වයඹ වෛද්‍ය පීඨ සායනික පුහුණුවට කුරුණෑගල රෝහල වැදගත් වන්නේ ඇයි….?

459

ශ‍්‍රී ලංකාවේ නව වන වෛද්‍ය පීඨය ලෙස වයඹ වෛද්‍ය පීඨය, කුලියාපිටිය ලබුයාය ප‍්‍රදේශයේදී ආරම්භ කරන ලද අතර දැනට එහි ශිෂ්‍ය කණ්ඩායම් හතරක් අධ්‍යාපනය ලබති. වයඹ වෛද්‍ය පීඨය ආසන්නයේ ඇති කුලියාපිටිය රෝහල මෙම සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව ලබාදීම සඳහා ශික්ෂණ රෝහලක් ලෙස නම්කර තිබුණද එහි පවතින සීමාසහිත පහසුකම් සලකා බලන විට එය මේ වන විට විශාල භෞතික හා මානව සම්පත් කිසිත් නොමැති නාම පුවරුවකට සීමාවී ඇති ශික්ෂණ රෝහලක් ලෙස පවතී. එවැනි රෝහලක් ශික්ෂණ තත්ත්වයට පත්කිරීම සඳහා අති විශාල මුදල් සම්භාරයක් වැය කළ යුතු අතර ඒ සඳහා වසර ගණනාවක්ද ගතවනු ඇත.

තවද, සායනික පුහුණුව සඳහා වූ සියලූ අවශ්‍යතා කුලියාපිටිය රෝහල මගින් සපුරාලීම මේ අවස්ථාවේ ප‍්‍රායෝගික නොවන බව මේ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සියලූ පාර්ශ්වයන්ගේ ද මතය වී ඇත. මෙම කරුණු සලකා බලා වයඹ වෛද්‍ය පීඨ සිසුන් සඳහා සායනික පුහුණුව ලබාදීම, අදාළ පළාතේ මෙන්ම ශ‍්‍රී ලංකාවේ විශාලතම රෝහලක් වන කුරුණෑගල පළාත්බද මහා රෝහලේ සිදු කිරීමට මෑතකදී තීරණය කරන ලද අතර ඒ සඳහා කුරුණෑගල රෝහල, ශික්ෂණ රෝහලක් ලෙස පත් කරන ලදි.

වෛද්‍ය පීඨයක අවසන් වසර සිසුන් සිය සායනික කටයුතු මහාචාර්ය ඒකකයක (Professorial Unit) සිදු කළ යුතු අතර මහාචාර්ය ඒකකයට අවශ්‍ය වන විශේෂඥ වෛද්‍ය සේවාවන්, රෝගීන්, වාට්ටු ඇතුළු මානව සම්පත් කුරුණෑගල රෝහලේ ප‍්‍රශස්ත තත්ත්වයෙන් පවතී.

ඒ අනුව මූලික පියවරක් වශයෙන් කුරුණෑගල රෝහල, ශික්ෂණ රෝහලක් බවට පත්කර මාස 04 ක මූලික සායනික පුහුණුවකින් පසු සමස්ත සායනික පුහුණුවෙන් 80% ක ප‍්‍රමාණයක් එම රෝහල තුළ සිදුකිරීම සඳහා එකඟතාවට පැමිණුනි. ඒ අනුව 2022 ජනවාරි මස 24 වන දින කුරුණෑගලදී ශික්ෂණ රෝහලේදී වයඹ වෛද්‍ය පීඨයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම සඳහා සායනික පුහුණුව ආරම්භ කිරීමට කටයුතු කර තිබියදී දේශපාලන හා ව්‍යාපාරික අරමුණු මත, කුරුණෑගල රෝහල නැවත පළාත්බද මහ රෝහලක් බවට තත්ත්වයෙන් පහත හෙළීමේ කූට උත්සාහය හේතුවෙන් සිසුන්ගේ සායනික කටයුතු දින නියමයන් නොමැතිව කල් දමා ඇත.

ශික්ෂණ රෝහලකට අවශ්‍ය සියලූ සුදුසුකම් උපරිම ලෙස සපුරා ඇති රෝහලක්, පළාත්බද රෝහලක් ලෙස පහතට හෙළීම විමතියට කරුණකි. මෙය වෛද්‍ය සිසුන් ලෙස අප තුළ දැඩි කනස්සල්ලක් ඇති කිරීමට මෙන්ම ඉදිරියේදී වයඹ වෛද්‍ය පීඨ උපාධියේ ප‍්‍රමිතිය හා ගුණාත්මක බව (Accreditation) තීරණය කිරීමේදී අන්තර්ජාතික වශයෙන් ලැබිය යුතු පිළිගැනීම අහිමිවීමේ අවදානමට මුහුණ දීමටද සිදුවීම මත සිසුන්ට සිදුවී ඇත්තේ බලවත් අසාධාරණයකි.

එලෙසම වෛද්‍ය උපාධියේ සම්පූර්ණ කාලය වසර 05 ක් පමණක් වූවත්, මේ වන විටත් රටේ ඇතිවූ විවිධ වූ තත්ත්වයන් හේතුකොට ගෙන වයඹ වෛද්‍ය පීඨ සිසුන්ගේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ගතකල යුතු කාලය වසර 06 ක් දක්වා දීර්ඝ වී අවසන්ය.

සිසුන්ගේ අවශ්‍යතාව මත ශික්ෂණ තත්ත්වයට උසස් කරන ලද කුරුණෑගල රෝහල නැවතත් පළාත්බද මහ රෝහලක් බවට පත් කිරීමේ මෙම කූට උත්සාහය නිසා සිසුන්ගේ සායනික පුහුණුව සම්පූර්ණයෙන්ම ඇනහිටීම හේතුවෙන් වෛද්‍ය උපාධිය සඳහා කාලය තව තවත් දිනෙන් දින දීර්ඝ වෙමින් පවතින්නේ සිසුන් මේ වන විටත් මුදල් ගෙවා වෙන්කරගත් නේවාසිකාගාරවලට සිසුන් නේවාසිකව රැඳී නොසිටිත්දීත් දිගින් දිගටම මාසික ගෙවීම් සිදුකරන තත්ත්වයකදීය.

වෘත්තීය ආරම්භයට පෙර පමණක් වසර 30 කට ආසන්න කාලයක් තම ජීවිතය අධ්‍යාපනය වෙනුවෙන්ම කැපකරන ලොව අති දුෂ්කරම උපාධියක් හදාරමින් ගුණාත්මක සෞඛ්‍ය සේවයක් රට තුළ ඉදිරියටත් තහවුරු කිරීමේ අරමුණින් තම අධ්‍යාපනය හදාරන වෛද්‍ය සිසුන්ගේ අනාගත සාර්ථකත්වය මෙම තාක්ෂණික පදනමක් නොමැති දේශපාලනික මැදිහත්වීම් නිසා හෑල්ලූවට ලක්වෙමින් පවතී.

මෙම අවාසනාවන්ත තත්ත්වය මගහරවා ගෙන වයඹ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යයන හා සායනික කටයුතු විධිමත්ව හා නිසි ප‍්‍රමිතියෙන් යුතුව පවත්වා ගෙන යෑම සඳහා හැකි ඉක්මනින් කුරුණෑගල මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස ස්ථාපිත කිරීම හා අවසන් වසර වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණු කටයුතු සඳහා අත්‍යවශ්‍ය මහාචාර්ය ඒකකය (Professorial Unit) පිහිටුවීම සිදු කළ යුතු වන අතර වෛද්‍ය සිසුන්ගේ පළමු කණ්ඩායම නොපමාව කුරුණෑගල මහ රෝහලේ සායනික පුහුණුව සඳහා අනුයුක්ත කළ යුතුය.

ඉහත කරුණු පිළිබඳව අවධානය යොමුකර වයඹ වෛද්‍ය පීඨය ශ‍්‍රී ලංකාවේ අති සාර්ථක කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස පවත්වා ගෙන යෑම සඳහා තම දායකත්වය ලබාදෙන ලෙස වගකිව යුතු සියලූ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

කුරුණෑගල ශික්ෂණ රෝහල වයඹ වෛද්‍ය පීඨයට අහිමි කළහොත් සිදුවන ප‍්‍රතිවිපාක

2025 World Federation of Medical Education මගින් සිදුකිරීමට සැලසුම් කර ඇති ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය පීඨවල ප‍්‍රමිතිය, පිළිගැනීම (Accreditation) නිර්ණය කිරීමේ ක‍්‍රියාවලියේ දී වයඹ වෛද්‍ය පීඨයට එම පිළිගැනීම අහිමි වීමට ඉඩ තිබේ.

ඊට හේතුව වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතීන් (Minimum Standards of Medical Education) සම්පූර්ණ කිරීමට කුලියාපිටිය මූලික රෝහලේ මානව සම්පත් Human Resources, රෝගීන් සංඛ්‍යාව සහ රෝගී විවිධත්වය (patients number and variety) ඇතුළු සියලූම සාධක ප‍්‍රමාණවත් නොමැති වීමයි.

මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය සේවාවන්, රෝගීන් සහ වාට්ටු සංඛ්‍යාව, ඇතුළු මානව සම්පත් වෛද්‍ය පීඨයක් සඳහා ඉතා උපරිම තත්ත්වයෙන් පවතී.

එවැනි ශික්ෂණ රෝහලකට අවශ්‍ය සියලූම සුදුසුකම් සම්පූර්ණ කර ඇති රෝහලක් පළාත් බද රෝහලක් ලෙස පහළට හෙළීම සිහි බුද්ධිය ඇති කෙනෙකු විසින් කරන ක‍්‍රියාවක් නොවේ.

දේශපාලන සහ ව්‍යාපාරික අරමුණු මත වෛද්‍ය අධ්‍යාපනය වෙනස් කිරීමට අතීතයේ ගත් සියලූම උත්සාහයන් තුළින් සිදුවූ බරපතළ ප‍්‍රතිවිපාක මේ රටේ සමස්ත ජනතාවම දසක ගණනාවක් තිස්සේ අත් විඳි බව අප කවුරුත් දන්නා කරුණකි.

කුලියාපිටිය රෝහල යොදා ගනිමින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතීන් සම්පූර්ණ නොකළ, වෛද්‍ය උපාධියක් වයඹ වෛද්‍ය පීඨයෙන් ලබා ගන්නා වෛද්‍යවරුනට එංගලන්තයේ, ඔස්ටේ‍්‍රලියාවේ ලබා ගන්නා පශ්චාත් වෛද්‍ය අධ්‍යාපනයට ඉඩකඩ ඇහිරේ (Post Graduate Medical Education)

මෙම බරපතළ ප‍්‍රතිවිපාකයන්ගෙන් වයඹ වෛද්‍ය පීඨය බේරාගැනීම සඳහා හැකි ඉක්මනින් කුරුණෑගල මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට නැවත නම් කර එම රෝහලේ මහාචාර්ය ඒකක (Professorial Units) පිහිටුවා වෛද්‍ය සිසුන් කුරුණෑගල මහ රෝහලට සායනික පුහුණුව සඳහා (Clinical Training) අනුයුක්ත කළ යුතුය.

ඒ. ඊ. සචින් උමයංග
සභාපති,
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය,
ශ‍්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment