වමෙන් ආ පිරිසිදු ජාතික නායකයා නව අගමැති දිනේෂ්

129

මෙරට සමාජවාදයේ පියා වන, බොරළුගොඩ සිංහයා යන විරුදාවලිය ලැබූ, පිලිප් ගුණවර්ධනයන් සහ වමේ රතු කුසුම ලෙස හඳුන්වන කුසුමා ගුණවර්ධනයන්, අභිනව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ මාපිය දෙපළය. 1949 මාර්තු 02 වැනිදා උපන්, දිනේෂ් ගුණවර්ධනයන්, පිලිප් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු 1973 සිට මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරමින් සිටී. ලොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්‍ෂයකට වැඩිම කාලයක් නායකත්වය දෙන, ජීවතුන් අතර සිටින නායකයාද ඔහුය.

දිනේෂ් ගුණවර්ධනයන් පාසල් අධ්‍යාපනය ලැබුවේ, කොළඹ රාජකීය විද්‍යාලයෙනි. පසුව ව්‍යාපාර පරිපාලනය, කළමනාකරණය ආශ්‍රිත මෙන්ම ව්‍යාපාර පරිපාලනය, කළමනාකරණය සහ ජාත්‍යන්තර ප්‍රවාහනය පිළිබඳ උපාධි හිමිකර ගත්තේ, නෙදර්ලන්ත ව්‍යාපාරික විශ්වවිද්‍යාලයෙන් හා ඔරිගන් විශ්වවිද්‍යාලයෙනි.

දිනේෂ් ගුණවර්ධනයන් විවාහ වූයේ රමණි වත්සලා කොතලාවල සමගය. 1980 මැද භාගයේ ඇය හදිසියේ මියගියද ආදරණීය දරු දෙදෙනා, යදාමිණි හා සංඛපාලි සමග ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙමින්, බුදු සසුන, රට ජාතික වෙනුවෙන් වන කැපවීම ඔහු මඳකින් හෝ අඩු නොකළේය.

අමාත්‍යවරයකු වූ ඉන්දික ගුණවර්ධන, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරූ ගීතාංජන ගුණවර්ධන, කොළඹ පුරපති වූ ප්‍රසන්න ගුණවර්ධන, ලේඛිකා ලක්මාලි ගුණවර්ධන ඔහුගේ සහෝදර සහෝදරියන්ය. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1983 අතුරු මැතිවරණයෙන් මහරගම මන්ත්‍රීවරයා ලෙස ඓතිහාසික ජයග්‍රහණයක් ලබමිනි.

එතැන් පටන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔහු, ප්‍රවාහන, ප්‍රවාහන හා පරිසර, නාගරික සංවර්ධන හා ජලසම්පාදන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය, නාගරික සංවර්ධන හා පූජනීය ප්‍රදේශ සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන, මහ නගර හා බස්නාහිර සංවර්ධන, විදේශ කටයුතු හා කුසලතා සංවර්ධන සහ රැකියා හා කම්කරු විදේශ කටයුතු, අධ්‍යාපන, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ධුරයද දැරීය.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තුවේ සභානායක ධුරයන්ද, ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීමේ පාර්ලිමේන්තු විශේෂ, කාරක සභා තුනක සභාපති ධුරද දැරූ ඔහුට පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ ඇත්තේ හසළ දැනුමක් සහ අවබෝධයකි.

වමෙන් ආ පිරිසිදු ජාතික නායකයා නව අගමැති දිනේෂ්

ඔහුගේ පුත්, යදාමිණි ගුණවර්ධන මහතාද, මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයෙකි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ, ජාතික දේශපාලනයේ සැමවිට ම ප්‍රගතිශීලී පිලේ සිටගනිමින්, තනතුරුවලට ගිජු නොවී, ඍජුව කටයුතු කරමින්, සම්බුදු සසුන, ජාතිය, ඒකීය රට, පොදු ජනයා සුරැකීමේ නොසැලෙන දර්ශනයෙන් යුතුව ඉදිරියට යන දිනේෂ් ගුණවර්ධනයන්ගේ ජාතික නායකත්වයට, හිමිව ඇත්තේ සුවිශේෂී ස්ථානයකි.

ජාතික ඇඳුමින් සැරසී විදේශ අමාත්‍යවරයා ලෙස ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ‘ශ්‍රී ලංකාව 30/1 හා ඊට අදාළ යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් වහාම නිල වශයෙන් ඉවත් වන බව දැනුම් දීමද’ එම නායකත්වය ජාත්‍යන්තරය වෙත ගෙනගිය සුවිශේෂී අවස්ථාවක් විය.

දීර්ඝ මහන්සියක ප්‍රතිඵලයක් ලෙස, ඡන්දයට හැඳුනුම්පත් අනිවාර්ය කරදීමට ද දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු කමිටුවට හැකියාව ලැබිණි. වසර 24ක් තිස්සේ නොවිසඳී පැවති ගුරු විදුහල්පති ගැටලුවට ඔහු අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී විසඳුම් ලබාදුන් අතර 2021 වසරේදී උපාධිධාරීන් 51000 ක් ස්ථිර කරනු ලැබුවේ ඔහු සභාපතිත්වය දැරූ කැබිනට් අනුකාරක සභාවේ නිර්දේශ මතය.

මෙරට දෙවරක් ජනාධිපති වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන්, මහින්ද රාජපක්‍ෂ මහතා 2015 දී පරාජය වූ අවස්ථාවේ, නුගේගොඩ ඓතිහාසික ජන රැලියට, ඒකාබද්ධ විපක්‍ෂයට නායකත්වය දෙමින් පාර්ලිමේන්තුවේත් ඉන් පිටදීත් මෙහෙය වූ සටන, 1987 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මහා භීෂණය මැද ගෙනගිය සටන, එකල තහනම් කළ මැයි දිනය වෙඩි ප්‍රහාර මධ්‍යයේ සැමරූ ආකාරය මෙන්ම 1988 ජනාධිපතිවරණයේදී සිරිමාවෝ මැතිනිය සමග සිටි එකම පක්‍ෂය වූ ම.එ.පෙ. නායකයා ආදී ලෙස, මෙරට දේශපාලන ඉතිහාසය තුළ දිනේෂ් ගුණවර්ධනයන් සම්බන්ධයෙන් නොමැකෙන සටහන් බොහෝය.

ඒ වගේම ඔහුගේ කඳවුර රට තුළ සුවිශාල අසීරුතාවකට පත්ව තිබූ අවස්ථාවක, පොදුජන පෙරමුණ ඇතුළු වමේ ඒකාබද්ධ මැයි රැලියකට නායකත්වය දෙමින් පසුගිය 2021 මැයි පළමුවනදා නුගේගොඩදී ඓතිහාසික රැලියක් පැවැත්වූයේ කම්කරු නායකයකු ලෙස අතීතයේ සිට ලැබූ පන්නරය සහ ජනතා ආදරය මොනවට විදහා දක්වමිනි.

අභිනව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සම්බුද්ධ ශාසනයේත්, රටේ ඒකීයභාවයේත්, ජාතියේත්, පොදු ජනතාවගේත් උන්නතිය හා සුරක්ෂිතභාවය පිණිසත්, කම්කරු නායකයකු ලෙස, ජාතික නායකයකු ලෙස, පතිරූප දේශයක් උදෙසා අඛණ්ඩ දේශපාලන ගමනක නිරතව සිටින්නේය. පිරිසිදුකම, විශ්වාසය, එඩිතරකම, ජනතා ආදරය ඔස්සේ යන ඒ ගමනට සුබ පතමු.

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment