වරක් මුණ ගැසුණොත් ජීවිත වෙනස් කරන කිලී මහරාජා

531

ජීවිතයේ එක් වරක් හෝ මුණගැහිලා තමන්ගේ මුළු ජීවිතයම වෙනස් කරගන්න බලාපොරොත්තුවෙන් මා දන්න බොහෝ අයගේ හිතේ හිටිය දැවැන්ත මිනිසා රාජා මහේන්ද්‍රන්.

ඔහු මුණගැසුණු හැම පුද්ගලයෙක්ම තමන්ගේ ජීවිතය ගොඩනගාගන්න දෙයක් ඔහුගෙන් එකතු කරගත්තා.

සාමාන්‍ය පුද්ගලයෙකුට අනාගතය පේන ප‍්‍රමාණයට වඩා වසර ගණනාවක් අනාගතය දැකීමේ ප‍්‍රබල හැකියාවක් එතුමා තුළ තිබුණු බව එතුමා දන්නා බොහෝ දෙනා සඳහන් කරන කාරණයකි.

ගොඩක් අය කිලී කියලා හැඳින්වූවාට ඔහුගේ නමේ එවැනි නමක් නැත. සුරතලේට කියන නම තමයි කිලි.(කුරුල්ලා)

ඇත්තටම ජීවිතේ කුරුල්ලෙකු ලෙස නිදහසේ ජීවත් වුණු මිනිසෙක්. එතුමා ජීවිතයෙන් සමුගන්න සති තුනකට කලින් මා සමග ඇතිවුණු කෙටි සංවාදයක් මගේ හිත ඇතුලේ තාමත් දෝංකාර දෙනවා.

”මගේ මාස්ක් එකේ පටිය කැඩිලා මම මාස්ක් එක නැතුව එච් ඊ එක්ක කතා කරාට කමක් නැද්ද?”

(කැඩිච්ච පටියක් තියෙන මාස්ක් එකක් පෙන්නමින් මාගෙන් ඇසුවා.)

මේ සිද්ධිය සිදු වුණේ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේ දෙදෙනා හොඳ යාළුවෝ. 2015 එවකට ජනාධිපතිවරයාව සිටි මෛත‍්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරා සිරස සහ සභාපතිතුමා නොසිටින්න අද මම ජනාධිපති නොවෙන්නත් ඉඩ තිබුණු බව. රටක රාජ්‍ය නායකයෙක් එවැනි ඉහළ වටිනාකමක් රාජා මහේන්ද්‍රන් මහතා හට ලබා දුන්නා.

මනා හික්මුණු ගති පැවතුම්වලින් හෙබි නිහතමානී අසමසම විශිෂ්ට ධන කුවේරයකි රාජා මහේන්ද්‍රන්.

එතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොහොසත් මනුෂ්‍යයෙකි. ඒ ඔහු සතුව තිබෙන අසීමිත ධනස්කන්ධය නිසා නොවේ, ඔහු ගොඩනගාගත් මනුෂ්‍යත්වයේ වටිනාකම කිසිලෙසකත් මිල කළ නොහැක්කක් නිසාවෙනි.

රාජාමහේන්ද්‍රන් තම සේවකයන්ට ඉතාමත් ආදරයෙන් සලකන ස්වාමියෙක් මෙන්ම සේවකයන්ද එතුමාට එලෙසම ගෞරව කිරීම මා ජීවිත කාලය පුරා දුටු සුවිශේෂිත කාරණයකි. ලංකාවේ දැවැන්තම මාධ්‍ය ආයතනයට හිමිකම් කියන විද්‍යුත් නාලිකා 7ක හිමිකාරීත්වයක් තිබෙන එමෙන්ම ලංකාවේ දැවැන්තම සමාගම් ගණනාවක හිමිකාරිත්වයක් තිබුණ ද එතුමාගේ සජීවී රූපරාමුවක් කිසිදු තැනක සංරක්ෂණය කොට නොමැත.

ඒකට හේතුව ඔහු අකමැති නිසා.

මාධ්‍ය ඉදිරියට පැමිණීමට අකමැති, තමන්ගේ ඡායාරූපයක් වත් ප‍්‍රසිද්ධ කිරීමට අකමැති දැවැන්ත මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් වූ රාජා මහේන්ද්‍රන්, ඔහු තුළ තිබෙන මේ ගති ලක්ෂණය මහරාජා සමූහ ව්‍යාපාරයේ සියලූදෙනාටම අදටත් අවබෝධ කර ගත නොහැකි කාරණයකි. ජනප‍්‍රියත්වය සහ ප‍්‍රසිද්ධිය වෙනුවෙන් හඹා යන ලෝකය තුළ කිසිදු ආකාරයකින් කැපීපෙනීමට අකමැති රාජාමහේන්ද්‍රන්, නිරන්තරයෙන් පිටුපසින් සිට සියලූ දෙනා දිරිගැන්වීමේ භාරදූර වගකීම ඉෂ්ට කරමින් සතුටු වූ පුද්ගලයෙකි.

එක් අවස්ථාවකදී ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා මා සමග සඳහන් කළා නැවත වතාවක් ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වෙන්න ඕනේ රාජා මහේන්ද්‍රන් මහතා කියලා. මම ලෝක කුසලානය අරගෙන එතුමාව මුණගැහෙන්න ගියා. එතුමා නැත්තං අද ලංකාවේ මේ විදිහට ක‍්‍රිකට් නෑ” මම නොදන්න කතාවක් අර්ජුන රණතුංග මහතා මා සමග ප‍්‍රකාශ කළා.

එංගලන්තෙට ගිහාම අපි නවතින්නේ සමහර කාලවල එතුමාගේ ගෙදර. ඒ තරම් අපිට උදව් කරා. අර්ජුන රණතුංග මහතා ඉතා ගරු කර චරිතයකි රාජා මහේන්ද්‍රන් කියන්නෙ. ලංකාවේ පාර්ලිමේන්තුවේ බොහෝ දේශපාලනඥයන් එතුමා හඳුනාගන්න ලොකු උනන්දුවක් සහ බලාපොරොත්තුවක් තිබුණා. එයට හේතුව වූයේ කෙසේ හෝ රාජා මහේන්ද්‍රන් මහතා හඳුනාගැනීම තමන්ගේ ජීවිතේ බොහෝ ඉලක්කයන්වලට ඉතා ඉක්මනින් ළඟා වෙන්න පුළුවන් හොඳම පාලම බව ඒ සියලූදෙනා ම දැන සිටීමයි.

ජීවිතයේ බොහෝ දෙනෙකුට පෞද්ගලිකව නිරන්තරයෙන් උදව් උපකාර කිරීමට සිය ධනය බලය බොහෝ අවස්ථාවල එතුමා කැප කළා.

මට මතකයි එක් අවස්ථාවකදී සිරස වෙසක් කලාපයට කාර්යබහුලව සූදානම් වන අවස්ථාවේදී හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ ගුණසමරුව ද යෙදී තිබුණා. හේමා පේ‍්‍රමදාස මහත්මිය නිරන්තරයෙන් කතා කරමින් සිරස අධ්‍යක්ෂකවරුන් සමග පේ‍්‍රමදාස ගුණ සමරුව පිළිබඳව තමන්ට විය යුතු දේ පිළිබඳව නිතර නිතර දුරකථන ඇමතුම් ලබා දුන්නා. මේ දුරකථන ඇමතුම් පිළිබඳව දිනක් අධ්‍යක්ෂකවරයෙක් රාජා මහේන්ද්‍රන් මහතාට සඳහන් කරා මැඩම් නිතරම අපිට කරදර කරනවා කියලා. ඒ වචනේ ඇහුනු වෙලේම රාජා මහේන්ද්‍රන් මහතාගේ කටින් පිට වුනේ ” ඕගොල්ලන් අද සිරස ටීවී එකේ තරු විදිහට රඟපාන්නේ එයාගෙ මහත්තයා නිසා. ඒ නිසා මැඩම් කියන සියලූ දේ අනිවාර්යයෙන් කරන්න” එම අවස්ථාවේ එතැන සිටි සියලූ දෙනා මොහොතකට නිහඬ විය. විශිෂ්ට මානව ගුණයෙන් පිරුණු රාජා මහේන්ද්‍රන් මහතා අභියෝග ජය ගැනීමට ඉතා කැමැත්තෙන් පසු වුණු කෙනෙක්. සිරස මාධ්‍ය ජාලය බෝම්බ ප‍්‍රහාරයකින් ගිනිබත් කළ ද නැවතත් එය ගොඩනැගුවේ තිබුණු තත්ත්වයට වඩා දහගුණයකින් විශාල කරමින්.

තමන්ගේ මාධ්‍ය ආයතනයට බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ සියලූ පුද්ගලයන් පිළිබඳව පෞද්ගලිකව එතුමා දැන සිටියත් රජය විසින් වැරදිකරුවන් නීතියේ රැහැනට කොටු කර දඬුවම් ලබා දෙනු ඇතැයි යන විශ්වාසය එතුමා තුළ තිබුණා. නමුත් තමා දන්නා පෞද්ගලික කාරණය නීතියට එහා ඉදිරියට ගොස් කටයුතු කිරීමට එතුමා කිසිවිටෙක පෙළඹුණේ නැත. එතුමාගේ පෞද්ගලික ධනයෙන් මේ රටේ වෙහෙර විහාරස්ථාන විශාල ප‍්‍රමාණයක් සංවර්ධනය විය. හින්දු භක්තිකයෙක් වුවත් ථෙරවාදී බුදු දහම තමන්ගේ දහම ලෙස ආදරයෙන් පිළිගත් විශිෂ්ට මානව ගුණයෙන් පිරි මිනිසෙකි.

සිරස වෙසක් කලාපය සෑම වසරකදීම පැවැත්වීමට එතුමා දැඩි උනන්දුවක් දැක්වීය. දහස් ගණනක් මිනිසුන් ධාතූන් වහන්සේලා වැඳ පුදා ගන්නවා දැකීම සෑම වසරකදීම එතුමා ප‍්‍රියකරන කාරණයකි.

සිරස තුළ වඩාත් ජනප‍්‍රිය වූ බොහෝ වැඩසටහන් එතුමා ලංකාවට හඳුන්වාදුන් ආකෘතින් තුළ නිර්මාණය වූ ඒවා විය. සිරස සුපර් ස්ටාර් තුළින් බිහිවූ ජනප‍්‍රිය ගායක ගායිකාවන්ට ජනතාව ආදරය කිරීම දැකීම තුළින් එතුමා ආත්ම තෘප්තියක් ලැබූ බව සිරස බොහෝදෙනෙක් හොඳින් දන්නා කරුණකි. ව්‍යාපාර ලෝකය තුළ සෑම අවස්ථාවකදීම කළමනාකරණයට වඩාත් සුදුසුම පුද්ගලයා තෝරා පත් කර ගැනීමට තීක්ෂණ බුද්ධියක් නිරන්තරයෙන් එතුමා සතුව දකින්නට තිබුණි. එතුමාගේ සාර්ථකත්වයේ රහස හරිම පුද්ගලයා හරිම වැඬේට යෙදවීමේ තිබූ හැකියාවයි.

එම කාරණය වඩාත් සනාථ කරන සිද්ධියක් වන්නේ අනූව දශකයේ මුල් කාලයේ සිරස මාධ්‍ය ජාලය ආරම්භ කිරීමට නාළිකා ප‍්‍රධානියා තෝරාගැනීමේදී ජනප‍්‍රිය නිවේදක නිවේදිකාවන් ගණනාවක් සම්මුඛ පරීක්ෂණවලට පැමිණියත් වඩාත් ජනප‍්‍රිය චරිතයක් නොවුනු නිමල් ලක්ෂපතිආරච්චි තෝරාගැනීම එදා බොහෝ දෙනෙක්ගේ මවිතයට පත්වූ කාරණයකි. නමුත් එතුමා ගත් එම තීරණය ලංකා ඉතිහාසයේ දැවැන්ත මාධ්‍ය පෙරළියක් ඇති කිරීමට සමත් විය. තමන්ගේ සමාගමේ සේවය කරන ඕනෑම විශිෂ්ට සේවකයෙකුට තමා කැමති ඕනෑම අවස්ථාවක සේවයෙන් ඉවත්ව පෞද්ගලිකව ව්‍යාපාර ගොඩනඟා ගැනීමට අවශ්‍ය නම් ඒ ඕනෑම අවස්ථාවක එයට උදව් උපකාර කිරීමට එතුමා කැමැත්තක් දැක්වීය.

2001 වර්ෂයේ දී නියඟයෙන් දුක් විඳින හම්බන්තොට ජනතාවට පානීය ජලය රැගෙන යන්න ආරම්භ කළ ‘සිරස සහන යාත‍්‍රාව’ අද වන විටත් අසරණ මිනිසුන්ගේ දුක වෙනුවෙන් රටේ සියලූ මාධ්‍ය ආයතන පෙළ ගැසූ විශිෂ්ට සමාජ මෙහෙවරකි.

‘ගම්මැද්ද’ වැඩසටහන තුළින් අසරණ වූ ගම්වාසීන්ට මාධ්‍ය මෙහෙවරට එහා ගිය සමාජ මෙහෙවරක් කිරීමට සිය පෞද්ගලික ධනය වැය කිරීමට තරම් එතුමා කෘතඥ වූ පුද්ගලයෙකි. තමන් අමාරුවෙන් හම්බ කරගත් ධනය පොදි ගසා ගන්නා ව්‍යාපාරිකයන් අතර තම දනට, අසරණ මිනිසුන්ට බෙදා දෙමින් ඒ අයගේ දුකට පිහිට වෙමින් එයින් සතුටක් ලද පුද්ගලයෙකි රාජා මහේන්ද්‍රන් මහතා.

ඈත පිටිසර ගම්වල දුවාදරුවන්ට තමන්ගේ අනාගතය හදාගන්න පාරක් කියාදුන්න රාජා මහේන්ද්‍රන් මහතා බොහෝ දෙනෙක් තරු බවට පත් කළා. ඒ හැම දේකින්ම එතුමා මානසික තෘප්තියක් ලැබුවා.

මහරාජා සමූහ ව්‍යාපාරයට කෝටි ගණන් ආදායම් ලබා දෙන ව්‍යාපාර ආයතන ගණනාවක් තිබුණත් රාජා මහේන්ද්‍රන් මහතා වැඩියෙන්ම ආදරේ කළේ සිරස මාධ්‍ය ජාලයට. මහරාජා සමූහ ව්‍යාපාරය තුළ ඉහළ වටිනාකමක් ඇති සමාගමක් ලෙස සිරස මාධ්‍ය ජාලයට හිමි නොවුණත් සුරතලා ලෙස සිරස රැකගන්න හැමදාම ඔහු කැප වුණා.

දේශපාලනයට එන්න කැමති ඕනම කෙනෙකුට උදව් කරන්න කැමැත්තක් දැක්වූ එතුමා තමන් යටතේ සිටි සේවකයෙක් ප‍්‍රාදේශීය සභා මැතිවරණයකට හෝ ඉදිරිපත් වෙනවා නම් ඔහුට උදව් උපකාර කරන්න දැඩි කැමැත්තක් එතුමාට තිබුණා. ඒක පුදුමාකාර ආසාවක්.

බොහෝ දෙනකුට ආත්ම විශ්වාසය සහ රැකවරණය වූ රාජා මහේන්ද්‍රන් මහතා අද සදහටම ජීවිතයෙන් සමුගෙන. අවසන් විශිෂ්ටයා අතර අතිදක්ෂයෙකු, ප‍්‍රබල ව්‍යාපාරිකයෙකු මෙන්ම මනා තීක්ෂණ බුද්ධියෙන් හෙබි මේ අසීමිත වටිනාකමක් ඇති මිනිසා අහිමිවීම බොහෝ දේ අපට අහිමි වීමක් විය හැක. එසේම, බොහෝ දෙනෙකුට ජීවිතයේ බොහෝ අවස්ථාවල දී රාජා මහේන්ද්‍රන් මහතා සිටියා නම් හොඳයි කියලා හිතෙන වාර ගණන් අනාගතයේදී නිතර අහන්න දකින්න ලැබෙනු ඇත.

අවුරුදු 21 දී පියාගේ ව්‍යාපාර කළමනාකරණය භාරගත් රාජා මහේන්ද්‍රන් විශිෂ්ට ව්‍යාපාර ගණනාවක් ආරම්භ කොට ලංකාවේ අංක එකේ ව්‍යාපාර ගණනාවක් බිහිකළ දැවැන්තයෙකි. ජීවිතය හදාගන්න කැමති ඕනම කෙනෙකුට ඔහුගේ චරිත කතාවම ආදර්ශයක්. ධනය තිබුණත්, බලය තිබුණත්, නිහතමානීත්වයේ ප‍්‍රතිමූර්තියයි රාජා මහේන්ද්‍රන්.

සමිර ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment