වරප්‍රසාද අහිමි වන නිසා ජනප්‍රිය පාසල් 7ක ගුරුවරු මාරුවෙන්න කැමති නෑ

134

යල්වෙල පඤ්ඤාසේකර හිමි

සුපිරි පාසල් 07 ක ඇතැම් ගුරුවරුන් තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන අහිමි වන නිසා ගුරු මාරු මණ්ඩලය මගින් ක්‍රියාත්මක කිරීමට ගිය… ස්ථාන මාරු අහෝසි කිරීමට උත්සහ දරා ඇති බව පෙනී ගොස් ඇතැයි සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ පැවසූහ.

මෙම පාසල් හතේ ගුරුවරුන් කිහිප දෙනා තම කීර්තිය නැතිවීම, උපකාරක පන්ති ශක්තිය අඩුවීම සහ පාසල්වල පසුබිම නිසා ලැබෙන ලාභ ප්‍රයෝජන අහිමිවීම හේතුවෙන් පාසල්වලින් මාරුවීමට අකමැත්තක් දක්වන බව නිරීක්‍ෂණය වූ බවද උන්වහන්සේ කීහ.

පාසල් වර්ගීකරණය කිරීමේදී ඉතා ජනප්‍රිය, ජනප්‍රිය නොවන සහ හුදෙකලා වශයෙන් හඳුන්වා සෑම ගුරුවරයෙකුටම ජනප්‍රිය පාසලක සේවය කිරීමේ අවස්ථාව ගුරු මාරු මණ්ඩලය විසින් සකසා ඇතැයි පැවසූ උන්වහන්සේ ජනප්‍රිය පාසලක ගුරුවරයකු වෙනත් පාසලකට ස්ථාන මාරුවීම් ලැබීමෙන් පසු එම පාසලේ ප්‍රතිඵලවලට හානියක් හෝ එම ගුරුවරයා ජනප්‍රිය නොවන පාසලකට මාරුවීම තුළ එම ජනප්‍රිය නොවන පාසලේ ප්‍රතිඵල වැඩිවීම වැනි සුවිශේෂී හැකියාවන් සිදුවී නොමැති බවද පැවසූහ. එක පාසලක වසර 10 ක් සේවය කර තිබීම, අනුප්‍රාප්තිකයන් යොමුකර ගුරුවරුන් මාරු කිරීම වැනි සාධාරණ හේතු සහිතව මාරුවීම් සිදුකර තිබෙන බවද උන්වහන්සේ කීහ.

මෙය වසර ගණනාවක සිට ක්‍රියාත්මක වීමේදී ජනප්‍රිය පාසල් ආදි ශිෂ්‍යයන් තම පාසලේ ඇතැම් ගුරුවරුන් ස්ථාන මාරුවීම් සිදුකළහොත් පාසල් අධ්‍යාපනය කඩා වැටෙන බවට ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබෙන බවත් ඒ අනුව ජනාධිපතිවරයා ගුරුමාරු කිරීම් ගැන සොයා බලන ලෙස උපදෙස්දී ඇති බවත් උන්වහන්සේ කීය.

ජනාධිපතිවරයාගේ මෙම විමසීම ගුරුමාරු මණ්ඩලය අහෝසි කළ බවට හුවා දක්වමින් තිබුණත් ජනාධිපතිවරයා අධ්‍යාපන ඇමැති හෝ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා එවැනි පියවරක් ගෙන නොමැති බවට වාර්තාවී ඇති බව පැවසූ යල්වෙල හිමියෝ ගුරු මාරු මණ්ඩල තීරණයට අනුව ප්‍රාථමික අංශයේ ගුරුමාරු මාර්තු 29 වැනිදාත්, අනෙකුත් ශ්‍රේණිවල ගුරු මාරු අප්‍රේල් 17 සිටත් ක්‍රියාත්මක වීමට නියමිත බවද කියා සිටියහ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment