වඳුරාට තුවක්කු ලැබීම

1425

88 – 89 භීෂණ කාලයේදී වීරගුල පොලිසියේ ස්ථානාධිපති විසින් ජවිපෙ සැකකරුවන් සේ හඳුනාගන්නා ලද තරුණ තරුණියන් පිරිසක් වවුල්කැලේ නමැති කැලෑ මණ්ඩියට ගෙන ගොස් වෙඩි තබා මරා පුළුස්සා දැමුවේය. මරා දැමීමට පෙර ඇතැම් තරුණියන් දූෂණය කරන ලදි. මේ සිද්ධිය පසුව හෙළිවූ අතර වවුල්කැලේ ඕඅයිසීගේ වැඩ තහනම් කර ඔහුට විරුද්ධව නඩුවක් ගොනුකරන ලදි. නඩුව ගම්පහ උසාවියේ විභාග වෙමින් පැවැති එක් දවසක හදිසියේම උසාවියට කඩා පිනූ පුද්ගලයෙක් විත්තිකාර ඕඅයිසීටත්, ඔහුගේ බිරිඳගේ පියාටත් වෙඩි තබා මරා දමා පැන ගියේය. මේ වෙඩික්කරු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයෙකු ලෙස හඳුනා ගන්නා ලදි. වෙඩි තැබීමෙන් පසු කෙළින්ම කටුනායක ගුවන්තොටුපළ බලා පිටත් වූ වෙඩික්කරු ගුවන් යානයක නැඟී ජපානය බලා පිටත් විය. ඔහුගේ මයිල් ගහක්වත් අල්ලා ගැනීමට පොලිසියට බැරිවිය. මේ සිද්ධිය යම් ආකාරයකින් පසුගියදා ගල්කිස්ස උසාවියේදී පුනරුච්චාරණය විය. එය මෙසේය. ‘පෙරේදා පස්වරුවේ ගල්කිස්ස උසාවියේ නඩුවක් විභාග වෙමින් පැවැති අවස්ථාවක එහි කඩා පිනූ නාඳුනන තුවක්කුකරුවෙක් එම නඩුවේ විත්තිකරුට වෙඩි තබා පැන ගියේය. විත්තිකරු වෙඩි පහරින් නොමැරී බේරුණේ අනූනවයෙනි. ශ්‍රී ලංකාවේ තුවක්කු සංස්කෘතිය ඉතා වේගයෙන් සංවර්ධනය වෙන බව පෙනේ. රුපියල් පනස් දෙදහස් පන්සීයකට බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් විවෘත වෙළෙඳ පොළෙන් මිලදී ගැනීමේ අවස්ථාව ලාංකික ජනයාට උදාවී තිබේ. එසේම ශ්‍රී ලංකාව ඉතා වේගයෙන් සාපරාධී රාජ්‍යයක් බවට පත්වෙමින් පවතී. අඩුම ගණනේ එක දවසකට එක මිනිහෙකු මැරීමේ ප්‍රවණතාවක් රට තුළ හටගෙන ඇත.

පසුගියදා අහංගම හෝටලයකදී තිදරු පියෙක් ඝාතනය කරන ලදී. එදිනම ජාඇල පැත්තේ ව්‍යාපාරිකයෙකු විසින් මරා විකුණනු ලැබීම සඳහා ඌරෙකු මිලදී ගැනීමට කිසියම් තැනකට ගියේය. එවිට කිසියම් පිරිසක් පැමිණ ඌරු මස් වෙළෙන්දාගේ අතපය බැඳ ඔහුට පහරදී මුදල් කොල්ලකා මරා දැමීය. මේ කියන දවසේම ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ජීවත් වූ පියෙක් සිය පුත්‍රයා සමග එක්ව සිය දියණියගේ සැමියා ඝාතනය කළේය. මියගිය තැනැත්තා දෙදරු පියෙකි. අප ඔබට කියන මීළඟ සිද්ධිය මිනී මැරුමකටත් එහි ගිය කාලකණ්ණි සිද්ධියකි. යාපනයේ පුන්ගුඩිතිව් ප්‍රදේශයේ ජීවත් වන තරුණයන් තිදෙනෙක් අසරණ බල්ලෙකු අල්ලා ඒ සතාට පොරවකින් කොටමින් වධ දී මරා එම සිදුවීම් පෙළ වීඩියෝ කර අන්තර්ජාලයට දැමුවේය. දැන් මේ තිරිසනුන් තිදෙනා පොලිස් අත්අඩංගුවේ පසුවෙති. මෙය මිනී මැරුමකට වඩා භයානක සිද්ධියක් බව අපගේ මතයයි. සුනඛයා අසරණ සතෙකි. මෙවැනි සතෙක් කිසිදු හේතුවක් නැතිව ඝාතනය කරන්නේ අන්ත තිරිසන්නුය.

මෙයට අවුරුදු 10 කට පෙර ශ්‍රී ලංකාවේ පාතාලය ඉතා දරුණු ලෙස හිස ඔසවන්නට පටන් ගත්තේය. පාතාලකරුවන් පාරවල් දිගේ වෙඩි තබා ගත්හ. ඒ අතර ක්‍රියාත්මක වූ මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව එවකට ආරක්‍ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්‍ෂ ලවා පාතාලය සුද්ධ කළේය. ඕනෑම වන ලැහැබක් ඉතා කෙටි කලකින් වන ගහනයක් බවට පත්වේ. පාතාලය බිමට සමතලා කළ දින ස්වල්පයකට පසු නැවත වරක් එය මතුවිය. එවරද එය සුද්ධ කරන ලදී. ඉන්පසු යහපාලන ආණ්ඩුව බලයට පත්වන අතර පාතාලයේ හිස එසවීමක් වැඩි මනක් තිබුණේ නැත. මෙහිදී පාතාලය හිස එසවීමෙන් අප අදහස් කරන්නේ පාතාල කණ්ඩායම් සිදුකරන වෙඩි තැබීම් සහ මිනී මැරුම්ය. යහපාලන කාලය තුළ කුඩු ව්‍යාපාරය ඉතා හොඳින් හිස එසවූ නමුත් පාර දිගේ මිනී මරා ගැනීමක් සිදුවූයේ නැත. මේ වන විට පාරවල් දිගේ වෙඩි තබා ගැනීම් නැවත වතාවක් ආරම්භ වී තිබේ. ආණ්ඩුව මුහුණ දී ඇති කලබලකාරී තත්ත්වය නිසා පාතාලය ගැන බැලීමට ආණ්ඩුවට වෙලාවක් නැතුව ඇති. මෙහිදී අප මතක තබා ගත යුතු වැදගත් කාරණය වන්නේ ආණ්ඩුව තවදුරටත් පාතාලය දෙස බැලීමෙන් වැළකී සිටියොත් තව ස්වල්ප කලකට පසු පාතාලය ආණ්ඩුව බලා ගැනීමට සූදානමින් සිටින බවය.

ශ්‍රී ලංකාවට ගිනි අවි සංස්කෘතියක් අතීතයේදී තිබුණේ නැත. ගිනි අවි සංස්කෘතිය තිබුණේ වැදි ජනතාවට පමණි. වැදි ජනතාවට තුවක්කු සංස්කෘතිය එන්නේ මෙරටට ගිනිඅවි හඳුන්වාදුන් පෘතුග්‍රීසි ජාතිකයන් වෙතිනි. දඩයක්කරුවන් ලෙස ජීවිතය ගත කළ වැදි ජනතාවට පතරොම් දමන ලයිසන් තුවක්කු මෙන්ම ලයිසන් නැති බේත් කොටන තුවක්කුද තිබිණ. ඔවුන් මේ තුවක්කු පාවිච්චි කර සිදුකරේ ස්වකීය කුසගින්න නිවා ගැනීම සඳහා සතෙකු දඩයම් කිරීමට පමණි. එහෙත් වැදි ජනතාව කවදාවත් සතුන් තොග පිටින් මැරුවේ නැත. ඔවුන් විසින් මරා දමන ලද්දේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය මස් ප්‍රමාණය ලබා ගැනීම සඳහා සුදුසු සතුන් පමණි. එක්දහස් නවසියයෙන් පසු සාමාන්‍ය ජනතාව අතරද තුවක්කු ගැවසෙන්නට පටන් ගත්තේය. 1971 වන විට ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකරුවන් අතට තුවක්කු ගියේය. 1988-89 වන විට බොහෝ පාර්ශ්ව අතට බහුල වශයෙන් තුවක්කු පත්විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් පාරවල් දෙපස මළ මිනී දැකගත හැකි විය. වඳුරන් අතට දැලි පිහි පත්වීම ඉතා භයානක කාරණයකි. වඳුරා එම දැලි පිහියෙන් අනුන්ගේ බෙල්ල මෙන්ම තමන්ගේ බෙල්ලද කපා ගැනීමට ඉඩ තිබේ. ඒ ආකාරයෙන්ම සාමාන්‍ය ජනතාව අතට තුවක්කු පත්වීමේ විශාල අවදානමක් ඇත. විශේෂයෙන් මේ රට සමාජය අතට තුවක්කුවක් ලැබීම සමාන වන්නේ වඳුරන් අතට දැලි පිහි නොව තුවක්කු ලැබීමටය.

advertistmentadvertistment
advertistmentadvertistment