වඳුරන් සඳහා වෙනම රාජ්‍යයක් දිය යුත්තේ ඇයි?

788

ප්‍රභාකරන් තවමත් ජීවත්ව සිටින බවත් සුදුසු අවස්ථාවේ යළිත් මහජනයා වෙත පැමිණෙන බවත් තමිල්නාඩු දෙමළ ජාතික ව්‍යාපාරයේ නායක පී. නැදුමාරන් සඳහන් කර ඇතැයි ඊයේ මේ පුවත්පත වාර්තා කළාය. උග්‍ර දෙමළ ජාතිවාදී දේශපාලනඥයකු මෙන්ම සිය බඩගෝස්තරය සඳහා දෙමළ ජාතිවාදය පාවිච්චි කරන නැදුමාරන් මරු කියවන බව පෙනේ. සිංහලයන් මහින්ද රාජපක්ෂට එරෙහිව වීදි බසින විට ප්‍රභාකරන් ද ඉදිරියට පැමිණෙනු ඇති බව නැදුමාරන් විසින් තවදුරටත් පවසනු ලැබ ඇත. මේ හාදයාට පිස්සුද නැත්නම් එය ඔහුගේ හැටිද යන්න අපට නොතේරේ. රාජපක්ෂවරුන්ට එරෙහිව මේ රටේ සිංහලයෝ මීට හත් අට මාසයකට පෙර වීථි බැස්සාහ. ප්‍රභාකරන් ජීවතුන් අතර ඉන්නවා නම් නැදුමාරන්ගේ මතය සහ තර්කයට අනුව ප්‍රභාකරන් මෙයට සහභාගි විය යුතුය. එහෙත් එල්.ටී.ටී.ඊ. එකත් නැති එකේ මොන ප්‍රභාකරන් කෙනෙක්ද? ඔහුගේ අමුඩය ගැසූ මළ සිරුර පුළුස්සා අළු කිසියම් රහසිගත ප්‍රදේශයකට මුදාහරින ලදි. මේ අළු මුදාහරින ලද්දේ මහා සාගරයට නම් ඒවා අනුභව කළ මාළුන්ට තවමත් බඩ යනවා ඇත. නැදුමාරන් යනු කොටි සංවිධානයට බොහෝ සෙයින් ආධාර කළ පුද්ගලයෙකි. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර කැඩී වෙන්වී වෙනම රාජ්‍යයක් බවට පත්වනු දැකීම ප්‍රභාකරන්ගේත් නැදුමාරන්ගේත් ලොකුම සිහිනය විය. මේ සිහිනය දුටු අයගෙන් 99% ක්ම අද ජීවතුන් අතර නැත.

මේ සිහිනය සැබෑවනු දැකීමේ අපේක්ෂාවෙන් සිටි ඇන්ටන් බාලසිංහම් සහ තමිල් සෙල්වම් ප්‍රභාකරන් මැරෙන්නට පළමුව මිය ගිය බැවින් සිය නායකයාගේ අවසානය පිළිබඳ ආරංචියවත් දැනගැනීමට ඔහුට නොහැකි විය. ඊළාම් සිහිනය යනු මේ රටේ සිටින සහ ඉන්දියාවේ සිටින අන්තවාදීන් දුටු භයානකම සිහිනය වේ. අද කොටි තර්ජනයක් නැති අතර ලොව පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකාව සමග නැවත එක්වී අලුතින් ජීවිත පටන් ගන්නට තීරණය කර තිබේ. එවැනි මොහොතක නැදුමාරන් මරු කියවන්නේ නම් එය බරපතළ රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඔහුට ප්‍රතිකාර කළ යුතුය. මිය ගිය මිනිසුන් පිළිබඳ මෙවැනි ගොන් කතා ඕනෑවටත් වඩා මේ සමාජයේ තිබේ. දෙවැනි ලෝක මහා සංග්‍රාමය පරාජයට පත්වීමෙන් පසු හිට්ලර් මිය නොගිය බව අදහන ඔල්මාදකාරයෝ රැසක්ද ලෝකයේ වෙසෙති. ඔවුන් කියන්නේ හිට්ලර් බෙල්ජියමට පැන ගොස් තවත් බොහෝ කාලයක් ජීවත්ව මිය පරලොව ගිය බවය. එහෙත් හිට්ලර්ගේ බංකරය අසල තිබී ඔහුගේ පිළිස්සුණු සිරුරේ අස්ථි කොටස් සොයා ගැනීමට හැකි විය. DNA තාක්ෂණය බිහිවීමෙන් පසු එම අස්ථි කොටස් හිට්ලර්ගේම බවට ඔප්පු කරන ලදි. නැදුමාරන් වැනි පැරණි දේශපාලනඥයකු මේ ආකාරයෙන් බයිලා කීම ඉන්දියාවට කරන ලජ්ජාවකි. මේ අසරණ මනුස්සයා රෝහලකට ගෙන යන ලෙස අපි තමිල්නාඩුවෙන් ඉල්ලමු.

මේ රටේ සිටි බලගතු දේශපාලන පවුලක බාල පුතාගේ සුරතල් සුනඛයාගේ ගෙලෙහි රන් පවුම් 90 ක මාලයක් ඇතැයි ජාතික ජනබලවේගයේ අනුරාධපුර නගරාධිපති අපේක්ෂක සහ හිටපු ජේ.වී.පී. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කර තිබේ. ඒ අතරම තම නිවසේ සුරතලයට ඇති කළ සුනඛයා හොරකම් කරගෙන ගිය ජේ.වී.පී.කාරයෙක් ඡන්දය ඉල්ලන බව නාමල් රාජපක්ෂ පවසා තිබේ. එසේම සිංහලයන් බිහිවුණේ දෙමළ ජනතාවගෙන් බව උතුරු පළාතේ හිටපු මහ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේශ්වරන් ප්‍රකාශ කර තිබේ. මෑතක සිදුකර ඇති DNA පරීක්ෂණයක් මගින් එය තහවුරු කර ඇති බව හෙතෙම පවසයි. බල්ලාගේ කරේ ඇති රත්තරන් චේන් එක පිළිබඳ ප්‍රශ්නයත් බල්ලා සොරකම් කරගෙන ගිය පුද්ගලයා ඡන්දය ඉල්ලීමත් පිළිබඳ පුවත් දෙක පැත්තකින් තැබීමටත් විග්නේශ්වරන්ගේ කතාව පිළිබඳ කරුණු ටිකක් කීමටත් අපි තීරණය කළෙමු. මන්ද පෙරකී බලු තඩියාගේ කරේ රන් පවුම් 90 ක චේන් එකක් නැති බව තහවුරු වුණොත් එය වසන්ත සමරසිංහගේ දේශපාලනයට හොඳ නැත. එසේම ජේ.වී.පී. එකෙන් ඡන්දය ඉල්ලන පුද්ගලයා නාමල්ගේ බල්ලා සොරකම් කළ පුද්ගලයා නොවේ නම් එය නාමල්ගේ දේශපාලනයට හොඳ නැත. එබැවින් අපි විග්නේශ්වරන් කියන ජීව විද්‍යාත්මක කතාව පිළිබඳ තවදුරටත් උනන්දු වීමට අපි තීරණය කළෙමු.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දවසක ඒකීය රාජ්‍ය සංකල්පයක් යෝජනා කළේය. විග්නේශ්වරන් මේ සංකල්පයට සම්පූර්ණයෙන්ම විරුද්ධ අතර ඔහු කියන්නේ උතුරු නැගෙනහිරට පූර්ණ ෆෙඩරල් පාලන ක්‍රමයක් අවශ්‍ය බවය. එසේම එම පළාත්වලට පොලිස් හා ඉඩම් බලතල අවශ්‍ය බවය. දැනගන්නට ඇති පරිදි විග්නේශ්වරන් ලොක්කා මේ අදහස් පළකර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමග පැවැති සාකච්ඡාවකදීය. සිංහලයන් පැවතෙන්නේ ඉන්දියානුවන්ගෙන් යයි කියූ ඔහු මිනිසුන් පැවත එන්නේ වඳුරන්ගෙන්ය යන මතය පිළිගන්නවාද? මනුෂ්‍ය වර්ගයාගේ සමීපතමයන් අප්‍රිකානු මහාද්වීපයේ සෝමාලියාවෙන් මතුවුණු බවත් ඒ මිනිසුන් පරිණාමය වුණේ වඳුරන්ගෙන් බවත් කියන මතය විග්නේශ්වරන් පිළිගන්නවාද? මේ විද්‍යාත්මක මතය ඉතාම අලුත් දත්තයකි. සෝමාලියාවෙන් මතුවූ මනුෂ්‍යයා මීට අවුරුදු දහස් ගණනකට පෙර ලෝකයේ රටවල් අතර පයින්ම ගමන් කළ බවත් එම ගමනේදී එක් එක් රටවල ජනාවාස පිහිටුවාගත් බවත් කියනු ලැබේ. අතීත ඉන්දියාවේ ද මනුෂ්‍යයන් සමග සමාන්තරව කටයුතු කළ වානරයන් ගැන දැනගැනීමට තිබේ. හනුමා යනු මෙයින් එක් වානරයෙකි. මේ වානරයා මේ රටට කළ Damage එක සුළු පටු නැත. රාම කුමාරයා සමග ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ වඳුරු හමුදාවක නායකයා වූ හනුමාන් ද ඉතා හොඳින් පුරුදු පුහුණු කළ වානරයකු බව පෙනේ. ඒ නිසා විග්නේශ්වරන්ට වෙනම රාජ්‍යයක් ලබා දීමට පෙර වඳුරු, ගෝරිලි, බැබුන් වැනි අයටද වෙනම රාජ්‍යයක් ලබාදිය යුතු බව අපි යෝජනා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment