වයස 15-30 තරුණයන්ට AIDS…ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය කියන කතාව ඇත්නම් තත්ත්වය භයානකයි

530

චීවරධාරීන්,විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පවා ඒ අතර

පසුගිය දිනක බස්නාහිර පළාතේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක වැසිකිළියක් තුළ තිබී බිලිඳු කලලයක් හමු වූ ප්‍රවෘත්තියක් රටේ බොහෝ ආන්දෝලනයක් මතු කරන්නට සමත් විය. වර්තමානයේ මෙවැනි සිදුවීම් බෙහෙවින් වාර්තා වන බව සැබෑවක් නමුදු, මෙය අපට බොහෝ දේ සිතන්නට අවකාශ විවර කර දේ. මේ කතා බහ වැඩි වශයෙන් මතුවන්නේ ලිංගික අධ්‍යාපනය ගැන මෙන්ම ඒ හා බැඳුණු තවත් පුවත් රාශියක් නිරන්තරයෙන් ඇස ගැටෙන මොහොතක වීම විශේෂය. කතා බහ කළ යුතු බොහෝ කාරණා පිළිබඳ සමාජය නිසි පරිදි දැනුවත් නොකිරීමේ අතුරු ප්‍රතිඵලයක් අප අත්විඳිමින් සිටින්නෙමු. ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පසුගියදා කර තිබූ ප්‍රකාශය කාගේ කාගේත් ඇස් ඇරවන්නට සමත් වී ඇත්තේ ඒ නිසාය. ඇය පවසන්නේ අවුරුදු 15ත් 30ත් අතර නව එච්. අයි. වී. ආසාදිතයන් 53 දෙනකු මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති බවය.

● 15 ත් 30ත් වයස් කාණ්ඩයේ AIDS වැඩිවීමක්.

“තරුණ පරම්පරාව අතර එඩ්ස් ආසාදිතයන් වැඩිවීමක් දක්නට ලැබෙනවා. 2021 දී තරුණ ළමයි, ඒ කියන්නේ අවුරුදු 15ත් 30ත් අතර අය 25ක් හිටියා. මේ අවුරුද්දේ 53ක් තරුණ ළමයි ඉන්නවා. ඒ අතර පාසල් දරුවන් හතරක් සහ චීවරධාරීන් දෙදෙනකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. එමෙන්ම වර්ෂ 1987 දී මෙරටින් පළමු HIV ආසාදිතයා වාර්තා වූ අතර මේ දක්වා වාර්තා වූ ආසාදිතයන් අතර චීවරධාරීන් විස්සක් පමණද අන්‍යාගමික පූජකවරුන්ද සිටින බව ඇය පැවසුවාය.

මේ තරුණ ළමයින්ගේ මේ ඒඩ්ස් වැඩිවීමට ගොඩක්ම බලපාලා තියෙන්නේ කියලා අපි හිතන්නේ මේ ළමයි ගොඩක්ම Online හරහා ඉගෙන ගන්න ගිහිල්ලා ඒවත් එක්ක නොයෙකුත් ලිංගික සම්බන්ධ වීඩියෝ බලලා ලිංගික උත්තේජනය ඇති වෙලා කියලා. තරුණ ළමයි කිව්වට තරුණ පිරිමි ළමයි තමයි වැඩි. 2022 දී තරුණ පිරිමි ළමයි 30ක් HIV පොසිටිව් වෙලා තියෙනවා. පළමු කාර්තු දෙකේ ජූනි වෙනකන්. වැඩියෙන්ම තියෙන්නේ කොළඹ, ගම්පහ, නුවර වගේ දිස්ත්‍රික්කවල.

වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි කියන්නීය.

HIV ආසාදනය ද, ලෝකයේම මහජන සෞඛ්‍ය ගැටලු අතර ඉතාම බරපතළ සෞඛ්‍ය ගැටලුවක් ලෙස හැඳින්වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට ලෝක ජනගහනයෙන් මිලියන 38කට අධික පිරිසක් HIV නැතිනම් ඒඩ්ස් නිසා පීඩා විඳිති. වඩාත් කනගාටුදායකම කාරණය එම පිරිසෙන් මිලියන 2.8කට ආසන්න පිරිසක් වයස අවුරුදු දහනවයට අඩු දරුවන් වීම ය. දිනකට දරුවන් 880 දෙනකු එච්. අයි. වී. ආසාදිතයන් අතරට අලුතින් එක්වන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සහ ඉන් මියයන ගණන දිනපතාම වාගේ වාර්තා වුණත් එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාව හෝ එයින් මියයන සංඛ්‍යාව නිරන්තරයෙන්ම වාර්තා වන්නේ නැත. ඊට හේතුව ලෙස HIV ආසාදිත තත්ත්වයට පත් අය ජීවත්ව සිටියදී ඉතා විශාල පීඩනයකට පත් වෙති. ඒ, ඔවුන්ට සමාජයෙන් එල්ල කෙරෙන වෙනස්කම් නිසා. එවැනි ආසාදිතයකුව නිරන්තරයෙන්ම කොන් කිරීමකට, හුදෙකලා කිරීමකට ලක් කෙරේ. රැකියාවක් කරගැනීමට හෝ සමාජ සම්බන්ධතා ඇතිකර ගැනීමට හෝ නොහැකි වීමෙන් ඔවුන් මහත් පීඩාවකට පත්වෙති. HIV ආසාදනය වීම එම පුද්ගලයා මුහුණදෙන්නට සිදුවන ඉතාම බැරෑරුම් සහ අවාසනාවන්ත තත්ත්වවලින් එකක් ලෙස එය හඳුන්වා දිය හැකිය. ඒ නිසා ඒඩ්ස් ආසාදිතයන් සමාජය ඉදිරියේ තමාට ඒඩ්ස් ඇති බව පිළිගැනීමට මැලි කමක් දක්වයි. එම හේතු කාරණා නිසා HIV ආසාදිතයන් ගණන හෝ එයින් මරු වැළඳ ගන්නා සංඛ්‍යාව සමාජයේ අවධානයට ලක්වන්නේ ඉතා සුළු වශයෙනි. එසේ වූවත් ලෝක ජනගහනයෙන් 770,000කට ආසන්න සංඛ්‍යාවක් එච්. අයි. වී. නිසා සෑම වසරකම මරු වැළඳ ගනිති. එච්. අයි. වී නිසා දිනකට දරුවන් 310ක් මිය යන බව සංඛ්‍යා ලේඛනවල සඳහන්වේ. එච්. අයි. වී පළමුවෙන්ම වාර්තා වුණු කාල වකවානුවේ සිට – එනම් එක්දහස් නවසිය අසූ ගණන් මුල භාගයේ සිට 2018 වසර දක්වා එච්. අයි. වී. වලින් මරු වැළඳගත් සංඛ්‍යාව මිලියන 32කට අධික බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ අනුව එච්. අයි. වී. (AIDS) මානව වර්ගයා කෙරෙහි ඇති කර ඇති තර්ජනය කෙතෙක් ද යන්න පැහැදිලි කරන්නට තවත් සාක්ෂි අවශ්‍ය නොවේ. එච්. අයි. වී. ද වසංගතයක් බවට පත්ව ඇති අතර එය ලොව විශාල ප්‍රදේශයක පැතිර යමින් තිබෙන බව ද වසංගත රෝග විශේෂඥයෝ පවසති. එසේම එය ඉතා සක්‍රීයව පැතිර යමින් තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙති. වසරක් පාසා අලුතින් වාර්තා වන මිලියන සංඛ්‍යාත එච්. අයි. වී. ආසාදිතයන් ගණනින් එය තහවුරු කෙරේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට පසුගිය වසරේදී නව ආසාදිතයන් මිලියන 1.7කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇත.

● තරුණ පරම්පරාව අතර HIV ව්‍යාප්ත වීමට හේතුව කුමක්ද?

විවිධ සංස්කෘතික කාරණා මත මනාසේ සමාජයක ලිංගිකත්වය ප්‍රසිද්ධියේ කතා කිරීම අවමානයක්, නැහැදිච්චකමක් ලෙස දකින විට තාක්ෂණික සමාජයක එම මෙවලම් සමග ගනුදෙනු කරන දරුවන් නොමග යෑම සාමාන්‍ය සුලබ සිදුවීමක් බවට පත්ව තිබේ. මේ ගැන කතාබහ කරන බොහෝ විශ්වවිද්‍යාල විද්වතුන් ප්‍රකාශ කරන ආකාරයට අපේ රටේ සංස්කෘතික කාරණා ඉදිරියට ගෙන දරුවන්ට අවශ්‍ය දැනුම නිසිලෙසට ලබාදීම පසෙකලා තිබේ.

වෛද්‍ය රසාංජලි හෙට්ටිආරච්චි පවසන ආකාරයට ලංකාවේ තරුණ ප්‍රජාව අතර HIV ආසාදනය වීමට හේතුව online අධ්‍යාපනයමද? ඉතින් මෙහි සත්‍ය අස්‍යතාවය අප පාසල් ගුරුවරියකගෙන් මේ පිළිබඳව විමසුවෙමු. (ඇය තමන්ගේ නම හෙළිකළේ නැත. වෙන වෙන මත දරන පුද්ගලයන් බොහෝ විට තමන්ගේ මතයට එකඟ නොවිය හැකි බැවින්, පොදු මතයක් ලෙස සටහන් කරන ලෙස ඇය පැවසුවාය.)

“කොරෝනා වසංගතය නිසා එයින් ආරාක්ෂා වීමට ඇඳිරිනීතිය පැනවීමක් සිදු වුණා. ඇඳිරිනීතිය කාලේ තමයි මේ online අධ්‍යාපන ක්‍රමය පටන් ගත්තේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දරුවන් අතට ස්මාර්ට් ෆෝන් සහ පරිගණක යන්ත්‍ර භාවිතයට ආවා. online අධ්‍යාපන ක්‍රමයේ හොඳ සහ නරක පැති දෙකක් තියෙනවා. ඒකෙ නරක පැතිකඩක් විදිහට වයසට නොගැළපෙන අනවශ්‍ය දේ නරඹන්න දරුවන් හුරු වෙන්න පුළුවන්. බොහෝ විට ළමා මානසිකත්වයෙන් ඔබ්බට ගිය වටපිටාවක් ගොඩනැගෙන්න පුළුවන්. නව තාක්ෂණයත් එක්ක දියුණුවෙන ලෝකයේ දරුවන්ට ඒ සමග ගනුදෙනු කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයක්. ඒත් නව යෞවන වියට පා තබන දරුවන් පිළිබඳව මීට වඩා දෙමාපියන් අවධානය යොමු කරන්න වෙනවා. එතකොට HIV වෛරසය විතරක් නෙවෙයි දරුවන්ට තියෙන අනෙක් සමාජ ගැටලු වුණත් දරුවන් අතර ව්‍යාප්ත වීම දරුවන් අතර ව්‍යාප්තිය අවම කර ගන්න පුළුවන්.”

ඇය ඉතා සමබර ලෙස සෘජුව සිය අදහස් පළ කළාය.

HIV වෛරසය තරුණ පිරිස් අතර ව්‍යාප්ත වීමට හේතුව අන්තර්ජාල භාවිතයමද? ඊට දෙමාපියන් වගකිව යුතුද? යක්කල ප්‍රදේශයේ පදිංචි තිදරු මවක වන නිරෝෂා දමයන්ති ඒ ගැන අපට කීවේ මෙවැනි කතාවකි.

“අනිත් ළමයින් ගැනනම් මම දන්නේ නැහැ. ඒත් මගේ දරුවෝ තුන්දෙනාම online පන්තිවල ඉන්නකොට මමත් ඒ ළඟම හිටියා. අපේ computer එක මම සාලේ තමයි තියලා තියෙන්නේ. ඉතින් ළමයින් තුන්දෙනාට වැරදි වැඩක් කරන්න කොහෙත්ම අවස්ථාව නැහැ. මගේ ළමයි තුන්දෙනාටම අපි ෆෝන් අරගෙන දීලා නැහැ. මහත්තයාගේ හරි මගේ ෆෝන් එකට හරි තමයි zoom link අනෙක් හැමදේම එන්නේ. මේ කාලේ අහන්න ලැබෙන්න තියෙන දේවල් එක්ක දරුවන්ට නිදහස දෙන්නේ කොහොමද ?”

දරුවන් හෝ කවරෙකු වුවද වැරදි මගට යොමු වීමේ එක් හේතුවක් හැටියට නිදහස අහිමි වීම යන කාරණයද බලපාන්නේය. අනවශ්‍ය ආකාරයෙන් දරුවන්ගේ නිදහස සීමා කිරීම හෝ මානසික පීඩනයක් ඇති නොකිරීමද අවධානය යෙමු කළ යුත්තකි.

පාදුක්ක හොරගල පදිංචි නෙල්සන් විජේසිරිවර්ධන කියන්නේ එබඳු කතාවකි.

“නව තාක්ෂණයත් සමග දරුවන් ජංගම දුරකථන භාවිතය පිළිබඳවනම් මම වරදක් දකින්නේ නැහැ. හැබැයි ඕනෑම දෙයක් හරියාකාරව ප්‍රයෝජනයට නොගත්තොත් අනිවාර්යයෙන්ම දරුවන් වැරදි මගට යෑමට ඉඩකඩක් තියෙනවා. ළමුන්ගේ යෞවන වයස කියන්නේ අත්හදා බැලීම්වලට යොමු වීමට ඉඩකඩ ඇති වයස් සීමාවක්. එම නිසා ජංගම දුරකථන භාවිතය තමන්ගේ දියුණුවට යොදාගැනීමට දෙමාපියන් විදිහට අපි වගබලා ගතයුතු කාරණයක් දරුවන්ගෙත් වගකීමක්.

“යොවුන් වියට පා තබන විට ලිංගික අවශ්‍යතා හෝ හැඟීම් මතු වීම අතිශය සාමාන්‍ය සහ ස්වභාවික දෙයක්. ඒ වයසේදී ශරීරයේ සිදුවන හෝමෝන ක්‍රියාකාරිත්වය නිසයි ඒක සිදු වන්නේ. නමුත් බටහිර රටවල් ඒක තේරුම් අරගෙන ඒ වයසට එන විට ලිංගිකත්වය පිළිබඳව ළමයාගේ දැනුම සම්පූර්ණ වන ආකාරයට ඔවුන්ගේ අධ්‍යාපනයට ඒ විෂය එකතු කරලා තියෙනවා.”

නමුත් ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ එවැනි තත්ත්වයක් නොතිබීම “අවාසනාවන්ත තත්වයක්” වන අතර දරුවාට නිසි වයසේ දී ලිංගිකත්වය පිළිබඳව නිසි දැනුමක් නොලැබීම හේතුවෙන් ඔවුන් ලිංගික තෘප්තිය උදෙසා වැරදි මාර්ගයන් සොයා යයි. ඊට වැරදිකරුවන් වන්නේ දරුවන් නොව සමාජයේ ජීවත්වන වැඩිහිටි උදවියයි.

නමුත් ලංකාවේ දැන්වීම් කලාව, විදේශීය ටෙලි නාට්‍ය, කාටුන් ඇතුළු සියලු දේ තුළ බොහෝ විට ඇත්තේ ලිංගිකත්වය අවුස්සන දර්ශනය. වැඩිහිටියන් රාත්‍රි 7 සිට දරුවන්ද පොදි බැඳගෙන රූපවාහිනියේ මේ සියලුම දේ නරඹයි. එවිට එහි ලැජ්ජාවක් අවමානයක් සංස්කෘතික පරිහානියක් දෙමාපියන් නොදකී. හාස්‍යට කරුණ නම් ලිංගිකත්වය විෂයක් විදිහට හෝ ලිංගික අධ්‍යාපනය තම දරුවන්ට ලබාදීම දරුවන්ට කුණුහරුප ඉගැන්වීමක් ලෙස දකින වැඩිහිටි පරම්පරාව තමන්ගේ ‘අතීත කතාව’ අමතක කිරීමය. එයින් සිදුවන්නේ කුතුහලය සහ ‘දුටු දේ‘ පිළිබඳ යෞවනයා තුළ මතුවන උත්තේජනය බොහෝ අනර්ථකාරී දිසාවකට ඔහු රැගෙන යෑමය.

වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි කියන කතාව යථාර්ථයක් බවට පත්වන්නේ එවන් පසුබිමක් යටතේය.

මෙරට අනාරක්ෂිත ලිංගික හැසිරීම්වල නිරතවන තරුණ පිරිස වැඩි වී ඇත. පෞද්ගලික පන්ති ආදිය ඇසුරු කරගෙන එම ප්‍රවණතාවක් ඇති වී තිබෙන බව අනාවරණය වේ. පෞද්ගලික පන්ති ගාස්තුව රැගෙන තරුණ පිරිමි ළමුන් ලිංගික පහස සොයා ගණිකාවන් සොයා යති. මෙරට ගණිකා වෘත්තියේ යෙදෙන වැඩි පිරිසක් අනාරක්ෂිත ලිංගික හැසිරීම්වල නිරත වන බව පර්යේෂණවලින් තහවුරුව තිබේ. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂා වීමට ඇති උපක්‍රමයක් ලෙස විද්‍යාත්මකව පිළිගෙන ඇති කොන්ඩම් භාවිතය මෙරට ගණිකාවන් අතර පහළ මට්ටමක පවතියි. ඊට හේතුව ලෙස ඔවුන් පවසන්නේ කොන්ඩම් භාවිතයෙන් ඔවුන්ගේ හැඟීම් විරහිත වන බවයි. එසේම ගණිකා වෘත්තියේ යෙදෙන සමහරුන්ට එච්. අයි. වී. ආසාදනය වීම ගැන දැනුමක් පවා නොමැති බව ද තහවුරුව ඇත.

ලිංගිකත්වයෙහි වරදක් නැත. එය හරි අපූරු සිතිවිල්ලකි. නමුත් වත්මන් තරුණ දරුවන් එය ලබා ගැනීමට උත්සාහ දරන ආකාරයෙහි වරදක් ඇත.

මල්මි රාජපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment