වන සතුන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී නව හැවිරිදි දරුවා මරුට

251

අසල්වැසි මිතුරෙකු සමඟ සෙල්ලම් කරමින් සිටි නව හැවිරිදි දරුවෙකු විදුලි රැහැනක පැටලී විදුලිසැර වැදීමෙන් පෙරේදා (24දා) සවස මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නුවන් නෙත්සර අවු (09) නමැති මල්වත්තාවල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.

මියගිය ළමයාගේ මව කුඩා කාලයේදී ඔවුන් හැර ගොස් ඇති අතර අවුරුදු හතහමාරක සිට ළමයා හදාවඩාගෙන ඇත්තේ කුලීවැඩ කරමින් පියා විසිනි.

ඉකුත් 24 වෙනිදා ළමයාගේ පියා දරුවා අසල්වැසි නිවසක නතර කර කුලී වැඩට ගොස් ඇත.

මියගිය ළමයා අසල්වැසි නිවසේ ළමයා සමඟ සෙල්ලම් කරමින් සිටියදී වත්ත පහළ පිහිටි කොස් ගසක් යටට ගොස් ඇත.

එහිදී වන සතුන්ට අටවා තිබූ විදුලි රැහැනක ළමයා පැටලී විදුලිසර වැදී ඇත.

ළමයාගේ මිතුරා විසින් නුවන් අයියා කොස් ගස අසල වැටී දඟලනවා යැයි මවුපියන්ට පැවසීමෙන් පසුව ඔවුන් ළමයාව වැල්ලවාය මූලික රෝහලට ඇතුළත්කර ඇතත් ඒවන විටත් ළමයා මියගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

විදුලි රැහැන් ඇද ඇති අසල්වැසි නිවසේ අයිතිකරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී.එම්. රත්නායක මහතාගේ උපදෙස් පිට පොලිස් සැරයන් රාජරත්න මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment