වර්ජනය ප්‍රතික්‌ෂේප කර ‘ඔන්ලයින්’ උගන්වන ගුරුවරුන්ට තර්ජන ඇවිත්….

285

ශ‍්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ

වර්ජනය ප‍්‍රතික්ෂේප කර පාසල් දරු – දැරියන්ට ‘ඔන්ලයින්’ ඉගැන්වීමේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙන ගුරුවරුන්ට, ඇතැම් ගුරු සංගම් ‘වට්ස්ඇප්’ හරහා තර්ජන, බලපෑම් එල්ල කරමින් චරිත ඝාතන සිදුකරන බවට දැනගන්නට ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ‘දිවයින’ට ඊයේ (10 වැනිදා* පැවසුවාය.

වර්ජනය ප්‍රතික්‌ෂේප කර ‘ඔන්ලයින්’ උගන්වන ගුරුවරුන්ට තර්ජන ඇවිත්....

දැනටමත් ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් කීපදෙනකුම පොලිස් ස්ථානවලට පැමිණිලි කර ඇතැයි ද ඇය සඳහන් කළාය.

එවැනි බලපෑම්, තර්ජන, චරිත ඝාතන සිදුවන්නේ නම් ඒ ගැන ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කරන්නැයි ද ඇය සියලූම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

මෙහිදී තවදුරටත් කතා කළ වසන්තා හඳපාන්ගොඩ මහත්මිය මෙසේ ද කියා සිටියාය.

”ලංකාවේ ගුරුවරුන් දෙලක්ෂ හතලිස් පන්දහසක් විතර ඉන්නවා. නමුත් දැන් ගුරු සංගම් ක‍්‍රියාත්මක කරන වැඩ වර්ජනයට ගුරුවරුන් බහුතරයක්ම කැමති නැහැ. මොකද පාසල් දරුවන්ගේ අධ්‍යාපනය විනාශ වෙන නිසා. මෙන්න මේ නිසා දැනටමත් ගුරුවරුන් තිස්පන්දහසකට වැඩි පිරිසක් මේ වර්ජනය ප‍්‍රතික්ෂේප කරලා දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ඉගැන්වීමේ කටයුතුවල නිරත වෙනවා. මේ අයට වට්ස්ඇප් හරහා ‘‘ඉස්කෝලෙදි ඉදිරියේදී කොන්වෙන්න වෙයි’’ කියලා බලපෑම් කරන බවට දැනගන්න තියෙනවා. මෙහෙම බලපෑම් කරන මේ අය ගුරුවරුන් ද කියලා දැන් සැබෑවටම පේනවා.

කොළඹ, අනුරාධපුර, කෑගල්ල යන ප‍්‍රදේශවල ඇති පාසල්වල ගුරුවරුන්ගේ ජංගම දුරකථනවලට ‘වට්ස්ඇප්’ හරහා ගුරු සටන පාවා දෙනවා කියලා බලපෑම් කරලා තියෙනවා. වැටුප් ගැටලූ විසඳාගන්න ඕනතරම් ක‍්‍රමවේද තියෙනවා. ඒත් මේ දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ඉගැන්වීමේ කටයුතු පැහැර හරිමින් දිගින් දිගටම කරගෙන යන වැඩ වර්ජනය ඉතා අසාධාරණයි. මේ අය දරුවන්ගේ අනාගතයත් එක්කයි මේ සෙල්ලම් කරන්නෙ. ඒ නිසා රජයෙන් ලබාදෙන යම් දීමනාවක් තියෙනවා නම් ඒකත් අරගෙන තමන්ගේ යුතුකම මේ දරුවන් වෙනුවෙන් ඉටුකරන්න කියලා ඉල්ලා සිටිනවා.”

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment