වරප්‍රසාද පනත වැරදි විදිහට පාවිච්චි කරනවාද?

89

අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර අනවශ්‍ය ගැටුමක් ඇති කිරීමට පාර්ලිමේන්තු වරප්‍රසාද පනත සාවද්‍ය ලෙස උපයෝගි කර ගනිමින් සිටින්නේ ද යන කරුණු සම්බන්ධයෙන් තම සංගමයේ දැඩි අවධානය යොමු වී ඇතැයි දිසා විනිසුරුවරුන් හා මහෙස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම් දී තිබේ. යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලියට බරපතළ ප්‍රතිවිපාක ඇතිකරවිය හැකි එවැනි ගැටුමක් අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමටත් තම සංගමය තීරණය කර ඇතැයි ද සංගමයේ සභාපති කුරුණෑගල දිසා විනිසුරු රුවන් දිසානායක මහතාගේ හා ලේකම් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමසේන මහතාගේ අත්සනින් නිකුත්කර ඇති එම ලිපිය මගින් කියා තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හිමිකර දී ඇති මහජනතාවගේ පරමාධිපත්‍යය බලතල භාවිත කරමින් පසුගිය මාර්තු 3 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මූලික අයිතිවාසිකම් නඩුවකදී නිකුත්කරන ලද අතුරු තහනම් නියෝග පාදක කර ගනිමින් 1953 අංක 21 දරන පාර්ලිමේන්තු වරප්‍රසාද පනත උපයෝගි කර ගනිමින් සිටින්නේ ද යන්න සම්බන්ධයෙන් පසුගිය 18 වැනිදා රැස්වූ තම සංගමයේ විධායක කමිටුවේ දැඩි අවධානය යොමු වූ බවත් පළමුව ඒ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුවත් කිරීමට තීරණය කළ බවත් එමගින් කියා තිබේ.

ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය සහ මහජනතාවගේ පරමාධිපත්‍ය බලතල ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතන තුන අතර “සංවරණ තුළන (CHECKS and Balances) ක්‍රමයක් පවත්වාගෙන යා යුතු අතර විනිශ්චයට භාජනය වෙමින් පවතින නඩුවකදී අධිකරණය විසින් යුක්තිය ඉටු කිරීම සඳහා ලබාදෙන ලද තීරණයක් මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී ඇති බවට තීරණය කර එම තීරණය ලබාදුන් විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවක් ඉදිරියට කැඳවුවහොත් නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටී එහි ඊළඟ අනිවාර්ය ප්‍රතිඵලය වශයෙන් රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වැටීම සිදුවන බවටත් තම සංගමය විශ්වාස කරන බව ද එමගින් කියා ඇත.

යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට සෘජුව බාධා ඇති කරන ඉහත අනීතික හා සම්ප්‍රදාය විරෝධී ප්‍රයත්නය පිළිබඳව තම සංගමයේ දැඩි අවධානය යොමු වී ඇති බවත් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් පොදු මහජනතාව වෙනුවෙන් නිසි ලෙස යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යෑමට කුමන අයකු විසින් හෝ බලපෑම් සිදු කරන්නේ නම් ඊට එරෙහිව ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් එමඟින් වැඩිදුරටත් කියා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment