගේ ස්වාභාවික වාසස්ථාන සංරක්ෂණය කිරීම සඳහා විධිමත් කතිකාවක් ගොඩනඟා ගැනීමත් අද දිනයේ අවශ්‍යතාවයකි.

ශ්‍රී ලංකාව ශාක සහ සත්ව විවිධත්වය අතින් කලාපීය මෙන්ම ගෝලීය වශයෙන් ඉතා ඉහළ ස්ථානයක සිටියි. ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ පිහිටි ජීවී විශේෂ ඝනත්වය වැඩිම රටක් ලෙස පිළිගනු ලැබේ. මෙරට සුපුෂ්පික ශාක, උභය ජීවින්, උරගයින් මෙන්ම ක්ෂිරපායි සත්ව විශේෂ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගනී. එසේම මෙහි පවත්නා උස් ශාක සහ පෘෂ්ඨ වංශිකයින් පිළිබඳව තවදුරටත් අධ්‍යනය කරන්නේ නම් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමේ හැකියාව පවතී. සමනලුන්, බත්කූරන්, ගොළුබෙල්ලන් සහ ඇල්ගි විශේෂ ද රාශියක් මෙහි පවත්නා අතර කෘමි විශේෂ පිළිබඳව ද වැඩි අවධානයක් යොමු විය යුතුව තිබේ. උඩුවියන් ආශ්‍රිතව ජීවත් වන සත්ව විශේෂ රාශියකට ද ශ්‍රී ලංකාව වාසස්ථාන සපයයි. මෙරට සිදු වන සීඝ්‍ර වන හානිය හේතුවෙන් ඇතැම් ජීවී විශේෂයන් හඳුනාගැනීමටත් පෙර මෙරටින් විනාශ වී ගොස් ඇතැයි විශ්වාස කෙරේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මගින් මෙරට වනජීවින් සහ ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා වනවා මෙන්ම වනජීවි අපරාධ ද පාලනය වී තිබේ.

● හසිනි සරත්චන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment