වයර් පිළිස්සූ තිදෙනා 14 දා තෙක් රිමාන්ඩ්

192

පානදුර රාජකීය ප්‍රාථමික විදුහලේ සිසුන් 40 දෙනකුට අධික පිරිසකට විෂ වායුවක් ආඝ්‍රාණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පානදුර දකුණ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයන් සිව්දෙනාගෙන් තිදෙනකු ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා ඊයේ (03 දා) නියම කළේය.

පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ පදිංචි ලිඳමොලගේ ඉන්දික සිල්වා, චමිල කුමාර පීරිස් සහ තුසෙව් වඩුගේ සුරංග සමන්සිරි යන තිදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.

ඉකුත් 2 වැනිදා පානදුර රාජකීය ප්‍රාථමික විදුහල පිටුපස නිවසක් ඉදිරිපිට කසළ ගොඩක දමා වයර් තොගයක් පිළිස්සීමෙන් පාසලේ සිසුන් 40 දෙනකුට වැඩි පිරිසකට විෂ වායුවක් ආඝ්‍රාණය වී රෝහල් ගතකළ බවත්, මේ වන විටත් අටදෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් සැරයන් එච්. ඒ. යූ. ආනන්ද මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

දණ්ඩ නීති සංග්‍රහයේ අංක 262,263, 300, 314, 315 සහ 344 යටතේ මිනී මැරීමට තැත්කිරීම, තුවාල සිදුකිරීම, නොසැලකිලිමත් ක්‍රියාවකින් මහජන සෞඛ්‍යට හා ආරක්ෂාවට හානි සිදුකිරීම සහ රජයේ නිලධාරීන්ට සපරාධී බලහත්කාරය යන චෝදනා සැකකරුවන්ට එරෙහිව නගා ඇති බව අධිකරණයේදී කරුණු අනාවරණය විය.

1, 2 සහ 3 වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ම:දො: විජයපාල මහතා සඳහන් කළේ සිය සේවාදායකයන් තිදෙනා දුප්පත් අහිංසක මිනිසුන් බවත්, කම්බි අලෙවි කිරීම ඔවුන් කාලයක් මුළුල්ලේ රැකියාව ලෙසින් සිදුකරන බවත් කිසිවකුටත් හිරිහැරයක් හෝ මරණීය චේතනාවෙන් සිදුකළ ක්‍රියාවක් නොවන බැවින් ඇප ලබාදෙන ලෙසත්ය.

පෙර සැකකරුවන් විසින් රැගෙන ආ තඹ කම්බි කිලෝ එකයි ග්‍රෑම් 300 ක් රුපියල් 1350 ක මුදලකට මිලදීගත් තම සේවාදායකයා වන 4 වන සැකකරු මෙම සිද්ධියට සම්බන්ධයක් නොමැති බැවින් ඇප ලබා දෙන ලෙස නීතිඥ දිලූක එම්. සිල්වා මහතා මහෙස්ත්‍රාත්වරයා හමුවේ ඉල්ලා සිටියේය.

ඒ අනුව 4 වැනි සැකකරු වන පානදුර ජයතිලක මාවතේ පදිංචි ජයසිංහගේ බුද්ධික අශෝක කුමාර යන අය රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මහෙස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් නියම කළේය.

1, 2 සහ 3 වන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ම:දො: විජයපාල මහතා ද, 4 වැනි සැකකරු වෙනුවෙන් නීතිඥ දිලූක එම්. සිල්වා මහතා ද පෙනී සිටි අතර, සැරයන් එච්. ඒ. යූ. ආනන්ද (13660) සහ කොස්තාපල් පී. ඩී. ලක්මාල් (79726) පොලිසිය වෙනුවෙන් අධිකරණයට කරුණු වාර්තා කළහ.

නඩුව ලබන නොවැම්බර් 14 දා යළි කැඳවීමට නියමිතය.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment