වයෝවෘද්ධ මවට නඩු පැවරීමේදී වනජීවියත් අසරණ වෙලා!

715

මියගිය පුතා සකස් කළ විදුලි වැටේ ගැටී වන අලියා මියගිහින්…..

නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අතුරුපලයාගම ගම්මානයේ පදිංචි නිවසක් සහිත ඉඩමක අටවා තිබූ අනවසර විදුලි රැහැනක ගැටුණ වන අලියකු මියගොස් ඇති බව නවගත්තේගම අඩවි වනජීවී කාර්යාලය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 25 ක් පමණ වයසැති අඩි අටකට ආසන්න වන අලියකු බව වනජීවී නිලධාරීන් සඳහන් කරයි.

වන අලියා විදුලි රැහැනක ගැටී ඇති ස්ථානයට අයත් ඉඩමේ ඇති නිවසේ මේ වනවිට හැත්තෑ දෙහැවිරිදි මවක් පමණක් රැඳී සිටිති. මෙම අනවසර විදුලි රැහැන වසර දෙකකට පමණ පෙර මියගිය ඇගේ පුතා විසින් සකස් කළ එකකි. මෙම මහළු කාන්තාවගේ පුතා වසරකට පෙර මරණයට පත්ව ඇති බවද වනජීවී නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

විදුලි අලි වැට සක්‍රීයව පැවතීම නිසා අලියා ගැටීමත් සමග විදුලි සර වැදී මරණයට පත්වී ඇති බව වනජීවී නිලධාරීන් පවසයි. මේ හේතුවෙන් අලි මරණයට වගකිව යුතු තැනැත්තා මේ වනවිට මරණයට පත්ව තිබීම හේතුවෙන් අදාළ අලි මරණයට මහළු මවට නඩු පැවැරීම සිදු කරන්නේ කෙසේදැයි වනජීවී නිලධාරීන්ට ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව කියයි. මේ පිළිබඳව පුත්තලම දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතාගෙන් කළ විමසීමේදී පවසා සිටියේ මෙවැන්නකි.“ඇත්තටම ඉතාම සංවේදී සිද්ධියක්. අදාළ විදුලි රැහැන් ඇදීම කළ තැනැත්තා මේ වනවිට ජීවත්ව නොසිටීම අපිට ගැටලුවක් වෙලා. මොකද මේ ඉඩමේ පදිංචිව සිටින්නේ අවුරුදු 72 ක මහළු කාන්තාවක් පමණයි. ඇයට යන්න එන්න පවා අසීරුයි. ඇයට නඩු පැවරීමේදී අපි අසරණ වෙලා තියෙනවා. මේ කරුණු සියල්ල අපි ගරු අධිකරණයට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා.”

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment