වර්ජනය අත්හරිනවා… ‘ජනපති පොරොන්දුව දෙස බලා සිටිනවා’ – ලංවිම ඉංජිනේරුවෝ

408

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගයට අනුව ලංවිම ඉංජිනේරු සංගමය වැඩ වර්ජන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නතර කර ඇත.

2009 අංක 20 දරන විදුලි පනත සංශෝධනය කිරීමට අදාළව පාර්ලිමේන්තුවට ගෙන එන සංශෝධන පනතට තම සංගමයේ අදහස් හා යෝජනා එක්කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (08 දා) ලබාදුන් පොරොන්දුවට අනුව ඒ දෙස බලා සිටින බවද එම සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා පැවසීය.

ඒ අනුව පෙරේදා (08 දා) මධ්‍යම රාත්‍රි 12.00 සිට ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව නතර කළ බවද ලංවිම ඉංජිනේරු සංගමය සඳහන් කළේය.

මේ අතර ඊයේ (09 දා) පෙරවරුවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විදුලිබල පනතට තම විරුද්ධත්වයක් නැතැයි ද එහි තිබෙන 43 වගන්තියට පමණක් විරුද්ධ වන බවද ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා පැවසීය.

විදුලිබල ඇමැති කංචන විජේසේකර මහතා වැටුප් සම්බන්ධව පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පිළිබඳ කනගාටු වන බවද සිය වැටුප් වාර්තා පරීක්‍ෂා කළ හැකි අතර ජනතාව නොමග යැවීමට එවැනි ප්‍රකාශ කරන බවද ඒ මහතා පැවසීය.

ජනාධිපතිවරයා තමාට කතාකර මේ පිළිබඳව විමසූ බවත් පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඉංජිනේරු සංගමය ඉදිරිපත් කරන කාරණා ද ඊට ඇතුළත් කරන බවත් එහිදී කී බවත් අනිල් රංජිත් මහතා කියා සිටියේය.

ජනාධිපතිවරයා ලබාදුන් එකී පොරොන්දුවට අනුව ඒ දෙස බලා සිටින බවත් ඊට පසුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment