වරකාපොල නිවසක් මතට පස් කන්දක් වැටී තුනක් අතුරුදන්

168

කළුතර -රත්නපුර – ගාල්ල නායයෑමේ අවදානමක්
නීලබැම්ම සුළඟින් නිවාස 29කට හානි

දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා රටපුරා වැසිබර කාලගුණයක් පවතින අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (15 වැනිදා) ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

ඒ අනුව ඉහත කී ප්‍රදේශවලට මිලිමීටර් 100 කට වැඩි තද වැසි පතිත විය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රියේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

විශේෂයෙන්ම ගිඟුරුම් සහිත වැසි සමඟ තද සුළං හැමිය හැකි බැවින් අකුණු හා සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටී.

මේ අතර ඊයේ (14 වැනිදා) වනවිට කොළඹ, රත්මලාන, බදුල්ල, මොණරාගල, බණ්ඩාරවෙල, පොළොන්නරුව, කුරුණෑගල, කටුගස්තොට, මුලතිව් ආදී ප්‍රදේශවලට තද වැසි පතිත වූ අතර ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවා වැසි පතිත වී ඇත.

ඊයේ (14 වැනිදා) වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ හොරණ (මි. මි. 194.50), ඉංගිරිය (මි. මි. 187.00), හල්වතුර (මි. මි. 155.50) යන කළුතර දිස්ත්‍රික්කට අයත් ප්‍රදේශ තුනටය.

වැසි නිසා ගංගා කිහිපයක් පිටාර ගැලීමත් සමග ගංවතුර තත්ත්වයක් ඇති වී තිබිණි.

මේ අතර දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සිදුකර තිබිණි. එලෙස නායයෑමේ තර්ජනයට ලක්ව ඇත්තේ කළුතර, රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික්ක තුනෙහිය.

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කිරිඇල්ල, ඇහැලියගොඩ, ඇලපාත, රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශත්, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, බුලත්සිංහල, වලල්ලාවිට, ඉංගිරිය, දොඩන්ගොඩ, අගලවත්ත, මතුගම, බණ්ඩාරගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත් නාය යාහැකි ප්‍රදේශ ලෙස නම්කර ඇත.

ඉදිරි දිනවලත් මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා විටින් විට වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

ශිරාන් රණසිංහ, වරකාපොළ සරත් ආනන්ද සහ අමරනන්ද විජේසේකර – පුත්තලම
පිංතුරය – යුද හමුදා මාධ්‍ය එකකය

advertistmentadvertistment
advertistmentadvertistment